බේබි වෝකර් එකක් දරුවන්ට දෙන්න එපා කියන්නේ මේ නිසයි

සමහර දෙමවුපියන් විශ්වාස කරන්නේ බේබි වෝකර්ස් (Baby walkers) කියන්නේ තමන්ගේ දරුවන්ට විනෝදාස්වාදයක් ලබා දීමට සහ ඇවිදින්න උගන්වන්න උපකාරී වෙන උපකරණයක් කියලයි. කෙසේ වෙතත් මේක සත්‍ය‍යක් නෙමෙයි. බේබි වෝකර්ස් දරුවන්ට භයානක වෙන්න පුළුවන් කියන්නේ ඇත්ත වශයෙන්ම ඔබේ දරුවාගේ ඇවිදීමේ සංවර්ධනය ඒ හරහා ප්‍රමාද කරවන නිසායි. ඒ ගැන තොරතුරු අපි ඔබට අද කියන්නම්…

 

ළදරුවෙක් ඇවිදීමට ඉගෙන ගන්නේ කොහොමද?

බොහෝ ළදරුවන් ඇවිදීමට ඉගෙන ගන්නා අතරතුර පහත සඳහන් සන්ධිස්ථාන පසු කරනවා :

  • බිම පෙරළෙනවා
  • වාඩි වෙනවා
  • බඩගා යනවා
  • නැගී සිටිමින් තමන්ම ඇවිදින්න උත්සහ කරනවා
  • ගෘහ භාණ්ඩ හෝ වෙනත් ද්‍රව්‍ය වෙත ගමන් කරනවා

මේවායින් අදහස් කරන්නේ ළදරුවන්ට මෙම ක්‍රියාකාරකම් ඉගෙන ගැනීමට හා පුහුණු වීමට බොහෝ කාලයක් ගත වෙනවා කියන එකයි.

 

බේබි වෝකර්ස් උදව්වක් නෙමෙයි 

ඇත්තටම බේබි වෝකර්ස් වලින් ළදරුවන්ට ඔවුන්ගේ ඇවිදීම දියුණු කර ගන්න උදව්වක් ලැබෙන්නේ නෑ. ඒවායින් වෙන්නේ ඉහත සඳහන් කරපු දරුවාගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන කරා ළඟා වීමට ඔබේ දරුවාට බාධා කිරීම හෝ ප්‍රමාද කරවන එකයි. බේබි වෝකර්ස් තුළ ගත කරන කාලය වැඩි වන තරමට ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් අඩු වෙනවා.

 

බේබි වෝකර්ස් නිසා දරුවන්ගේ ඇවිදීමේ සංවර්ධනය ප්‍රමාද වෙන්නේ ඇයි?

  • ඒවා තුළ ඉද්දී ඔබේ දරුවාව පොළව මත ගත කළ යුතු කාලයෙන් ඉවතට ගෙන යනවා. එමඟින් ඔවුන්ගේ ළමා වියේ ඇවිදීමේ සන්ධිස්ථාන කරා ළඟා වීමට අවශ්‍ය වැදගත්, පුනරාවර්තන චලනයන් පුහුණු වෙන එක ඔවුන්ට මග හැරෙන්න පටන් ගන්නවා.
  • ළදරුවන් වෝකර් එකක ඇවිදිනකොට ඔවුන්ගේ ඇඟිලි භාවිතා කිරීමට නැඹුරු වෙන නිසා එමඟින් ඔවුන්ගේ කකුල් මාංශ පේශි තද වීමෙන් සාමාන්‍ය ඇවිදීමේ වර්ධනයට බාධා ඇති වෙනවා. වෝකර් එකෙන් ඉවත් වුණාට පස්සේත් ඔවුන්ට බොහෝ විට අවශ්‍ය වන්නේ ඇඟිලි තුඩු භාවිතා කරන්නයි. එය සාමාන්‍යයෙන් ළදරුවන් ඇවිදීමට ඉගෙන ගන්න ඕනේ ආකාරය නෙමෙයි.
  • ළදරුවන් වාඩි වෙලා ඉද්දී තමන් විසින්ම ඉහළට එසවෙනකොට ඔවුන්ගේ ශරීරය සමබර කර ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඒත් ළදරුවාට වෝකර් එකක් තුළදී මේ සමතුලිත කම ලැබෙන්නේ නැති නිසා ඔවුන්ගේ එම වැදගත් කුසලතාව ඉගෙනීම ප්‍රමාද වෙනවා.
  • වෝකර් එකකට හුරු වුණාට පස්සේ ඔවුන්ගේ බඩගාන හෝ බඩගෑමට පෙර කාලයේදී ඒ සඳහා අවශ්‍ය වෙන අත් සහ දණහිස් වලට වැය කරන්න වෙන කාලය අඩු වෙනවා. ශ්‍රෝණිය සහ උරහිස් දෙකෙන්ම බර උසුලන්න නම් දරුවෙක්ට ඒ කුසලතා වැදගත් වෙනවා.
  • ළදරුවන්ට ඔවුන්ගේ ඇවිදීමේ කුසලතා වර්ධනය වන විට විවිධාකාර වැදගත් චලනයන් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ඔවුන්ට බිම ඇවිදිනවාට වඩා වෝකර් එකක් තුළදී මේවා පුහුණු වීමට ඇති අවස්ථාව අඩු වෙනවා.

 

බේබි වෝකර්ස් වල අනතුරු 

බේබි වෝකර්ස් අනාරක්ෂිත‍යි කියලා සලකනු ලබන්නේ ඒවා ඉතා ඉක්මණින් ගමන් කරවන වේගයක් සහිත නිසායි. වෝකර් එකක් තුළ කෙළින් හිට ගත්තාම ඔබේ දරුවා උසයි. එතකොට ඔවුන්ට වෙනදාට නිවසේ සාමාන්‍යයෙන් ප්‍රවේශ වෙන්න බැරි දේවල් කරා ළඟා වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ වගේ හදිසි අනතුරු වෙන්න පුළුවන් :

 

  • පඩියකින් හෝ පඩි පෙළෙන් වැටීම.
  • තියුණු හෝ ඝන දෙයකට මතට වැටීම.
  • චලනය වෙනකොට පැටලී වැටීම.
  • වැඩිහිටි සහෝදරයෙක් විසින් පෙරළා දැමීම.
  • අන්තරායකර ද්‍රව්‍ය සහිත විදුලි රැහැන් හෝ කබඩ් වෙත ප්‍රවේශ වීම (උදා: පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය).
  • ගින්දර සහිත ස්ථාන, උඳුන්, හීටර් හෝ තටාක වැනි අනතුරුදායක ස්ථාන වලට ඉක්මණින් ගමන් කිරීම.
  • මේස උඩ තියන පිහි, කතුරු වැනි  අනතුරුදායක දේවල් වෙත හෝ උණුසුම් පාන වර්ග වෙත ළඟා වීමට හැකිවීම.

 

වෝකර්ස් සමඟ අනතුරු වලට භාජනය වෙද්දී බොහෝ ළදරුවන් තුවාල ලබයි. ඒ වගේම සමහරුන්ට පිලිස්සුම් තුවාල, කැපුම් තුවාල, හිසේ තුවාල, අස්ථි බිඳී යාම, වස විස හා දියේ ගිලීම නිසා ඇති වන බරපතල තුවාල වගේම මාරාන්තික අනතුරු ද ඇති වෙලා තියනවා.

 

බේබි වෝකර්ස් සඳහා ආරක්ෂිත මාර්ගෝපදේශ

බේබි වෝකර්ස් සමඟ ඇති අවදානම ඔබේ දරුවාට ලැබෙන ප්‍රතිලාභවලට වඩා වැඩි බව පෙනුනත්, දැනටමත් ඔබ වෝකර් එකක් ගෙදරට ගෙනල්ලා ඉවර නම්, ඒ සඳහා වැදගත් වන ආරක්ෂක නිර්දේශ කිහිපයක් මෙන්න :

 

  • වෝකර් එක පාරිභෝගික නිෂ්පාදන ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල ද කියලා සහතික කර ගන්න.
  • සෑම විටම ඔබේ දරුවා අසල රැඳී සිටින්න, ඔවුන්ට තත්පර කිහිපයකින් භයානක ස්ථානයක් කරා යන්න පුළුවන් බව මතක තබා ගන්න.
  • වොකර් එක භාවිතා කරන්න දෙන්න ඕනේ පැතලි මතුපිටක පමණක් බවත්, පඩියකට හෝ පඩි පෙළට පිවිසීම දරුවාට අවහිර කරන්නත් වග බලා ගන්න.
  • ළදරුවා ආරක්ෂිත ප්‍රදේශයක පමණක් ඒක භාවිතා කරන්න. මේකෙන් අදහස් කරන්නේ ඔබේ දරුවාට විදුලි රැහැන්, උණුසුම් බීම, පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය, ගින්දර, හීටර්, තටාක හෝ වැසිකිළි වැනි අනතුරුදායක ද්‍රව්‍ය වෙත යාම හෝ ළඟා වීම නැවැත්වීමයි.
  • ඔබට අවශ්‍ය වෙලාවට ඒක චලනය වීම වැළැක්වීම සඳහා ලොක් එකක් සහිත වෝකර් එකක් සහ තිරිංග සහිත වෝකර් එකක් තෝර ගන්න.
  • ඔබේ දරුවා වාඩි වීමට පෙර හෝ ඔබේ දරුවා ඇවිදින්නට කලින් වෝකර් එක භාවිතා කරන්න එපා.
  • ඔබේ දරුවාව විනාඩි 15 කට වඩා වැඩි කාලයක් වෝකර් එක තුළ තබන්න එපා.

 

දරුවාගේ ඇවිදීමේ සංවර්ධනයට ඔබ උදව් කරන්නේ කොහොමද ?

  • ඔබේ දරුවාට වැඩි කාලයක් නිවසේ පොළව මත ගත කිරීමට ඉඩ දෙන්න. ඔබේ දරුවාට පෙරලෙන්න, වාඩි වෙන්න සහ නැඟිටින්න ඉගෙන ගැනීමට ආරක්ෂිත ම අවකාශය ඒකයි.
  • ඔබේ දරුවාට නැඟිටින්න ඉගෙන ගන්න සුදුසු මෘදු ගෘහ භාණ්ඩ අසලින් ඔවුන්ව තබන්න.
  • ඔබේ දරුවා එහා මෙහා ගමන් කරනව නම්, ඔවුන්ට සෙල්ලම් කිරීමට හා චලනය වෙන්න සුදුසු ප්‍රදේශයක් තොරා ගෙන ඒ ස්ථානය ආරක්ෂිත වැටකින් වට කරන්න.