කිරිදෙන සමයේ ආහාරපාන සහ ඖෂධ ගැනීම ගැනයි මේ දැනුවත් කිරී​ම

මව්කිරි දෙන මව්වරුන් බොහෝ විට කනස්සල්ලට පත්වන්නේ තමන් පරිභෝජනය කරන දේ තම දරුවාට බලපානවා කියලා හිතන නිසයි. ඔයාට විශේෂ ආහාර වේලක් ගැනීමට අවශ්‍ය නැහැ. නමුත් ඔයා ආහාරයට ගන්නා හෝ පානය කරන සමහර දේවලින් කුඩා ප්‍රමාණයක් මව්කිරි තුළට ඇතුළු වන බව මතක තබා ගන්න. අද baby and me අපි ඔයාට කිරිදෙන සමයේ ආහාරපාන සහ ඖෂධ ගැනීම ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

 

ඔයා ආහාරයට ගන්නා දේ මව්කිරි වලට ඇතුල් වෙන්න පුළුවන්ද?

ඔයාගේ රුධිරයේ ඇති ඕනෑම රසායනික ද්‍රව්‍යයක් පාහේ මව්කිරි වලට ඇතුළු වෙන්න පුළුවන්. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඉතා සුළු ප්‍රමාණයකින් වන නමුත් එය ඔයාගේ දරුවා​ට බඩේ අමාරුවක්, අපහසුතාවයක් හෝ අසාමාන්‍ය ලෙස නිදිමතක් ඇති කරවන්න පුළුවන්. දරුවාට ඇති වන බලපෑම ඔවුන්ගේ වයස සහ සෞඛ්‍යය, මවුකිරිත් සම​ග ඇතුළත් වූ ද්‍රව්‍ය වර්ගය ස​හ ශරීරගත වූ ප්‍රමාණ​ය මත රඳා පවතී. මව්කිරි දෙන අතරතුර යමක් පරිභෝජනය කිරීම ගැන ඔබට විශ්වාස නැත්නම්, ඒ ගැන වෛද්‍යවරයාගෙන් විමසන්න.

 

ආහාර ගැනීම සහ මව්කිරි දීම

ඔයා කුමන ආහාරය අනුභව කළත් ඔයාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න මව්කිරි ලබා දෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කිරීම සහ ප්‍රමාණවත් ද්‍රවයන් පානය කිරීම මගින් ඔයාට අවශ්‍ය තරම් කිරි නිපදවීමට පුළුවන්. 

 

මව්කිරි දීමෙන් කැලරි විශාල ප්‍රමාණයක් භාවිතා වන බැවින් ඔබට සාමාන්‍යයට වඩා ටිකක් වැඩියෙන් ආහාර ගැනීමට අවශ්‍ය වෙනවා. ඔයාගේ ආහාර වේලට ප්‍රෝටීන්, කැල්සියම් සහ යකඩ බහුල ලෙස ඇතුළත් කිරීමට වග බලා ගන්න. ඔයාට අයඩින් අතිරේකයක් ද අවශ්‍ය වෙන්න පුළුවන්.

 

කුළුබඩු, සුදුළූණු, බෝංචි හෝ ගෝවා වැනි සමහර ආහාර ගැනීම නිසා තම දරුවාට ගෑස් ගති​ය ​හෝ වේදනාවක් ඇති කරවාවි යයි සමහර මවුවරු කනස්සල්ලක් ඇති කර ගන්නවා. ඔයා යම් ආහාරයක් ලබාගත් පසු කිරි දෙ​න අවස්ථාවලදී දරුවා විශේෂයෙන් අපහසුතාවය​ට පත්වන බවක් පෙනේ නම් එම ආහාරය ගැනීමෙන් වළකින්​න. 

 

මත්පැන් සමග මව්කිරි දීම

ඔයා මත්පැන් පානය කිරීමට පටන් ගත් පසු මිනිත්තු 30 සිට පැයක් ඇතුළත මත්පැන් මව්කිරි වලට ඇතුල් වෙනවා. මේවා ශරීරයෙන් ඉවත් වීමට පැය 2ක් පමණ ගත වෙනවා. එනිසා ඔයා මව්කිරි දෙන අතරතුර මත්පැන් සීමා කිරීම වඩාත් සුදුසුයි. ඉඳහිට හෝ ඇල්කොහොල් පානය කරනවා නම්, පානය කිරීමට පෙර ඔයාගේ දරුවා පෝෂණය කරන්න. මත්පැන් ගැනීමෙන් පසු පැය 2ක් වත් කාලය ගෙන පසුව දරුවාට කිරි දෙන්න. දුම්පානයෙන් අනිවාර්යෙන් වැළකී සිටින්න උත්සාහ කරන්න.

 

ඖෂධ සමග මව්කිරි දීම

බොහෝ ඖෂධ මව්කිරි දෙන විට ගැනීම ආරක්ෂිතයි. ඒවා ඔබේ මව්කිරි තුළට ගියත්, එය සාමාන්‍යයෙන් ඔබේ දරුවාට හානියක් නොවන ඉතා සුළු ප්‍රමාණයකි. කොහොම වුණත්, ඔයාගේ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියෙකුගෙන් උපදෙස් ලබා ගන්න. 

 

කැෆේන් සමග මව්කිරි දීම

කැෆේන් මව්කිරි තුළට ගොස් දරුවා නොසන්සුන් කළ හැක. කෝපි, තේ, කෝලා බීම සහ ශක්තිජනක බීම වැනි කැෆේන් අඩංගු ආහාර සහ බීම සීමා කිරීමට උත්සාහ කරන්න. අලුත උපන් බිළිඳුන් විශේෂයෙන් කැෆේන් වලට සංවේදී වෙනවා.