දරුවන්ට දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්ද? ඇති වුණොත් මොකද කරන්නේ?

වයස අවුරුදු 5ට අඩු දරුවන් තුළ දියවැඩියාව වැළඳෙන එක නම් දුර්ලභ‍යි. නමුත් කුඩා දරුවන්ට දියවැඩියාව වැළඳෙනවා නම් ඒක ඉතා බරපතල තත්ත්වයක්. ඒ නිසා ඔබේ දරුවාටත් දියවැඩියාව වැළඳෙන්න කලින් අද අපි ඔබට කියන්නම් දියවැඩියාවේ රෝග ලක්ෂණ හඳුනාගෙන තත්ත්වය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා.

 

දියවැඩියාව කියන්නේ මොකක්ද ?

දියවැඩියාව කියන්නේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් රෝගයක්. ඒක හට ගන්නේ රුධිරයේ ග්ලූකෝස් (සීනි) මට්ටම ඉහ​ළ ගියාමයි. රුධිරයේ ග්ලූකෝස් පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශය මගින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය මඟින්. අග්න්‍යාශය නිසියාකාරව ක්‍රියා නොකරනකොට හෝ ශරීරය ඉන්සියුලින් නිසි ලෙස භාවිතා නොකරනකොට දියවැඩියාව වර්ධනය වෙනවා.

 

වෛද්‍ය විද්‍යාව තුල විවිධ වර්ගයේ දියවැඩියා වර්ග හඳුනාගෙන තිබෙනවා. දරුවන් අතර වඩාත් සුලභ වන්නේ පළමු වර්ගයේ දියවැඩියාවයි. මේක ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඉන්සියුලින් නිපදවන අග්න්‍යාශයේ සෛල විනාශ කරනවා. පළමු වර්ගයේ දියවැඩියාව කියන්නේ ජීවිත කාලය පුරාම පවතින, ඉන්සියුලින් එන්නත් කිරීමකින් පාලනය කළ යුතු තත්ත්වයක්.

 

දෙවන වර්ගයේ දියවැඩියාව වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් තුළයි බහුලව දක්නට ලැබෙන්නේ. ශරීරය ඉන්සියුලින් නිසි ලෙස භාවිතා කිරීම නැවැත්තුවාම එය වර්ධනය වෙනවා. දෙවන වර්ගයේ දියවැඩියාව තරුණ වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන දෙයක්. නමුත් එය කුඩා දරුවන් තුළ ඉතා කලාතුරකිනුයි දකින්න ලැබෙන්නේ.

 

ළදරුවන් දියවැඩියාවත් සමඟ උපත ලබන්නේ ඉතා කලාතුරකින්. මෙය නවජ දියවැඩියාව(neonatal diabetes) ලෙස හැඳින්වෙන අතර එය ජාන සමඟ ඇති වන ගැටළුවක් නිසා ඇති වෙන තත්ත්වයක්. දරුවාගේ වයස මාස 12 ක් වන විට නවජ දියවැඩියාව අතුරුදහන් වෙන්න පුළුවන් නමුත් ඒ දියවැඩියාව සාමාන්‍යයෙන් ජීවිතයේ පසුකාලීනව ද නැවත ඇති වෙන්න පුළුවන්.

අවුරුදු 5 ට අඩු ළමුන් තුළ ඇති වෙන දියවැඩියා රෝග ලක්ෂණ:

කුඩා දරුවන් තුළ දියවැඩියාවේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සති කිහිපයකින් ඉක්මණින් වර්ධනය වන අතර ඒවාට ඇතුළත් වන්නේ:

 

  • දැඩි පිපාසයක් දැනීම.
  • දැඩිව බඩගිනි දැනීම.
  • වැඩිපුර මුත්‍රා කිරීම – වැසිකිළියට යන්න පුහුණු වුණත් ඔබේ දරුවා නැවත තෙත් කරගන්න පටන් ගනී.
  • හැම වෙලාවෙම මහන්සියි, දුර්වලයි වගේ දැනීම.
  • කිසිදු පැහැදිලි කිරීමකින් තොරව බර අඩු වීම.
  • පෙනීම බොඳ වීම හෝ ඇස් පෙනීම සම්බන්ධ වෙනත් ගැටළු.
  • ඊස්ට් ආසාද​න.
  • හුස්ම හෙලීමේදී පලතුරු සුවඳක් ඇති වීම.
  • කෝපාවිෂ්ට හෝ නොසන්සුන් මනෝභාවයෙන් සිටීම.

 

ඔබේ දරුවාට මෙම රෝග ලක්ෂණ කිහිපයක් තිබේ නම් වෛද්‍යවරයෙක් හමුවන්න. දියවැඩියාවට ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වන්නේ එය හෘද රෝග හෝ වකුගඩු, ස්නායු, ඇස් සහ සමට ආදී ඉන්ද්‍රියන්ට හානි කිරීම වැනි බරපතල ගැටළු වලට ද තුඩු දෙන්න පුළුවන් නිසයි.

දියවැඩියාව ඇතිවීමට හේතුව:

පළමු වර්ගයේ දියවැඩියාවට හේතු වෙන සාධක මොනවාද කියලා නිශ්චිතවම කියන්න බෑ. ඔබේ දරුවාට පළමු වර්ගයේ දියවැඩියාව වැළැක්වීම සඳහා ඔබට කරන්න පුළුවන් දේවල් ද ඇත්තේ නෑ.

 

නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව දරුවාගේ අධික බර හා දුර්වල ආහාර වේලවල් සමඟ සම්බන්ධයි. දෙවන වර්ගයේ දියවැඩියාව කුඩා දරුවන් තුළ ඉතා දුර්ලභ වුණත් ඔබේ දරුවාගේ බර වැඩියි හෝ තරබාරුයි නම් පසු කාලයේදී මෙම තත්ත්වය වර්ධනය වීමට වැඩි ඉඩක් තියනවා. ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නවා නම්, නිතිපතා ව්‍යායාම කරනව නම් සහ අධික බරක් නැත්නම් අනාගතයේදී ඔවුන් දියවැඩියාවෙන් ආරක්ෂා වෙන බව ඔබටම සහතික කරගන්න පුළුවන්.

 

ඔබ ගර්භණීව සිටියදී දියවැඩියාව වැළඳිලා තිබ්බා නම් (ගර්භණී දියවැඩියාව) ඔබේ දරුවාට ද පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩියි. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, ශාරීරිකව ක්‍රියාශීලී වීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් අනුගමනය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වළක්වා ගන්න පුළුවන්.

 

දියවැඩියාව හඳුනාගැනීම

දියවැඩියාව රුධිර පරීක්ෂාවකින් හඳුනාගන්න පුළුවන්. සමහර විට පරීක්ෂණය කරන්න කලින් ඔබේ දරුවාට එක රැයක් නිරාහාරව සිටින්න වෙයි. ඒ එක්කම මුත්‍රා පරීක්ෂණයක් ද කරන්න පුළුවන්.

 

දරුවාට දියවැඩියාව තිබෙනවා නම් ඔබේ දරුවාගේ රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල්, තයිරොයිඩ් හා වකුගඩු නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා ද යන්න පරීක්ෂා කිරීම සඳහා නිරන්තර රුධිර පරීක්ෂණ වලට මුහුණ දෙන්න වෙනවා.

 

කුඩා දරුවන් තුළ දියවැඩියාව පාලනය කිරීම

ඔබේ දරුවාට දියවැඩියාව තිබෙනවා නම් දිනකට කිහිප වතාවක් ඉන්සියුලින් අවශ්‍ය වෙන්න පුළුවන්. මෙය එන්නත් කිරීමෙන් හෝ ඉන්සියුලින් පෑනකින් ලබා දෙනවා. තවත් විකල්පයක් වන්නේ ඉන්සියුලින් පොම්පයයි. එය කුඩා උපාංගයක් වන අතර එය දවසේ පැය 24 පුරාම පැළඳගෙන ඉන්න ඕනේ අතර ප්ලාස්ටික් නලයක් හරහා ශරීරයට ඉන්සියුලින් ලබා දෙයි. සෑම දරුවෙකුටම පොම්පයක් සුදුසු වෙන්නේ නෑනේ. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්න. 

 

දිවා රෑ පුරා දිනක​ට 6 වතාවක් දක්වා ඔබේ දරුවාගේ රුධිර ග්ලූකෝස් මට්ටම නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වෙයි. ඔබ ඒක කරන්න ඕනේ විශේෂ පරීක්ෂණ කට්ටලයක ඔබේ දරුවාගේ රුධිර බිංදුවක් පරීක්ෂා කිරීමෙනුයි. ඒකේ අරමුණ වෙන්නේ ඔබේ වෛද්‍යවරයා විසින් නියම කරන ලද ඉලක්කගත පරාසයක් තුළ මට්ටම් තබා ගැනීමයි.

 

රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිවැරදි පරාසයක තබා ගැනීම සඳහා ඔබේ දරුවා අනුභව කරන ආහාර, දරුවා කරන ශාරීරික ක්‍රියාකාරකම් ටික ඉන්සියුලින් සමඟ හොඳින් සමබර කර ගෙන කරන්න ඕනේ.

 

දරුවගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් ඔබේ දරුවාට හයිපොග්ලයිකේමියා (Hypoglycaemia) ඇති වෙන්න පුළුවන්. නැත්නම් ග්ලූකෝස් අධික නම් ඔවුන් හයිපර්ග්ලයිකේමියා (Hyperglycamia) තත්ත්ව​ය ඇති වෙන්න පුළුවන්. එය වඩාත් බරපතල තත්වයක් වන කී​ටෝන ආම්ලිකතාවය (Ketoacidosis) දක්වා වර්ධනය වන්නටත් පුළුවන්. මෙම තත්ත්වයන් දෙකම වෛද්‍යමය වශයෙන් හදිසි අවස්ථා වන අතර ඒවා හඳුනාගෙන ඒවා කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඔබ ඉගෙන ගන්න ඕනේ.

 

ආහාර ගැනීමේ සැලැස්මක් අනුගමනය කිරීමෙන් සහ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීමට වග බලා ගැනීමෙන් ඔබේ දරුවා නිරෝගීව තබා ගන්න ඔබට විශාල හැකියාවක් ලැබෙනවා.

 

ඔබේම අවශ්‍යතා කළමනාකරණය කරන්නේ කෙසේද?

 

ඔබේ දරුවාට දියවැඩියාව ඇති බව සොයා ගැනීම මනසට දුෂ්කර අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ එක්කම ඔබේ දරුවාගේ අවශ්‍යතා දිනෙන් දින වෙනස් වෙනවා. දරුවා කන දේ මොනවාද, ඔවුන්ට අසනීපද, ඔවුන් වැඩෙමින් තිබෙනවා ද සහ ඔවුන්ට කොපමණ නින්දක් අවශ්‍ය ද යන්න මත පදනම් වෙලා ජීවන රටාව පවා වෙනස් වෙනවා. ඔබ සමහර දිනවල අනෙක් අයට වඩා හොඳින් ඒ දේවල් කළමනාකරණය කරන්න පුළුවන් වෙන අතර දවසින් දවස මේ තත්ත්වයට මුහුණ දීම තමයි සාර්ථකම ක්‍රම​ය.

 

දියවැඩියාව ඇතිවීම ඔබේ දරුවාගේ හැසිරීමට ද බලපාන බව මතක තබා ගන්න. ඔවුන්ට තමන් අනෙක් දරුවන්ට වඩා වෙනස් කියලා හැඟෙන්නට පුළුවන්. ඔබේ දරුවාට තමන්වම ආරක්ෂා කරගන්න කියලා දෙන්න. ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය සඳහා හොඳ තේරීම් කරන්න ඕනේ ආකාරය ද ඔවුන්ට උගන්වන්න. දියවැඩියාව ඇති අනෙකුත් දරුවන්​ට ඔවුන්ව හඳුන්වා දීම ද හොඳ අදහසක්.

 

ඔබ තනි වෙලා නැහැ. ඔබේ දරුවාගේ වෛද්‍යවරයා, පෝෂ​ණවේදියා, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ අක්ෂි විශේෂඥයා ඇතුළුව ඔබට සහාය වීමට වෘත්තිකයන් කණ්ඩායමක් ම රෝහල්වල සහාය​ට ඉන්නවා. අවශ්‍ය වේලාවට ඔවුන් ඔබට සහාය වේවි.

ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන සෑම කෙනෙකුටම දරුවාට දියවැඩියාව ඇති බවත් එය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා දැන්වීමටත් වග බලා ගන්න.