ඔබ ළඟ සිටියත් දරුවා අනතුරට ලක් වෙන්න පුළුවන් අවස්ථා – 2 කොටස

පුංචි දරුවෝ කියන්නේ අපේ ඇස් දෙක වගේ බලාගන්න ඕනේ කට්ටියක් නේ. ඔබ දැනටමත් දරුවෝ ඉන්න මවක් නම් ඒ වගකීම ගැන බොහෝ අත්දැකීම් ඇති. ඇසි පිය ගසන එක් තත්ත්පරයකදී ක්ෂණික ඇසිල්ලෙන් ඔවුන් අනතුරකට භාජනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහොම ඉහළයි. සමහර වෙලාවට දෙමවුපියන්ටත් ලොකු අවබෝධයක් නෑ නිවසේදීම දරුවන් අනතුරකට භාජන වෙන්න ඉඩ තිබෙන අවස්ථා සහ හේතු මොනවද කියලා.

ඒ නිසා අනතුරක් වෙන්න කලින් නිවස ඇතුළේ දරුවාට ආරක්ෂිත පරිසරයක් ගොඩනඟන එක කෝකටත් හොඳයිනේ. මේ පිළිබඳව මීට පෙරත් අපි ඔබට තොරතුරු ගෙන ආවා. මේ එම ලිපියේම තවත් දිගුවක්. 

ඔබ ළඟ සිටියත් දරුවා අනතුරට ලක් වෙන්න පුළුවන් අවස්ථා -1 කොටස මෙතනින් කියවන්​න

රූපවාහිනිය සුරක්ෂිත කිරීම

ගොඩක් වෙලාවට අම්මලා නිවසේදී එදිනෙදා වැඩ කරද්දී දරුවන්ව රූපවාහිනිය ඉස්සරහ තියලා වැඩ කරගන්නවා. නමුත් නිවස දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරද්දී රූපවාහිනිය කියන්නෙත් අවදානම් උපකරණයක්.

රූපවාහිනිය ඇද වැටීම හේතුවෙන් දරුවන් බොහෝ අනතුරු වලට ලක් වී තිබෙනවා. මේ වගේ අස්ථායී, බරක් සහිත ඉලෙක්ට්‍රොනික උපකරණ සමඟ කටයුතු කරද්දී දරුවන්ගේ පූර්ව ආරක්ෂාව ගැන සැළකිලිමත් වීම ඉතා වැදගත්.

ඔබේ රූපවාහිනිය බිත්තියට සවි කිරීම ගැන සලකා බලන්න. ඒක විකල්පයක් නෙමෙයි නම්, එය දරුවාට ලඟාවිය නොහැකි කැබිනට් එක මත තබන්න හෝ ශක්තිමත් රූපවාහිනී ආධාරයකින් සවි කිරීමට වග බලා ගන්න.

 

උෂ්ණත්ව පාලනය

නිවස තුළ දරුවා ආරක්ෂාකාරීව හා සුවපහසු ලෙස තබා ගැනීම සඳහා නිසි උෂ්ණත්ව ප්‍රමාණයක් තබා ගැනීමත් වැදගත්. සාමාන්‍යයෙන් ආසියානු රටවල් වල සෙල්සියස් අංශක 22-28 ත් අතර උෂ්ණත්වයක් තමයි දරුවෙක්ට සුදුසු කාමර උෂ්ණත්වය වන්නේ.

එය උෂ්ණත්වමානයකින් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. සුවපහසු උෂ්ණත්වයක් පවත්වා ගැනීමෙන් ඔබේ කුඩා දරුවා පෙරටත් වඩා හොඳින් නිදා ගනීවි.

 

නාන වේලාව 

ඔබේ දරුවා කිසිම මොහොතක බාත් ටබ් එකේ හෝ නාන කාමරයේ තනිවම තියන්න එපා. හුදකලා පරිසරයකදී කිසිම විටෙකත් දරුවව වතුරට දමන්න එපා.

නිවසේ සිටින දරුවා සමඟ ගැවසෙන වැඩිහිටියන් සහ අනෙක් සාමාජිකයන්වත් මේ ගැන දැනුවත් කරන්න. විශේෂයෙන් දරුවාව නාවන අතරතුර ඔබේ දුරකථනය වාදනය වුණොත්, ගෙදරට අමුත්තෙක් පැමිණියොත් හෝ ගෙදර සාමාජිකයෙක්ට යමක් කියන්න.

අවශ්‍ය වුණොත් සෑම විටම ප්‍රථමයෙන්ම දරුවාව ජලයෙන් ඉවතට ගෙන ඔබ සමඟ රැගෙන යන්න මතකයේ තබා ගන්න.

 

විදුලි උපකරණ

අපගේ ජීවිත කාලය පුරාම අපි නිරන්තරයෙන් අලෙවිසැල්වලින් විදුලි උපකරණ මිල දී ගෙන එදිනෙදා භාවිතා කරනවා. නමුත් ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන සැලසුම් කරන විට ඒවායින් සිදු විය හැකි හානිය පිළිබඳවත් මතකයේ තබා ගත යුතුයි.

දරුවන් විදුලි පේණු, පරිපථ තුළට ඇඟිලි දැමීමට යෑම නිසා සිදු වන පිළිස්සුම් හා දැඩි කම්පන වලින් සිදු විය හැකි අනතුරු ඉතාම භයානක බව ඔබ නොදන්නා කරුණක් නෙමෙයි නේ.

ඒ නිසා ඔබගේ නිවසේ විදුලි ආරක්ෂාව සහතික කිරීම සඳහා වඩාත්ම ලාභදායී ක්‍රමය වන්නේ ආරක්ෂිත කවර හෝ ප්ලග් සහිත විදුලි උපකරණ භාවිතයයි.

 

දොරවල් වල සහ මේස වල ආරක්ෂාව

ඔබේ නිවසේ දොරවල් වලට නිසි ආරක්ෂාවක් නොයෙදෙව්වොත් ඔබේ දරුවාගේ කුඩා ඇඟිලි ඊට හසු වීමේන් අනතුරු සිදු විය හැකියි. ඒ ගැනත් අවධානය දෙන්න.

කුඩා දරුවන්ගේ ඇඟිලි එබීමෙන් හෝ දොරට හසු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා සරල හා ලාභදායීම විසඳුම වන්නේ පින්ච් ගාඩ් එකක් මිලදී ගැනීමයි.

ඒ වගේම දරුවන්ගේ දැඟලිල්ල පාලනය කරන්න දෙමවුපියන්ට නිතරම අමාරු නිසා නිවසේ තිබෙන කෝපි මේසයේ තියුණු දාර, පැති මේස සහ සමහර පුටු, ඇඳවල් වැනි ගෘහ භාණ්ඩ පැඩින් කරන්න. ඒක ආරක්ෂිතම විකල්පයක් විතරක් නෙමෙයි ඔබේ ගෘහ භාණ්ඩ වලටත් එයින් හොඳ පෙනුමක් ලැබෙයි.