Surrogacy සහ IVF ක්‍රමවේද හරහා දරුවන් ලබාගත් ​බොලිවුඩ් තරු

Surrogacy යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවක් වෙනත් දෙමවුපියන් යුවළක් වෙනුවෙන් දරුවෙක් බිහි කර දීමට එකඟ වීමයි. දරුවා ඉපදුණාට පස්සේ උපත ලබා දුන්න මව විසින් දරුවාව අපේක්ෂා කරපු තනි මවට, තනි පියාට හෝ දෙමාපිය යුවළට දරුවාගේ සම්පූර්ණ භාරකාරත්වය ලබා දෙනවා. අද කාලයේදී මේ ප්‍රවණතාවය ලෝකයේ සුප්‍රසිද්ධ තරු අතර ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වෙලා තියනවා. ඒත් මේක ඉතා සංකීර්ණ නීතිමය සහ වෛද්‍ය පියවරයන් සපුරාලිය යුතු ක්‍රමයක්. අද අපි ඔබට කියන්නම් Surrogacy ක්‍රමය හරහා දරුවන් හදා වඩා ගන්නා බොලිවුඩ් තරු කිහිප දෙනෙක් ගැන…

 

ශිල්පා ශෙට්ටි

Surrogacy ක්‍රමයෙන් දරුවෙක් ලබා ගත්ත තරු නිළියන් අතරින් කෙනෙක් තමයි ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා කියන්නේ. ඇය ඒ නිසාම බොලිවුඩයේ ජනප්‍රිය මවක් බවට පත් වුණා. ඇයගේ සහ ඇගේ සැමියා වන රාජ් කුන්ද්‍රාගේ දෙවන දරුවා විදිහට එම දරුවාව පෙබරවාරි 15 වනදා පිළිගත්තා. නමුත් ඉන්ස්ටග්‍රෑම් හරහා ඒ බව නිවේදනය කිරීමට ඔවුන් සතියක් කල් පහු වෙනකල් බලා සිටියා. එම දරුවාගේ නම සමීෂා ෂෙට්ටි කුන්ද්‍රා.

 

ශාරුක් ඛාන්

ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රාගේ අලුත් දරුවාගේ නිවේදනය ගැන සමස්ත ඉන්දියාවම පුදුමයට පත් වුණා. නමුත් මෙම Surrogacy ක්‍රමය තුළින් දරුවෙක් ලැබූ පළමු බොලිවුඩ් තරුව ඇය නෙමෙයි. 2017 වසරේදී ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන් තමන්ගේ තෙවැනි දරුවා වන අබ්රාම් ඛාන්ව බිහි කර ගත්තේ ඒ ක්‍රමයටයි. 2013 වර්ෂයේදී තමයි Surrogacy මඟින් දරුවෙක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ගැන ඔහු ප්‍රථම වරට ගැන කතා කරලා තිබ්බේ.

 

සනී ලියොන් 

නිළියක සහ ව්‍යවසායිකාවක වන සනී ලියොන් ඇයගේ පළමු දරුවා වන නිෂාව දරුකමට හදා ගැනීමට අරගෙනයි තිබ්බේ. ටික කාලයකට පස්සේ 2018 දී Surrogacy ක්‍රමයෙන් ද නිවුන් දරුවන් දෙදෙනෙක් ඔවුන් ලබා ගත්තා. මෙම ප්‍රීතිමත් යුවළ සමාජ මාධ්‍ය භාවිතා කරමින් එම ප්‍රවෘත්තිය ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කරමින් මෙහෙම කියලා තිබ්බා. “දෙවියන්ගේ සැලැස්මක් !! අපිට සම්පූර්ණ පවුලක් ඇති කර ගැනීමට ඕනේ වුණා. ඒකට සැලසුම් කරමින් උත්සාහ කළා. ඒ අතරතුරදී වසර ගණනාවකට පස්සේ අපේ පවුල දැන් ආශර් සිං වෙබර්, නෝවා සිං වෙබර් සහ නිෂා කෞර් වෙබර් සමඟ සම්පූර්ණ වුණා. අපේ පිරිමි දරුවන් දෙදෙනා සති කිහිපයකට පෙර උපත ලැබූ නමුත් වසර ගණනාවක් තිස්සේ ඔවුන් අපගේ හදවත් හා ඇස් වල ජීවත්ව සිටියා. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් විශේෂ දෙයක් සැලසුම් කරමින් අපිට විශාල පවුලක් ලබා දුන්නා. දැන් අපි දෙදෙනාම ලස්සන දරුවන් තිදෙනෙකුගේ ආඩම්බර දෙමාපියන්. හැමෝම පුදුම කරමින්! ”

 

ආමීර් ඛාන්

2011 දී අමීර් ඛාන් සහ ඔහුගේ චිත්‍රපට නිෂ්පාදක-බිරිඳ කිරාන් රාඕ විසින් ඔවුන්ගේ කුලුඳුල් දරුවාගේ උපත නිවේදනය කළා. ඔවුන්ද එම දරුවන්ව බිහි කර ගත්තේ Surrogacy ක්‍රමයෙන්. ඒ කාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම බොලිවුඩ් යුවළ තමන්ගේ පුතු වන අසාද්ගේ උපත සඳහා IVF (in-vitro fertilization) භාවිතා කිරීම පිළිබඳව විවෘතව කතා කළා. “මේ දරුවාට අපි විශේෂයෙන් ආදරය කරන්නේ ඔහුව අපිට ඉපදුණේ දීර්ඝ කාලයක් බලා සිටීමෙන් හා විවිධ දුෂ්කරතා විඳීමෙන් පසුවයි. IVF-surrogacy හරහා දරුවෙක් ලබා ගන්න කියලා අපිට උපදෙස් ලැබුණා. සියල්ල හොඳින් සිදුවීම ගැන සර්වබලධාරි දෙවියන්ට අපි කෘතඥ වෙනවා” යනුවෙන් ඔවුන් සඳහන් කරලා තිබ්බා.

 

කරන් ජොහාර් 

බොලිවුඩයේ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂ කරන් ජොහාර් කියන්නේ සින්ගල් පේරන්ට් කෙනෙක්. බොලිවුඩයේ අනෙක් තරු වගේම ඔහුත් තමන්ගේ දරු සිහිනය සැබෑ කර ගත්තේ Surrogacy ක්‍රමයෙන් 2017 මාර්තු මාසයේදී. ඒ හරහා ඔහු පිරිමි ළමයෙක් හා ගැහැණු ළමයෙක් ලබා ගත්තා. ඔහු තමන්ගේ නිවුන් දරුවන්ව යෂ් සහ රූහි ලෙස නම් කළේ ජොහාර්ගේ දෙමව්පියන්ගේ නම් සිහි වෙන්නයි. ඔහුගේ චරිතාපදානය වන ‘‘An Unsuitable Boy’’ පොතේදී මෙම චිත්‍රපට නිෂ්පාදකයා තමන්ට තාත්තා කෙනෙක් වීමට ඇති ඔහුගේ ආශාව ගැන ලියලා තියනවා. “මම ඒ ගැන මොකක් කරන්නද කියලා මම දන්නේ නෑ. නමුත් මම පියෙක් වෙන්න කැමතියි කියලා මට හැඟෙනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. නමුත් මට ඒ ගැන අවශ්‍යතාවයක් දැනෙන්නේ, මට පිරිනැමීමට ඕනෑ තරම් ආදරය ඇති නිසා සහ එය ඉදිරියට ගෙන යාමට මා කැමති නිසායි. මට ඒ හැඟීම මුදා හරින්නට වේදිකාවක් අවශ්‍යයි. එම වේදිකාව හැදෙන්නේ තාත්තා කෙනෙක් වීමෙනුයි” ජොහාර් තමන්ගේ පොත නිකුත් කරද්දී එහෙම කියලා තියනවා.

 

තුෂාර් කපූර් 

2016 ජුනි මාසයේදී තුෂාර් කපූර් තමාට Surrogacy ක්‍රමය හරහා පිරිමි දරුවෙක් ලබා ගත්ත බව නිවේදනය කළා. තනිකඩව ජීවත් වෙන මෙම නළුවා තමන්ගේ දරුවාට ලක්ෂ්‍යා යන නම තැබුවා. “මුලදී මගේ දෙමව්පියන් තරමක් භීතියට පත්වූණේ මේ දරුවා IVF හා Surrogacy තුළින් උපත ලැබූ දරුවෙක් විදිහට ප්‍රකාශ කළ යුතුද නැද්ද කියලායි. මොකද ඉන්දියානුවන් ඒ ප්‍රවෘත්තිය භාර ගන්නේ කොයි විදිහට ද කියලා ඔවුන් මුලදී බය වුණා” යනුවෙන් තුෂාර් මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බා.

 

එක්තා කපූර් 

අවුරුදු තුනකට පස්සේ තුෂාර් කපූර්ගේ වැඩිමල් සහෝදරිය වන එක්තා කපූර් ද තමන්ට දරුවෙක් ලබා ගැනීමට Surrogacy ක්‍රමයෙන් උපකාර ලබා ගත්තා. රූපවාහිනියෙන් ඇය ඒ පිළිබඳව නිවේදනය කරමින් කිව්වේ ඇය Surrogacy ක්‍රමය තෝරා ගනිමින් 2019 ජනවාරි 27 වන දින පිරිමි දරුවෙක්ට මවක් වූ බවයි. එක්තා කපූර් ඔහුට රවී යන නම තැබුවා.