Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ආතතිය නොමේරු දරු උපත් කෙරෙහි බලපානවාද..

ගර්භනී සමය කාන්තාවන්ගේ ජීවිතයේ වැදගත් කාල සීමාවක්.. සතුට, බිය ආදි නොයෙකුත් හැඟීම්හි සංකලනයක් ලෙස එම කාල සීමාව හැඳින්වීමට පුලුවන්. නමුත් ඇතැම් කාන්තාවන් ගර්භනී සමයේදි අධික ආතතිය නිසා පීඩාවට පත්වෙනවා. විශේෂයෙන් ගර්භනී සමයේදී ආතතිය කළමනාකරණය කර ගැනීමට නොහැකි විම අභියෝගාත්මක වුවත් එයට උත්සාහ කිරීම වැදගත් වෙනවා. මානසික ආතතිය සහ නිදන්ගත ආතතිය (chronic stress) නොමේරු දරු උපත් කෙරෙහි බලපෑම් එල්ල කරනවා.

නොමේරු දරු උපත් සහ ආතතිය අතර ඇති සබඳතාවය

දරු ප්‍රසූතිය ගැබිණි මවත් කුසතුළ සිටින දරුවාත් යන පාර්ශවයන් දෙක අතර සිදුවන තේරුම්ගත නොහැකි ක්‍රියාවක ප්‍රථිඵලයක් වෙනවා. එමනිසා ආතතිය නිසා දරු ප්‍රසූතිය ඉක්මන් වනවා යැයි කීමට නොහැකි වුවත් පර්‍යේශණයන්ට අනුව ගැබිණි සමයේ දැඩි ආතතියකින් පීඩා විඳින මවුවරුන් දරුවන් ඉක්මනින් ප්‍රසූත කරන බව හෙළිව තිබෙනවා. ඒ අනුව දැඩි ආතතිය නොමේරු දරු උපත් ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා. ඔබ ආතතියෙන් සිටින විට ඔබගේ රුධිර පීඩනය, හෘද ස්ඵන්දන වේගය ඉහල යන අතර හෝමෝන ශරීරය පුරා පැතිර යාම ඉක්මන් වෙනවා.

එමනිසා ඔබ ආතතියෙන් පෙළෙන ගර්භනී කාන්තාවක් නම් එය නිදන්ගත (chronic) ආතති තත්ත්වයක් ද නැතිනම් හදිසියේ ඇතිවන, කෙටි කාලීන (acute) ආතති තත්ත්වයක් දැයි අවබෝධ කර ගැනීම වැදහත් වෙනවා.

කෙටිකාලීන ආතතිය (Acute stress): මෙම ආතති තත්ත්වය කෙටි කාලීන වන අතර දරු උපතින් පසුව සාමාන්‍ය වෙනවා.

නිදන්ගත ආතතිය (Chronic stress): මෙම ආතති තත්ත්වය දිගින් දිගටම පවතින අතර සාමාන්‍ය තත්ත්වයට පත් නොවේ.

Acute stress තත්ත්වය නොමේරු දරු උපත් සදහා හේතු නොවේ. එය ඔබගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සමග ඇතිවී නැතිවී යන තත්ත්වයක්.. උදාහරණයක් ලෙස ඔබගේ සහකරු සමග වචන හුවමාරුවක්, එසේ නැතිනම් රාජකාරි ස්ථානයේ ගැටළුවක් වැනි දෙයකින් ඔබ ආතතියට පත්ව මද වේලාවකින් එය සමනය වීම සිදුවෙනවා.

නමුත් Chronic stress තත්ත්වය මෙයිට වඩා වෙනස් වන අතර එම නිසා ශරීරයේ රුධිර වාහිනි ආශ්‍රිත වෙනස්කම්, හෝමෝන මට්ටම සහ ආසාදනයන්ට එරෙහිව සටන් කිරීම ආදිය කෙරෙහි බලපෑම් එල්ලකරනවා. එම හේතූ සියල්ලම නොමේරු දරු උපත් සඳහා හේතු වෙනවා. උදාහරණ ලෙස දික්කසාද වීම, සමීපතමයකුගේ වියෝව, දිගු කාලයක සිට රැකියා විරහිත වීම හෝ ගර්භනී සමයේ ඇතිවන කාංසිය වැනි තත්ත්වයන් නිදන්ගත ආතති තත්ත්වය වැඩිකරනු ලබනවා.

ගර්භනී සමයේ ආතතිය පාලනය කරගත හැකි ආකාර

විකල්ප චිකිත්සක ක්‍රම : සම්භාහනය, කටු චික්ත්සාව, සුගන්ධ ශාක සාර හා තෙල් යොදා කරන ප්‍රතිකාරය, මෝහන චිකිත්සාව වැනි ප්‍රතිකාර මගින් ආතතිය සමනය වෙන බව හෙළිව තිබෙනවා.

උපදේශණය : ගර්භනී සමයේ ආතතිය පාලනයට කිරීම සම්බන්ධයෙන් උපදේශනය ලබාගැනීම මගින්ද ආතතිය වළක්වා ගැනීමට පුළුවන්.

ව්‍යායාම : ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, යෝග අභ්‍යාසයන් හි නියැළිම වැනි ක්‍රමයන් මගින් ගර්භනී සමයේදී ඇතිවන ආතති සහ මානසික අවපීඩන තත්ත්වයන් සාර්ථකව පාලනය කරගැනීමට හැකිවෙනවා.

BabyandMeගෙන් වදනක් : ගර්භනී සමයේදී ශාරීරික මානසික සුවතාවය ඉතාමත් වැදගත් කාරණයක්.. ඔබ මානසික ආතතිය නිසා පීඩා විඳිනවා නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් එය පාලනය කරගත හැකි වෙනවා.. ඒ වගේම සමබර ආහාර වේලක් ලබාගන්නා අතරම ක්‍රියාශීලි ජීවන රටාවක් ගත කිරීමත් ඒ සඳහා සහය වෙනවා. නමුත් ව්‍යායාමයන් හි නියැළීමේදී ඔබගේ ගර්භනී භාවයට බලපෑම් එල්ල නොකරන ක්‍රියාකාරකම් පමණක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න.

«

»