දරුවා ආරක්ෂා කරගන්නට නිවැරදි ආකාරයෙන් ගෙදර Baby-Proof කර ගනිමු

ගෙදර ඇවිදන, දණගාන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට වගේම අලුත් ඉපදුණ බිළිඳුන් ඉන්න දෙමවුපියන්ටත් තමන්ගේ දරුවාට ආරක්ෂිත පරිසරයක් නිවස ඇතුළේ ඇත්තටම තියනවාද කියලා බලන එක අනිවාර්‍යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ කාරණයක්. නිවසේදී දරුවන්ට ආරක්ෂිත ඉඩක් හදන්න කියන එකෙන් අදහස් කරන්නේ දරුවා යන එන, කරන කියන හැම දේටම ඔබ විසින් හැමතිස්සේම එපා කියන්න ඕනේ කියන එක නෙමෙයි. නමුත් පුංචි දරුවෝ අපි හිතනවාටත් වඩා ඉතාම වේගවත් නිසා ඔබට තත්පරයකට දරුවාව මඟ හැරුණොත් එයාලා නොකළ යුතු දෙයක් කරලා තියෙන්න පුළුවන්. නැත්නම් අනාරක්ෂිත තැනකට ගිහින් ඉන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාව ආරක්ෂා කරගන්නට නිවැරදි ආකාරයෙන් ගෙදර Baby-Proof කරන්නේ කොහොමද කියන එකට ඉහළම උපදෙස් කීපයක් මෙන්න…

 

ඔබේ උණු වතුර හීටරයේ සැකසුම් ගැන අවධානය දෙන්න

ඔබේ කුතුහලයෙන් පිරි ළදරුවාව නිවසේදී ආරක්ෂාකාරීව තබා ගන්න නම් ඔබේ උණු වතුර හීටරය නිතරම අංශක 120 ට වඩා අඩු මට්ටමක තබා ගන්න. මාස 15 ක පමණ කාලයේදී දරුවන් බොත්තම් සමඟ සෙල්ලම් කිරීමට හා දේවල් හැරවීමට ඇල්මක් දක්වනවා. ඔවුන් නාන කාමරයට ඇතුළු වෙලා, උණු වතුර හීටරය සක්‍රීය කරලා, තමන්වම අනතුරට දාගන්න පුළුවන්. මේකෙන් එයාලට පිලිස්සුම් තුවාල බොහෝමයක් ඇති වෙන්න පුළුවන්. නමුත් උෂ්ණත්වමානය අංශක 120 ට වඩා අඩු නම් ඔවුන්ට අනතුරක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම දරුවන් නාන කාමරයේ ඉද්දී අනිවාර්‍යෙන්ම දෙමවුපියන් දෙන්නාගෙන් එක්කෙනෙක් එයාලා එක්ක රැඳෙන්න ඕනේ කියලා මතක තබා ගන්න. ඕනෑම වේලාවක ඔබේ අධීක්ෂණයෙන් දරුවා ගිලිහුණොත් එයාට බරපතල තුවාල සිදු වෙන්න පුළුවන්.

 

නාන කාමර සෑම විටම අගුලු දමා හෝ ආරක්ෂිතව තබා ගන්න

නාන කාමරය කියන්නේ දරුවන්ට තුවාල වෙන්න පුළුවන් විශාල ප්‍රදේශයක්. විශේෂයෙන්ම අඟල් කිහිපයක කුඩා ජල ප්‍රමාණයක පවා දරුවෙක්ව ගිලෙන්න පුළුවන්. ඒ වගේම ළදරුවන් සහ කුඩා ළමුන් වැසිකිළියේ සෙල්ලම් කිරීමටත්, නාන කාමරයේ තිබෙන කැබිනට් විවෘත කිරීමටත් ඉබේම ඇදීලා යනවා. ඒවා බොහෝ විට පිරිලා තියෙන්නේ හානිකර පිරිසිදුකාරක සහ ඖෂධවලින්. ඒ නිසා ඔබේ නිවසේ නාන කාමර දොරවල් වල ලොක් දමා තිබීම සහ child-proof ලොක් සහිත වැසිකිළි ආවරණ තබා ගැනීම වැදගත්. ඔබේ කුඩා දරුවා දොරට තට්ටු කරමින් දොරක් විවෘත කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නා දවසක් පැමිණෙයි. එතකොට ඔවුන් යන්න ඕනේ ස්ථාන වලින් ඔවුන්ව ඈත් කරලා තබන එක දුෂ්කරයි. මෙම ගැටළුව ආරම්භ වෙන්න කලින් ඒක වැළැක්වීම සඳහා door knob covers භාවිතා කරන්න.

 

ළදරුවාව තොටිල්ලේදී ආරක්ෂිතව තබා ගන්නේ කොහොමද දැන ගන්න

ලෝකය පුරා සාමාන්‍යයෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ තොටිල්ල සහ තොටිලි කොට්ට, මෙට්ට සම්බන්ධ හදිසි අනතුරු, තුවාල හා මරණ වාර්තා වෙනවා. තුවාල වීම් වලින් වළක්වා ගන්නට ඔබේ දරුවාගේ වයස සඳහා සුදුසු තොටිල්ලේ උස ගැන මිලදී ගන්න කලින් දැනුම්වත් වෙන්න. ඔබට අලුත උපන් දරුවෙක් ඉන්නකොට තොටිල්ල ගැටලුවක් නැති පසුබිමක තබා ගන්න පුළුවන්. නමුත් දරුවන් වැඩෙද්දී ඔවුන්ට උඩට නගින්න පුළුවන් වුණ ගමන් අනතුරු කරගන්නවා. ඒ වගේම ළදරුවා සමඟ තොටිල්ලේ අමතර දේවල් තියන්නම එපා. ඔවුන්ට ඒකෙදී බ්ලැන්කට් සහ කොට්ට අත්‍යාවශ්‍ය නෑ. මොකද ඒක දරුවාට සියල්ලටම වඩා අනතුරක් බවට පත් වෙන්න පුළුවන්. ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය නිර්දේශ කරන්නේ ළදරුවාගේ තොටිල්ලේ හෝ ඒ අසල කිසිවක් තියන්න එපා කියලායි. crib bumpers පවා තියන්න එපා. මොකද ඒවා ගැලවිලා දරුවන් එහි පැටලවෙන්න පුළුවන්. 

 

නිවස වටා ඇති බර වස්තු ගැන විමසිල්ලෙන් සිටින්න

වයස අවුරුදු හයක් පමණ වෙනකොට ළදරුවන් චලනය වෙන්නට, රෝල් වෙන්නට හා සෙල්ලම් කිරීමට පටන් ගන්නවා. ජීවිතයේ මේ සන්ධිස්ථානයේදී තමන්ට බිමට බසින්න ඉඩ දෙන්න කියලා දෙමාපියන්ගෙන් දරුවන් ඉල්ලනවා. මාස නවයක් විතර වෙනකොට ළදරුවන් ගෙදර තියන ගෘහ භාණ්ඩ මතට නගින්න පටන් ගන්නවා. පෙරලෙන්න සහ ඇඟට වැටෙන්න පුළුවන් ගෘහ භාණ්ඩ පොළවට සවි කිරීම හෝ ඉවත් කර තැබීම හැර වෙන විකල්පයක් දෙමවුපියන්ට නැහැ.  රූපවාහිනී සහ ලෑම්ප් ශේඩ්ස් වගේ බර භාණ්ඩ, ගෘහ භාණ්ඩ දරුවන්ට පේන මානයෙන් ඉවත් කරන්න. මොකද දරුවන් මතට රූපවාහිනී යන්ත්‍ර පෙරළීම නිසා තුවාල වීම් සහ මරණ පවා වර්තා වෙනවා. ඇත්තටම දෙමවුපියන් මේ දේවල් ගැන වැඩිය හිතන්නේ නැහැ. නමුත් දේවල් සිදුවන්නේ තත්පර කිහිපයකින් කියලා මතක තියා ගන්න. ඔබේ නිවසේ තිබෙන පොත් රාක්ක, කණ්ණාඩි මේස සහ බිත්තිවලට සවි කෙරූ රූපවාහිනී සහ ස්ටෑන්ඩ් මත තැබූ රූපවාහිනී යන්ත්‍ර ආදී සියල්ලම පෙරලෙන්නෙ නැති වෙන්න සවි කරන්න හෝ දරුවන්ගේ අතපොවන මානයෙන් ඉවත්කර තබන්න සිද්ධ වෙනව. 

 

විදුලිය ගැන සැලකිලිමත් වන්න

මාස 15 ආශ්‍රිත වයස් සීමාව ඇතුළේ දරුවන් දේවල් තුළට වෙනත් දේවල් දැමීමට උනන්දුවක් දක්වනවා. ඒ අතරම ඔවුන් විදුලි සොකට්වලට දේවල් ඔබන්නත් උත්සහ කරනවා. ඒ නිසා ළදරුවන්ගේ කුඩා ඇඟිලි වලින් පිටතට ඇද ගන්න බැරි තදින් සවි කරන්න පුළුවන් බාහිර විදුලි ආවරණ (electrical outlet covers) දෙමාපියන් විසින් වෙළඳපොළෙන් සොයා ගන්න ඕනේ.  සම්පූර්ණ අවුට්ලට් එකම කවර් කරන ඒවා නම් වඩාත් සුදුසුයි. සොකට් වල එකින් එක සිදුරු වසන කුඩා කවර නම් දරුවා ගලවා අරන් කටේ දමාගෙන සිරකරගෙන අනතුරක් කරගන්නත් පුළුවන් නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.