මව්කිරි දීමෙන් බබාට ඇති වාසි මේවායි

මව්කිරි කියන්නේ ඔබේ දරුවාව පෝෂණය කරන්න පුළුවන් හොඳම ආහාරයයි. ඒකෙන් දරුවාගේ බඩගිනි නිවෙනවා විතරක් නෙමෙයි, මව්කිරි දීමේ වැදගත්කම නිසා ඔබේ දරුවාට වගේම ඔබටත් තවත් වැදගත් ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන්නේ අවම වශයෙන් මාස හයක් වත් දරුවෙක්ට අනිවාර්‍යෙන්ම මව්කිරි දීම නිර්දේශ කරන බවයි. නමුත් මේකට හේතුව කුමක්ද දන්නවාද ? ඒ ගැන තොරතුරු මෙන්න…

 

මව්කිරි දීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි

ඔබ දරුවන්ව පෝෂණය කරනවා වගේම ඔබේ මව්කිරි වලින් ඔබේ දරුවාට ආරක්ෂාවක් ද ලබා දෙනවා. මව්කිරි ප්‍රාථමික සෛල, සුදු රුධිරාණු සහ ප්‍රයෝජනවත් බැක්ටීරියා ඇතුළු සජීවී අමුද්‍රව්‍ය වලින් පිරිලයි තියෙන්නේ. ඒ වගේම මවු කිරි වල තියන ප්‍රතිදේහ, එන්සයිම සහ හෝමෝන වගේ අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංරචක දරුවාගේ ආසාදන වලට එරෙහිව සටන් කිරීමට, රෝග වැළැක්වීමට සහ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න දායක වෙනවා.

 

මව්කිරි දෙන ළදරුවන්ට පළමු මාස 06දී පාචනය සහ අසනීප, ආමාශ ආශ්‍රිත රෝග, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කණ සහ පපුවේ ආසාදන හා තෙරපීම් වලින් පීඩා විඳීමට ඇති ඉඩකඩ අඩුයි. ඒ වගේම කිරි බෝතල් වලින් පෝෂණය කරන දරුවන්ට වඩා මවු කිරි බොන දරුවන්ට හදිසි ළදරු මරණ හෝ SIDS තත්ත්ව වෙත ගොදුරු වීමේ හැකියාවද භාගෙකින්ම අඩුයි.

 

ඇත්ත වශයෙන්ම මව්කිරි දෙන දරුවන් සමහර වෙලාවට දුර්වල වන නමුත් ඔබේ දරුවා අසනීප වෙන වෙලාවට මව්කිරි දීමෙන් ඊටත් වඩා වාසි ලැබෙනවා. මොකද දරුවෙකුට අසනීපයක් ඇති වුණොත් හෝ මවට අසනීපයක් වුණොත් කිරිවල ආරක්ෂිත සංරචක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ලෙඩකදී මව්කිරි දෙන දරුවෙකුට කිරි ෆෝර්මියුලා වලින් පෝෂණය කරන දරුවෙකුට වඩා වේගයෙන් සුවය ලැබීමට ඉඩ තියනවා. මොකද මවගේ ශරීරයෙන් දරුවාට ඇති වෙන ඕනෑම ආසාදනයකට එරෙහිව නිශ්චිත ප්‍රතිදේහ නිපදවලයි තියෙන්නේ.

 

මවුකිරි දරුවෙකුට පෝෂණය හා ප්‍රතිශක්තිය නිසාම විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබේ දරුවාට අසනීප හෝ අපහසුකාරී දවස් වලදිත් දරුවාට සැනසීමෙන් ඉන්න මව්කිරි වලින් ලැබෙන වැදගත් වාසි අවතක්සේරු කරන්න බෑ. ඇත්ත වශයෙන්ම අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙන්නේ මව්කිරි දීමෙන් දරුවන් අඬන එක අඩු කරගන්න පුළුවන් වගේම ළදරුවන්ට එන්නත් ලබා දෙද්දිත් මවුකිරි වලින් ඔවුන්ට සහනයක් ලැබෙන බවයි.

 

නොමේරූ ළදරුවන්ට මව්කිරි වලින් ලැබෙන ප්‍රතිලාභ

 

නොමේරූ දරුවන්ව මවු කිරි නිසා sepsis, නිදන්ගත පෙනහළු රෝග සහ necrotising enterocolitis (NEC) වගේ මාරාන්තික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මව්කිරි දෙන නොමේරූ ළදරුවන්ට ඉක්මණින් රෝහලෙන් පිට වෙලා නිවසට එන්නත් පුළුවන්.

 

ඒ නිසා ඔබේ නොමේරූ ළදරුවන්ට මව්කිරි දීම කියන්නනේ මවකට දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් වඩාත්ම ප්‍රයෝජනවත් දෙයයි. සෑම බිංදුවක්ම පාහේ දරුවාට වටිනවා. ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් මව්කිරි සලකන්නේ පෝෂණයක් විතරක්ම නෙමෙයි වෛද්‍යමය මැදිහත් වීමක් විදිහටයි. 

 

මව්කිරි දීම ඔබේ දරුවාගේ නින්දට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද ?

ෆෝමියුලා කිරි හරහා පෝෂණය වූ දරුවන් වැඩි වේලාවක් නිදා සිටින බව ඔබ අසා ඇති. නමුත් එය මිථ්‍යාවක් බව වර්තමානයේදී පේනවා. පර්යේෂණයන්ට අනුව මව්කිරි දෙන සහ ෆෝමියුලා වලින් පෝෂණය කරන ළදරුවන් දෙගොල්ලන්ම රාත්‍රී කාලයේදී කිරි බොන්න අවදි වෙනවා. නමුත් ඒ දෙකේ වෙනස තමයි මව්කිරි දෙන ළදරුවන් ඉක්මණින් නැවත නින්දට යන එක. ඔබේ දරුවාට මව්කිරි දෙනකොට එයාගේ ශරීරයෙන් ඔක්සිටොසින් නිපදවන නිසා ඉක්මණින් නිදිමත දැනෙනවා. ඔබේ කිරිවල අන්තර්ගත වෙනත් හෝමෝන හා nucleotides නිසා ඔබේ දරුවාට නිරෝගී නිදි රටාවක් වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

 

මව්කිරි දීම සහ ළදරු මොළයේ වර්ධනය

ඔබේ දරුවාගේ පළමු මාස ​​හය කියන්නේ වේගයෙන් වර්ධනය වන එයාගේ මොළය සඳහා කාර්යබහුල කාලයක්. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ මොළයේ ස්කන්ධය දෙගුණයක් වෙනවා. මොන්ටිසෝරි වයසේ දරුවන්ගෙන් කරග ලද පරීක්ෂණ වලින් සනාථ වන විදියට මෙම වර්ධනය පළමු මාස තුනේ මව්කිරෙන් පමණක් පෝශණය වූ දරුවන්ගේ වඩාත් සාර්ථකව සිද්ධ වෙලා තියෙනව. 

 

ළදරුවන්ගේ මොළයේ වර්ධනය සඳහා මව්කිරි දීමේ වැදගත්කම ලොව පුරා සිදු කෙරෙන පර්යේෂණවලින් පිළිබිඹු වෙලා තියෙනවා. පවුලේ ආදායම සහ මවගේ අධ්‍යාපනය වැනි සාධක සැලකිල්ලට ගනිමින් ප්‍රතිඵලය සකස් කළ ද, මව්කිරි දෙන ළදරුවන් ෆෝමියුලා වලින් පෝෂණය වූ ළදරුවන්ට වඩා වැඩි IQ ප්‍රමාණයක් ඇති බව පර්‍යේෂණ වලින් පෙනිලා තියනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද යන්න පිළිබඳ අදහස් කිහිපයක් තිබෙනවා. ප්‍රධානම අදහසක් තමයි මව්කිරි වල අඩංගු දිගු දාම මේද අම්ල වන DHA වගේ අම්ල වලින් දරුවාගේ මොළයට හා මොළයේ වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරනවා කියන එකයි.

 

නවතම පර්යේෂණයන්ට අනුව මව්කිරි දීමෙන් දරුවන්ට යහපත් චර්යාත්මක ප්‍රතිලාභ ද ලැබෙනවා. දරුවන් වැඩිහිටියන් වුනාම ගැටළු සහගත හැසිරීම් පෙන්වීම ඒ හරහා අඩු වෙනවා.

 

ඔබේ දරුවාට මව්කිරි දීමෙන් ජීවිත කාලය පුරාම ලැබෙන ප්‍රතිලාභ

 

මව්කිරි දීමෙන් ඔබේ දරුවාට ප්‍රතිලාභ ලැබෙන්නේ පළමු මාස ​​හයේදී විතරක් නෙමෙයි. දිගින් දිගටම මව්කිරි දෙන තරමට ඒකෙන් ලැබෙන වාසි දරුවන්ට වගේම ඔබටත් වැඩි වෙනවා.

සෑම කිරි දෙන වාරයකදීම ඔබේත් දරුවාගෙත් ශරීර දෙකේම ඔක්සිටොසින් මට්ටම ඉහළ නැවෙනවා. මේ ‘ආදර හෝමෝනය’ ඔබේත් දරුවාගේත් බැඳීම දිරිගන්වයි. මෙය ඔබ දෙදෙනාගේම අනාගත බැඳීම සඳහා ස්ථිර පදනමක් වෙනවා. තමන්ගේ පසුකාලීන ජීවිතයේදී ඇති වෙන ආතතීන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට‍ත් ඔබේ කුඩා දරුවාට ඒක උදව් වෙනවා.

මව්කිරි බොන දරුවන් ලියුකේමියාව සහ lymphoma වගේ පිළිකා වලින් පීඩා විඳීමට ඇති ඉඩකඩ අඩු බව පර්යේෂණ වලින් පෙන්වා දෙනවා. වැඩි කාලයක් මව්කිරි දීමෙන් ඔබේ දරුවා වැඩිහිටියෙක් වුණාට පස්සේ අධික තරබාරුව හා පළමු වර්ගයේ හෝ දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳීමේ අවදානම අඩු කිරීමට ද උපකාරී වෙනවා.

ඒ නිසා මව්කිරි දීමෙන් ලැබෙන ප්‍රතිලාභ අවසන් වන්නේ කවදාද කියලා ඔබ කල්පනා කරනවා නම්, පිළිතුර තමයි ඒවා ජීවිත කාලය පුරාම පවතින බව. ඔබ දිගින් දිගටම මව්කිරි දෙන තරමට සෞඛ්‍යමය වාසි ඔබටත් ලැබෙනවා.