නත්තලට රසම රස නත්තල් කේක් එකක් හදාගන්න මෙන්න අපෙන් රෙසිපි එකක්

ළඟ ළඟම එන නත්තලට දැන් ඉඳන්ම සූදානම් වෙන ඔයාලට ඔන්න අපි කලින්ම අරන් ආව නත්තල් කේක් එකක් හදන හැටි. මේක කලින් හදල තියන තරමටනෙ රස අල්ලන්නෙ. ඔන්න මේ පාර නත්තල පොඩිත්තො එකතු කරගෙනම ලස්සනට සමරන්න හිතන් ඉන්න අම්මලාට රසම රස නත්තල් කේක් රෙසිපි එකක් අපෙන් තෑගි.

ක්‍රිස්මස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. රේසින්ස් ග්‍රෑම් 250
  2. සුල්තානා ග්‍රෑම් 250
  3. ඉඟුරු දෝසි ග්‍රෑම් 250
  4. චෙරීස් ග්‍රෑම් 250
  5. රුලං ග්‍රෑම් 300
  6. සීනි ග්‍රෑම් 500
  7. බටර් ග්‍රෑම් 250
  8. කරන්ට්ස් ග්‍රෑම් 80
  9. චව් චව් ග්‍රෑම් 250
  10. කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 80
  11. බිත්තර 12
  12. කජු ග්‍රෑම් 250
  13. ස්ට්‍රෝබෙරි ජෑම් (පොඩි) 1
  14. බ්‍රැන්ඩි වීදුරු 1/2
  15. මී පැණි පොඩි බෝතල් 1
  16. වැනිලා එසන්ස් මේස හැඳි 2
  17. රෝස් එසන්ස් මේස හැඳි 2
  18. ආමන්ඩ් එසන්ස් මේස හැඳි 2
  19. කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු, සාදික්කා කුඩු තේ හැඳි 1 බැගින්
  20. ග්‍රේට් කරගත් දෙහි ලෙලි තේ හැඳි 2

 

 

  • වියළි චොපින්ග් බෝඩ් එකක තියල වියළි පිහියකින් පළතුරු සියල්ලම පොඩියට කපලා බ්‍රැන්ඩි කලවම් කරගන්න. වතුර හොඳින් වියළාගත් ලොකු භාජනයකට දාලා සතියක් වහලා තියන්න.
  • සතියකට පස්සෙ රුලං ටික කබලේ ටිකක් බැදලා අරන් ඒකට බටර් කලවම් කරගන්න. බිත්තර සුදුමද හා කහමද වෙන් කරගන්න. සුදුමද ටික සීනි දාලා බීට් කරගන්න.
  • දැන් කහ මද ටිකත් දාලා බීට් කරගන්න. හොඳට බීට් කරගත්තට පස්සෙ ඒකට බටර් හා රුලං මිශ්‍රණයත් දාගන්න. දැන් මේක​ට පළතුරු එක දාගෙන හොඳට කලවම් කරගන්න.
  • දැන් මේකට මී පැණි ටික දාගන්න. රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, වැනිලා හා කුළුබඩු සියල්ලම කුඩු කරලා එකතු කරන්න.
  • ජෑම් එකත් හොඳට කලවම් කරලා කජු ටික කෑලි කපලා දාලා කලවම් කරගන්න. බේකින් ශීට් දාපු ට්‍රේ එකකට මිශ්‍රණය දාලා 180°C ට පැයක් වගේ බේක් කරගන්න.