චිත්‍ර ඇඳීමට හුරු කරවීමෙන් දරුවාට ලැබෙන වාසි 

දරුවෙක් ටික ටික ලොකු වෙද්දී එයාට කරන්න පුළුවන් පළවෙනි ම දෙය තමයි පැන්සලක් අරගෙන චිත්‍ර ඇඳීම ආරම්භ කිරීම. මේ නව තාක්‍ෂණික යුගයේ දී ඕනේ තරම් තාක්ෂණික උපාංග සඳහා දරුවන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් නිසා වැදගත් නිර්මාණාත්මක කුසලතා ඉගෙන ගන්න ඔවුන්ට අලුත් ක්‍රම අත් හදා බලන්නත් පුළුවන්. චිත්‍ර ඇඳීම මෙම කුසලතාවන් අතර දරුවන් ඉගෙන ගන්න අත්‍යාවශ්‍ය මූලික කලා හැකියාවක්. ඒකට හේතුව දැන් අපි ඔබට කියන්නම් …

 

චිත්‍ර ඇඳීම දරුවන්ගේ ප්‍රකාශන හැකියාව දියුණු කරනවා 

වචන හා ක්‍රියා විතරක් භාවිතා කරමින් දරුවන්ට හැම වෙලාවෙම අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒ නිසා චිත්‍ර ඇඳීම කියන්නේ දරුවන්ට තවත් වැදගත් සන්නිවේදන ක්‍රමයක්. ඔබේ දරුවාගේ සිතුවිලි සහ හැඟීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් දරුවගේ චිත්‍රයක් තුළින් ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන්ට හැඟෙන දේ ප්‍රකාශ කරන්න හැකිවීම දරුවගේ චිත්තවේගීය බුද්ධිය වැඩි කරවනවා. 

 

එය ඔබේ දරුවාගේ චලන කුසලතා වැඩි දියුණු කරයි

 

පුංචි පැන්සල් පහරක ඉඳන් කවදාහරි ආඩම්බර වෙන්න පුළුවන් කලාකෘතියක් දක්වා චිත්‍ර ඇඳීම කියන්නේ කුඩා කාලයේ ඉඳන්ම ඔබේ දරුවාගේ  චලන කුසලතා (motor skills) වැඩි දියුණු කරවන කලා හැකියාවක් . පුළුවන් තරම් ඉක්මනින් ඒ වගේ කුසලතා ආරම්භ කිරීම මඟින් දරුවන්ගේ අත් සහ ඇස් අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කරගන්න උපකාර වෙනවා වගේම දරුවන්ගේ ඇඟිලි වල මාංශ පේශී ද මනාවට සකස් වෙනවා. ඔබේ පුංචි කලා වීරයාට එයාගේ නිර්මාණාත්මක කුසලතා ගැන විශ්වාසය ගොඩනඟා ගන්න දෙන්න.  “ඔයාට මේ සරල හැඩතල අඳින්න පුළුවන් නම් ඔයාට ඕනෑම දෙයක් අඳින්න පුළුවන්” කියමින් දරුවාට ආත්ම විශ්වාසයක් දෙන්න.

 

ඇඳීම ඔබේ දරුවාගේ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කරයි

 

චිත්‍ර ඇඳීමේදී දරුවෙක්ට විවිධ වර්ගයේ තීරණ ගන්න සිද්ධ වෙනවා. ‘මම මේකට භාවිතා කරන්න ඕනේ මොන වර්ණය ද?’ නැත්නම් ‘මම සතෙක් ඇඳලා එයාගේ ශරීරයේ කොටසක් තවත් කොටසකට සම්බන්ධ කරන්නේ කොහොමද?’ වගේ ප්‍රශ්න සියල්ලක්‌ම විසඳාගන්න 

දරුවන්ට අවශ්‍ය වෙනවා. චිත්‍රයේ අවසානයේදී යම් යම් කොටස් පෙන්නලා ඒ විදිහට ඇන්දේ ඇයි කියලා හෝ මේ වගේ වර්ණ භාවිතා කළේ ඇයි කියලා ඔබ දරුවාගෙන් විමසන්න .

 

එය ඔවුන්ගේ පරිකල්පනය ක්‍රියාකාරී කරවයි

 

චිත්‍ර ඇඳීම ඔබේ දරුවාගේ පරිකල්පනය වඩාත් ක්‍රියාකාරී වීමට ඉඩ සලසනවා. ඔවුන් අඳින සෑම අවස්ථාවක ම ඔවුන් ඔවුන්ගේ ම පරිකල්පනයට ප්‍රවේශ වන අතර ඔවුන්ගේ මනසේ ඇති දේවල් චිත්‍ර වලින් නිරූපණය කරනවා. අපි භාවිතා කරන සෑම දෙයක්ම නිර්මාණය කරන්න හේතු වුණ දේ වගේම එදිනෙදා අපි කරන හැම දෙයක්ම පරිකල්පනය වටා බැඳිලා තියනවා. 

 

චිත්‍ර ඇඳීම ඔබේ කුඩා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා සූදානම් කරයි

 

චිත්‍ර ඇඳීම කියන්නේ දරුවන්ගේ තාර්කික චින්තනයේ හෝ abstract thought වල මුල් අත්තිවාරමයි. ඔබේ දරුවා තවමත් ඔබ සමඟ නිවසේ හෝ පාසලේ සිටියත්, චිත්‍ර ඇඳීම මඟින් ඔවුන්ට වඩාත් දුෂ්කර සංකල්ප තේරුම් ගැනීමට උපකාරී වෙනවා. කුඩා කාලයේ ඉඳන්ම මෙම නිර්මාණාත්මක චින්තන ක්‍රම ඉගෙනීම මඟින් අනාගත අධ්‍යාපනය සඳහා දරුවන්ව සූදානම් කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට ඇඳීමට විවිධ ද්‍රව්‍ය ලබා දෙන්න. උදාහරණයක් විදිහට ක්‍රෙයොන්ස්, තීන්ත, හුණු සහ ඩිජිටල් මාධ්‍ය මෙවලම් ද ඒ සඳහා යොදා ගන්න අමතක කරන්න එපා. අද කාලයේදී දරුවන් නිතරම භාවිතා කරන්න උත්සහ කරන ටැබ්ලට් සහ වෙනත් පරිගණක වලිනුත් චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කරගන්න වටින තාක්ෂණික ක්‍රම අන්තර්ගත නිසා ඒවත් ඔවුන්ගේ කලා හැකියාවන් වර්ධනය කරවන්න උදව් කර ගන්න. 

 

මුල් අවධියේදී ම චිත්‍ර ඇඳීම ආරම්භ කිරීමෙන් දරුවන්ට නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගන්න පුළුවන් වෙනවා.