රූපලාවණ්‍ය නිෂ්පාද​න නිසා ගැහැණු දරුවන්ට අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල ඇතිවන බව ඔබ දන්නවාද?

දරුවෝ කියන්නේ දෙමවුපියන්ගේ එකම සම්පතයි. ඔබ පුතෙක් හැදුවත්, දුවෙක් හැදුවත් ඔවුන් නිසි වයසට එනකල්ම ආරක්ෂා කරන එක දෙමාපිය ඔබේ වගකීමයි. ආරක්ෂාව පිළිබඳව කතා කරද්දී ඔවුන්ට සෞඛ්‍යමය අංශයෙන් ලබා දෙන ආරක්ෂාවත් ඉතාම වැදගත්. විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගනිද්දී නව යොවුන් දරුවන් ඒවා භාවිතයට වැඩි වශයෙන් යොමු වෙලා ඉන්නවා.  

 

කැලිෆෝර්නියා සරසවියේ පර්යේෂකවරුන් දරුවන් හා දැරියන් සම්බන්ධව කළ පර්යේෂණයක් ඇසුරින් හෙළිවී ඇත්තේ පිරිමි දරුවන්ට සුවඳ විලවුන්, බොඩිලෝෂන්, ආලේපන භාවිතයෙන් එතරම් බලපෑමක් නොවුණ ද මල්වර නොවූ දැරියන්ට ඉන් බලපෑමක් වන බවයි. මේවාගේ අඩංගු රසායන ද්‍රව්‍ය කාන්තා ලිංගික හෝර්මෝනය වන ඊස්ට්‍රජන් හෝර්මෝනයට බලපානවා. එය ඉතා ඉක්මනින් නිසි වයසට පෙර දූවරුන් මල්වර වීමට හේතුවක් වී තිබෙනවා. නිසි වයසට පෙර මල්වර වීම පියයුරු පිළිකා සහ ඩිම්බකෝෂ පිළිකා අවදානම වැඩි කරන්නටද හේතු වන්න ඉඩ තිබෙනවා.

මවුවරුන් විසින් බැක්ටීරියා නාශක අඩංගු අත් සෝදන දියර (හෑන්ඩ් වොෂ්) භාවිතයට යොමු වීම ද දරුවන් ඉක්මනින් මල්වර වීමට හේතුවක්. මේ බැක්ටීරියා නාශක අත් සෝදන දියරවල ට්‍රයික්ලෝසාන් අඩංගුයි. ට්‍රයික්ලෝසාන් ඇතැම් දන්තාලේපනවල ද අඩංගුයි. මේ රසායනයට නිරාවරණය වීම දැරියන්ගේ මල්වර වීම ඉක්මන් කරවනවා.

 

දරුවන් මුල් වරට රසායන ද්‍රව්‍යවලට මුහුණ දෙන්නේ බිහි වීමටත් පෙර කළල අවස්ථාවේදී ය. ඒ මෙවැනි රසායන ද්‍රව්‍ය මවුවරුන් නිතර භාවිත කරන නිසායි.

 

නිසි වියට පෙර මල්වර වීම දරුවන්ට මානසික හා චර්යාත්මක ගැටලු ඇති කිරීමට හේතු වෙනවා. ට්‍රයික්ලෝසාන් මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු පැරබීන්ස්, බිස්ෆෙනෝල් ඒ (BPA) දූවරුන්ට අහිතකරයි. අලංකාරය රකින සමහර ද්‍රව්‍ය වල, රූපලාවන්‍ය නිෂ්පාදන සහ කේශාලංකාර නිෂ්පාදන කල් තබා ගැනීමට පැරබීන්ස් යොදා ගන්නවා. මේවා ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම අක්‍රමවත් කරන අතර පිළිකා ඇති වීමට, බර අනවශ්‍ය ලෙස වැඩි වීමට, මාංශ පේශී ධාරිතාව අඩු වීමට එය හේතුවක්.

බිස්ෆෙනෝල් ඒ කෑන් කළ ආහාරවල සුලබව අඩංගු‍යි. මේවා මඳ සරු වීමට, ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමට, දරුවන් අධි ක්‍රියාකාරී වීමට, දියවැඩියාවට ගොදුරු වීමට නියමිත මාස ගණනට පෙර දරුවන් බිහි වීමට, නියමිත වයසට පෙර මල්වර වීමට බලපානු ලබනවා. ට්‍රයික්ලොසාන් රසායනිකය පෞද්ගලික සනීපාරක්ෂාව සඳහා ඇති බොහෝ ද්‍රව්‍යවල අඩංගුයි. ඒ අතරට බැක්ටීරියා නාශක සබන්, බොඩි වොෂර්ෂ්, දත් බෙහෙත්, රූපලාවන්‍ය නිෂ්පාදන, ඇතැම් ඇඳුම්, ලී බඩු සහ සෙල්ලම් බඩු ද අයත් වෙනවා.

 

මේ අනුව දූවරුන් සිටින මවුවරුන් තම රුව, සනීපාරක්ෂාව ගැන සිතා යමක් මිලදී ගැනීමේදී දෙවරක් සිතා බැලිය යුතුයි. ට්‍රයික්ලෝසාන් අඩංගු වූවා කියා විශේෂ බැක්ටීරියා විනාශයක් සිදු වෙන්නේ නෑ. සාමාන්‍ය සබන් කෑල්ලකින් වුණත් විෂබීජ මැඩ පවත්වාගත හැකියි. දරුවන් භාවිතා කරන ආලේපන වලින් දෙමවුපියන් හිතන්නේ වත් නැති අහිතකර ප්‍රතිඵල ලැබෙනවා.