ගර්භණී සමයේදී ආහාර රුචිය වෙනස් වීම සහ ආහාර ගැනීමෙන් වැළකී සිටීම

ආහාර රුචිය වෙනස් වීම, ඔක්කාරය හෝ උදෑසන අසනීප පිළිබඳ හැඟීම් කියන්නේ ඕනේම අම්මා කෙනෙක්ට තමන්ගේ ගර්භණීභාවයේදී ඇති වෙන ප්‍රකට ලක්ෂණයි. මේ කාලයේදී සමහර කාන්තාවන්ට ආහාර වලට පෙරේතකමක් ඇති වන අතර සමහර කාන්තාවන්ට ආහාර වලට පිළිකුලක් ඇති වෙනවා. ඇතැම් ආහාර කෙරෙහි දැඩි අකමැත්තක් ද ඇතිවෙන්න පුළුවන්. මෙම ආහාර රුචිය වෙනස් වීම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් ගර්භණී සමයේදී සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ගොඩක් අම්මලාට අභියෝගයක් බවට පත් වෙලා තියනවා.

 

ගර්භණී සමයේදී ඔබේ ආහාර රුචිය නැතිවීම සාමාන්‍ය දෙයක්ද?

ඔව්, ගර්භණී සමයේදී ආහාර රුචිය නැතිවීම හෝ ආහාර මනාපයන් වල වෙනසක් අත්විඳීම සාමාන්‍ය දෙයක්. ඒ අතර ගර්භණී සමයේදී ඔබේ බර කොතරම් වෙනස් වෙලාද යන්නට මෙය දායක වෙනවා.

ගර්භණී සමයේදී කාන්තාවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක්ට පමණ ආහාර පිළිකුල් වීමක් ඇතිවන බව පර්යේෂණ වලින් හෙළි වෙලා තිබෙනවා.

මෙම වෙනස්කම් සඳහා හේතු තවමත් නොදන්නා නමුත් ඇතැම් ප්‍රවීණයන් යෝජනා කරන්නේ හෝමෝන, මානසික හෝ සංස්කෘතික හේතු රාශියක් ඒ සඳහා බලපාන බවයි.

 

අඩු ආහාර රුචිය සහ ආහාර පිළිකුල අතර වෙනස කුමක්ද?

ආහාර පිළිකුලට විශේෂිත ආහාරයක් හෝ ආහාර කෙරෙහි දැඩි අකමැත්තක් ඇති වුණත්, අඩු ආහාර රුචිය ඇති වෙන්නේ ඔක්කාරය පිළිබඳ වඩාත් සාමාන්‍ය හැඟීමක ප්‍රතිඵලයක් ලෙසයි. සමහර විට එය වමනය සමඟද සම්බන්ධ වෙනවා.

 

ආහාර පිළිකුල ආරම්භ වීමට හා අවසන් වීමට ඉඩ ඇත්තේ කවදාද?

සාමාන්‍ය ඔක්කාරය හේතුවෙන් ඇති වන අඩු ආහාර රුචිය දවසේ ඕනෑම වේලාවක (එය අනිවාර්යයෙන්ම ‘උදේ අපහසුතාවයක් නොවේ) සහ ගැබ් ගැනීමේ 6 වන සතිය සහ 14 වන සතිය අතර කාලයේදී වැඩි වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ගැබ් ගැනීම ඉදිරියට යන විට ඒවා සමථයකට පත් වෙනවා.

මේ හේතුව නිසා, ඔබ ඔබේ ආහාර වේලට වැදගත් වන විශේෂිත ආහාරයක් ඉවත් කර ඇත්නම්, ඔබට සති කිහිපයකින් ඒක නැවත ආහාරයට එක් කරගැනීමට පරීක්ෂා කර බලන්න පුළුවන්. ඒ අතරතුර ඔබේ පිළිකුල පහ වෙලා ගොස් තියෙයි. අනෙක් අතට, ඔබේ ඔක්කාරය ඔබට ප්‍රමාණවත් පෝෂණයක් ලබා ගැනීම වළක්වනවා නම්, ඔබ වමනය අඩු කර ගැනීමට බැරි නම්, ඔබේ බර අඩු වෙනවා නම් ඔබ වෛද්‍යවරයා හමුවීමට කාලයයි.

 

පොදුවේ ආහාර පිළිකුල ඇති කරන ආහාර මොනවාද?

  • මත්පැන්
  • කෝපි / තේ
  • මස්
  • මේද ආහාර
  • කුළුබඩු සහිත ආහාර
  • බිත්තර

රසකාරක සහ සැර කුළුබඩු සහිත ආහාර වලට වඩා ගර්භණී සමයේදී ඔක්කාරය ඇති ගර්භණී කාන්තාවන් මෘදු හා පැණිරස ආහාර වලට වඩාත් කැමති වෙනවා.

 

ආහාර පිළිකුලට හේතුව මොකක්ද?

ගර්භණී සමයේදී ආහාර පිළිකුල් වීමට හේතුව පැහැදිලි නැතත්, හෝමෝන වෙනස්කම් ඔබ සිත් ගන්නා ආහාර වලට බලපානවා. විශේෂයෙන් ඔබේ ගර්භණී අවධියේ මුල් අවධියේදී. උදාහරණයක් ලෙස gonadotropin (hCG ලෙසද හැඳින්වේ) කියන්නේ ගර්භණී සමයේදී නිපදවන හෝමෝනයක්. ඔක්කාරය, ආහාර රුචිය වෙනස් වීම සහ ආහාර පිළිකුල වගේ හැඟීම් ඇති කිරීම සඳහා එම හෝමෝනය ප්‍රසිද්ධයි. ගර්භණීභාවය ගඳ සහ රසය කෙරෙහි වැඩි සංවේදීතාවයක් ඇති කරන්න පුළුවන් අතර එය ඔබ කෑමට කැමති ආහාර කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවන්.

 

ඔබේ ආහාර පිළිකුලට මුහුණ දෙන්නේ කොහොමද?

ඔබ කැමති හිතෙන ආහාර කෑම සහ ඔබට කන්න හිතෙන්නේ නැති ආහාර කෑමෙන් වැළකී සිටීම සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී හොඳ ප්‍රවේශයක්. ඔබට ආහාර වලට මස් හෝ විශේෂිත එළවළු ඇතුළත් කිරීමට රුචියක් නැති නම්, වෙනත් විකල්ප සඳහා මේවා ආදේශ කරන්නේ කොහොමද කියලා සලකා බලන්න. උදාහරණයක් ලෙස ඇට/ධාන්‍ය වර්ග මස් සඳහා ආදේශ කරන්න.

තවත් විකල්පයක් වන්නේ කොළ පැහැති එළවළු පළතුරු, ස්මූති එකකට මිශ්‍ර කරලා පානය කරන එක. මේ ආකාරයෙන්, ඔබේ වෙනස්වන ආහාර මනාපයන් නොතකමින් එම පෝෂ්‍ය පදාර්ථ හා අත්‍යවශ්‍ය විටමින් ලබා ගන්න පුළුවන් වෙනවා.

සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී ආහාර රුචිය වෙනස් වීමෙන් ඔබට හෝ ඔබේ දරුවාට හානියක් නොවන බව හා ඔබේ පෝෂණය සැලකිය යුතු ලෙස අඩපණ නොවන බව මතක තබා ගන්න. ඔබේ ආහාර වේලට වඩාත්ම වැදගත් ආහාර මොනවාද යන්න පිළිබඳව ඔබට සැකයක් ඇත්නම් හෝ වැදගත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර සඳහා ඔබට රුචියක් නොමැති නම්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

 

ගර්භණී සමයේදී ආහාර පිළිකුල හෝ ආහාර රුචිය නැතිවීම පිළිබඳ උපදෙස් සඳහා කතා කරන්න ඕනේ පහත සඳහන් පුද්ගලයන් සමඟයි.

  • ඔබේ වෛද්‍යවරයා
  • මිඩ් වයිෆ්
  • ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥයා
  • පිළිගත් ආහාරවේදියෙක්

 

හැමවිටම ඔබට සහ ඔබේ දරුවාගේ සෞඛ්‍යට සහ වර්ධනයට අවශ්‍ය පෝශණය ඔබට ලැබෙන බවට වග බලාගන්න.