ඔබේ දරුවාට අත්‍යාවශ්‍ය ඕනෙම දෙයක් නිවසටම ගෙන්වා ගන්න පුළුවන් වෙබ් අඩවි 7 ක්

දරුවන් අපේක්ෂා කරන අම්මලා තාත්තලාට වගේම දරුවන් ලැබිලා ඉන්න අම්මලා තාත්තලාටත් මේ කාලයේදී දරුවන්ට අවශ්‍ය දේවල් ගන්න වෙළෙඳසැල් වලට යන්න කලින් දෙපාරක් හිතන්න වෙලා තියනවා. මොකද කොවිඩ් වසංගතයේ පැතිරීමත් එක්ක සමාජ ආශ්‍රයට යන එක වගේම බඩු භාණ්ඩ ගන්න සාප්පු යන එකත් ටිකක් අවදානම් වැඩක් වෙලා තියෙන්නේ. ඒ නිසාම ගොඩක් අය ඔන්ලයින් ස්ටෝර්ස් එහෙමත් නැත්නම් අන්තර්ජාල වෙළෙඳසැල් ගැන හොයලා බලන්න යොමු වෙලා ඉන්නේ. ඒ වගේම සමහර වෙළඳසැල් වලින් හොයාගන්න අමාරු බඩු භාණ්ඩ සහ සන්නාම වර්ග වුණත් මේ අන්තර්ජාල සේවාවන් හරහා සොයා බලලා ඉක්මණින් ගෙන්න ගන්න පුළුවන් වීම ගොඩක් අම්මලාට ලොකු සහයක් වෙනවා. ඉතින් මේ ක්‍රමය ගොඩක් පහසුයි වගේම ඉතාම ආරක්ෂාකාරී නිසා දරුවන්ට අවශ්‍ය දෙයක් ගන්න බය වෙන්න දේකුත් නෑ. ඒ නිසා අපි හිතුවා ඔබට මේ කාලයේදී අවශ්‍ය වෙන ව්‍යාපාරික වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරු අරන් එන්න. 

1. amazon.com

ඇමසන් කියන්නේ අන්තර්ජාතික මට්ටමෙන් තියෙන ඔන්ලයින් ස්ටෝර් එකක් කියලා අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම පහුගිය වසංගත කාලයේදී පවා සාර්ථක ආදායමක් වාර්තා කරපු ඔන්ලයින් ව්‍යාපාරයක් මේ. මොකද ගොඩක් මිනිස්සු පහු ගිය කාලයේම ගෙවල් වලට හිර වුණ නිසා අවශ්‍ය හැමදේම අරන් තිබ්බේ ඇමසන් එක හරහා ඕර්ඩර් කරලායි. හැබැයි පොඩිත්තන් වෙනුවෙනුත් විශාල ඉඩක් ඔවුන් ගාව තියනවා කියලා කවදාවත්ම ඔබ හිතිලා තියෙනවද? ඇඳුම් පැළඳුම්වලින් පටන් ගත්තාම සෙල්ලම් බඩු, සපත්තු, කෑම වර්ග, ඉහළම තත්ත්වයේ ඩයපර් ආදී දරුවන්ට අත්‍යාවශ්‍ය සෑම දෙයක්ම පාහේ මේ හරහා මිලදී ගන්න ඔබට පුළුවන්. Amazon Family කියන සේවාවෙන් ඔබ මිලදී ගන්නා භාණ්ඩවලට 20%ක වට්ටමක් ලැබෙනවා. හැබැයි ඒකට ඔබ මෙහි Prime Member කෙනෙක් වෙලා ඉන්න අවශ්‍යයි.

 

2. Ebay

Ebay කියන්නේ ලංකාවේ අපිට ගොඩක් සමීප, හුරු පුරුදු ඔන්ලයින් වෙළඳපොළක්. මේ සේවාව තුළත් හිතාගන්නවත් බැරි තරමේ තෝරාගැනීම් ගොඩක් තියනවා කියලා කවුරුත් දන්නවා. ඉතින් මේ අන්තර්ජාල ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඔබේ දරුවන්ට අත්‍යාවශ්‍ය වෙන දේවල් ද ගොඩාක් තියනවා. ඒ අතර දරුවන්ගේ ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු, පොත්, අධ්‍යාපනික ද්‍රව්‍ය, අරුමෝසම්, ඩයපර්, කිරි බෝතල් සහ තොටිලි ආදී වශයෙන් එකී මෙකී නොකී හැමදෙයක්ම Ebay එකෙන් මිල දී ගන්න ඔබට පුළුවන්. ඔබේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නැත්නම් ඩෙබිට් කාඩ් එකෙන් වගේම පේපෑල් ගිණුමෙනුත් මිලදී ගැනීම් සිද්ධ කරන්න පුළුවන් .

 

3. Kapruka.com

කප්රුක කියන්නේ අපේ රටේ බිහි වුණ අන්තර්ජාල ව්‍යාපාරයක් නිසා ගොඩක් ලාංකිකයන්ට විශ්වාසවන්ත සේවාවක් තමයි මේ. මේකෙත් මිලදී ගන්නවා නම් නැති දෙයක් නෑ. පහුගිය වසංගත කාලයේදී අපේ රටේ ගොඩක් අය ගෙදරට අවශ්‍ය වදේවල් මිලදී ගන්න පිවිසුණේ කප්රුක වෙබ් අඩවියටයි. විශේෂයෙන්ම ඔවුන් ද ඔබේ පොඩිත්තන්ට අවශ්‍ය වෙන උපකරණ හා භාණ්ඩ සම්බන්ධ තෝරාගැනීම් කීපයක්ම ලබා දීලා තියනවා. ටෙඩීලා, බෝනික්කෝ වගේ මෘදු සෙල්ලම් බඩු ඇතුළු අනෙකුත් ළමා සෙල්ලම් බඩු, බයිසිකල්, පාසල් උපකරණ, පොත්, ක්‍රීඩා උපාංග, මදුරුදැල් කිරිබෝතල් වගේම තෑගි පාර්සලුත් ඒකේ තියෙනවා. මේවායේ ඇඳුම් වර්ග, සනීපාරක්ෂාව බඩු වගේම පොඩිත්තෝ ආස කරන විදියේ පිඟන් කෝප්ප ද තියෙනවා. අලුත උපන් පොඩ්ඩෙක්ට යමක් මිලදී ගන්න කියාපු සේවාවක් තමයි මේකත්.

 

4. Daraz

ඩරස් එකේ ගොඩක් ශොප්ස් ලංකාවේ අය තමයි කරන්නේ. ඒ නිසා ඩරස් එකෙන් බඩු ගෙන්න ගන්න එක ගොඩක් ඉක්මන් වගේම පහසුයි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. විශේෂයෙන්ම අනික් ජනප්‍රිය ඔන්ලයින් ස්ටෝර්ස් වලට වඩා මේකේ කෑශ් ඔන් ඩිලිවරි පේමන්ට් මෙතඩ් එකත් තියන එක නිසා ලංකාවේ අය අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියන ඔන්ලයින් සේවාවක් තමයි ඩරස් කියන්නේ. 90% ක්ම වගේ ෆ්‍රී ඩිලිවරි තියෙන්නේ. ඒ වගේම ඔබ ගන්න ඕනෙම භාණ්ඩයකට වාරික වශයෙන් ගෙවීම් කිරීමේ හැකියාව ද ඩරස් එකේ තියනවා. පුංචි දරුවන්ගේ අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ වෙනුවෙන් ද වෙනම කැටගරි එකක් ඩරස් වෙබ් සයිට් එකේ තියනවා. ඒ නිසා දරුවාට අත්‍යාවශ්‍ය වෙන ඕනෙම දෙයක් ඉක්මණින් ගෙදරට ගෙන්න ගන්න තවත් හොඳ සේවාවක් විදිහට ඩරාස් හඳුන්වන එකේ කිසිම ගැටලුවක් නෑ.

 

 

5. Miniso Sri Lanka

මිනිසෝ කියන්නේ 2013 දී ජපානය මූලික කරගෙන ලෝකය පුරා ව්‍යාප්ත වුණු සාර්ථක ව්‍යාපාරයක්. ළදරුවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ සෑම එකක්ම පාහේ ඔවුන් සතුව තියනවා. විශේෂයෙන්ම ඔවුන් කරන්නේ ගෘහස්ථ හා පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරයක් නිසා දරුවන්ට වගේම ඔබේ නිවසට අවශ්‍ය ඕනෙම දෙයක් මිනිසෝ හරහා මිලදී ගන්න පුළුවන්. මේක ජපානයේ උපත ලබපු ව්‍යාපාරයක් නිසා ඔවුන්ගේ ළදරු භාණ්ඩ වල පවා හොඳ ගුණාත්මකබවක් සහ කාට වුණත් ආස හිතෙන හුරුබුහුටි බවක් තියනවා. ටවුන් හෝල් වල තියන මිනිසෝ ප්‍රදර්ශනාගාරයට ගිහින් තියන ඕනෙම කෙනෙක් ඒ දේවල් හොඳින් අත් විඳලා ඇති. ඒ නිසා ඔබේ පුංචි දරුවන්ට අවශ්‍ය කරන ඕනෙම දෙයක් ජාත්‍යන්තර මට්ටමෙ ගුණාත්මක බවක් සහිතව මිලදී ගන්න ඕනේ නම් හොඳම ඔන්ලයින් ස්ටෝර් එකක් තමයි මේ. Miniso Sri Lanka නිල ෆේස් බුක් පේජ් එකට ගියාම ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් සොයලා බලලා ඇනවුම් කරන්න පුළුවන්.  

 

 

6. Nesh.lk

අඩුම මිලට හොඳම ළදරු සත්කාරක නිෂ්පාදන තියන තවත් හොඳ ඔන්ලයින් ස්ටෝර් එකක් තමයි මේ. ඩයපර්ස්, cots, strollers (go cart,prams), සෙල්ලම් බඩු, ළදරු ගෘහ භාණ්ඩ (cots, drawers, පුටු, අධ්‍යයන මේස සහ පුටු) ඇතුළුව ඔබේ දරුවාට අවශ්‍ය ළදරු රැකවරණ අයිතම සියල්ලක්ම මිලදී ගන්න මේ සයිට් එකේ පහසුකම් තියනවා. ඔවුන්ගේ පුළුල් භාණ්ඩ පරාසය ඇතුළේ Baby Land, Velona Cuddles, Poco Casa ආදී සන්නාම නාම සහ තවත් බොහෝ දේවලින් පිරුණු උසස් තත්ත්වයේ නිෂ්පාදන ඇතුළත් වෙනවා. හොඳම මිල ගණන් යටතේ බඩු භාණ්ඩ ගන්න ගමන් 60% දක්වා ඉතිරි කිරීම් කරගන්නත් ඔවුන් පහසුකම් සපයනවා. මේ සේවාවටත් කෑශ් ඔන් ඩිලිවරි පහසුකම තියනවා වගේම වීසා / මාස්ටර් කාඩ් හරහා ගෙවීම් කරන්නත් පුළුවන්. දිවයින පුරා බෙදා හැරීම් කරන ජාලයක් ද තියෙන නිසා ඔබට නිවසට පහසුවෙන් අවශ්‍ය දේ ගෙන්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආකර්ෂණීය වට්ටම් සමඟ මිල ගණන් ද සහිත අන්තර්ජාල සේවාවක් තමයි මේකත්.

 

7. Babies.lk 

ලොකු වෙහෙස මහන්සියක් නැතුව ඔබේ දරුවාට එදිනෙදා අවශ්‍ය කරන දේවල් අඩු මිලට සහ ගුණාත්මක බව සමඟින් මිලදී ගන්න තැනක් හෙව්වා නම් මේකත් හොඳ ඔන්ලයින් ස්ටෝර් එකක්. ආරක්ෂිත සහ මිත්‍රශීලී අන්තර්ජාල සේවාවක් වන Babies.lk තුළ දරුවෙක්ට අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම අන්තර්ගතයි. ඒ නිසා පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් www.babies.lk හරහා ඔබට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ නගර සීමාව ඇතුළත කරන බෙදා හැරීම සියල්ලම ඔවුන් කරන්නේ ඩිලිවරි ෆී එකක් නැතුව සම්පූර්ණයෙන්ම නොමිලේයි. ඒ වගේම දිවයින පුරා බෙදා හැරීම් කටයුතු සඳහා කාර්‍යක්ෂම ජාලයක් ඔවුන් සතුව තියන නිසා ඔබ කොයි ප්‍රදේශයක හිටියත් ඇනවුම් කරන දිනයට පස්සේ දවසේම ගෙදරට නිෂ්පාදනය ගෙනත් දෙන්න ඔවුන් කැප වෙලා ඉන්නේ. ඉතින් ඔබත් මේ සේවාව උත්සාහ කරලා බලන්න.