ඉලෙක්ට්‍රොනික තිර වලට ඔබේ දරුවන් හුරු වෙලා නම් ඔබ මෙය කියවිය යුතුමයි

ඔබේ දරුවන් රූපවාහිනී තිරය වගේම ඕනෑම ඉලෙක්ට්‍රොනික තිරයක් ඉදිරියේ වැඩි වෙලාවක් ගත කරන විට ඔවුන්ගේ වැඩීමත් සමඟ විට ඒ සඳහා ගත කරන කාලය නිරායාසයෙන්ම වැඩි වන බව නව අධ්‍යයන වලින් අනාවරණය වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම රූපවාහිනීය, පරිගණකය, ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් හෝ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා නැරඹීමට දරුවෙකුගේ දවසේ වේලාවෙන් දිනකට පැයක් පමණ ගත වන අතර වයස අවුරුදු 3 වන විට එය මිනිත්තු 150 කට වඩා වැඩි වන බව ඇමරිකානු පර්‍යේෂණ කණ්ඩායම් මඟින් සොයාගෙන තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ එය නිර්දේශිත ප්‍රමාණයට වඩා ඉතා වැඩි බවයි.

 

කාර්‍යබහුල දින වලදී දරුවන්ට රැකවරණය දීම සෑම විටම කළ නොහැකි වුවත්, එහි බලපෑම පිළිබඳව දැනුවත් වෙමින් දරුවන් එම තිරයන්ට නිරාවරණය වීම සීමා කිරීම සඳහා නව ක්‍රම අත්හදා බැලීමට දෙමාපියන් විදිහට ඔබට කළ හැකි දේවල් තිබෙනවා. එක්කෝ දරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් හෝ තිරයන් වල දරුවන් රැඳෙන වේලාව නිරීක්ෂණය කිරීම සඳහා තාක්ෂණයන් භාවිතා කිරීමෙන් ඔබට එය කළ හැකියි. වයස අවුරුදු 1 සිට 8 දක්වා තම දරුවාගේ මාධ්‍ය පුරුදු පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ළමුන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක මව්වරුන් පිළිබඳ දත්ත මෙම අධ්‍යයන සඳහා භාවිතා කර ඇත.

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය උපදෙස් දෙන්නේ මාස 18 ට අඩු ළමයින් කිසිසේත් තිරවලට නිරාවරණය නොවිය යුතු බවයි. මාස 18 සිට 24 දක්වා වයසේදී තිරයන් ඉදිරියේ සිටිය යුතු වේලාව ක්‍රමයෙන් හඳුන්වා දිය යුතු අතර වයස අවුරුදු 2 සිට 5 දක්වා ළමුන් සඳහා දිනකට පැයක් ලෙස එම වේලාව සීමා කළ යුතුයි. කෙසේවෙතත් ළමුන්ගෙන් 87% ක් වැඩි කාලයක් තිරවලට ඇලී සිටින බව අධ්‍යයන වලින් සොයා ගෙන තිබෙනවා. එහිදී ළමයින් වයස අවුරුදු 7 සහ 8 වන විට, තිර කාලය දිනකට මිනිත්තු 90 ක් දක්වා අඩු වී තිබෙනවා. මෙම අඩුවීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ පාසල් ක්‍රියාකාරකම් නිසා යැයි අනුමාන කරන්න පුළුවන්.

 

වැඩි තිර කාලයක් වාර්තා කරන දරුවන්ගේ හේතු සොයා බැලීමේදී ඔවුන්ගේ දෙමාපියන් පහළ මට්ටම් අධ්‍යාපනයක් ලැබූවන් බව අනාවරණය වී ඇත. ගැහැණු ළමයි පිරිමි ළමයින්ට වඩා තිරයන් භාවිතා කර ඇති කාලය ටිකක් අඩු වී තිබෙනවා. නමුත් පළමු වරට මවුවරුන් වූ අයගේ දරුවන් තිර ඉදිරියේ වැඩි වේලාවක් සිටින බව සොයාගැනීම්වලින් පෙනී ගොස් තිබෙනවා. 

 

දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට වඩා නිවසේ සිටින ළමයින් තිරයන්ට යොමු වන කාලය දෙගුණයකටත් වඩා වැඩි බව අධ්‍යයන කතුවරුන් සඳහන් කර තිබෙනවා.

 

තිරවල ඇති ද්විමාන රූප ඉතා සීමිතයි. එසේම තිරයන් වල වැඩිපුර ඇලී ඉද්දී දරුවන්ගේ පරිකල්පන හැකියා දුර්වල වෙනවා. එබැවින් ඔවුන්ගේ ඉවසීම වර්ධනය නොවන අතර අපේක්ෂාවන් අඩු වෙනවා.

 

නමුත් මුළු ලෝකයම වඩාත් ඩිජිටල් පරිසරයකට මාරුවී ඇති නිසා අපේ දරුවන්ට එය වඩාත් අර්ථවත් දෙයක් බවට පත් කරන්නේ කෙසේද කියා දෙමාපිය ඔබ සිතන්න අවශ්‍යයි. ඒ සඳහා දරුවන්ගේ ජීවිත සමඟ මාධ්‍ය ඒකාබද්ධ කිරීමට දෙමාපියන්ට උපකාර වන මාර්ගෝපදේශ ඔබ අනුගමනය කිරීම අවශ්‍යයි. එය හොඳම වැඩසටහන් මොනවාදැයි දැන ගැනීමට දෙමාපියන්ට උපකාර කිරීම පමණක් නොව, වැඩසටහනක් නැරඹීමෙන් හෝ ක්‍රීඩාවක් කිරීමෙන් පසු තම දරුවා සමඟ කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද යන්න ද දැන ගැනීමට උපකාර කරයි.

තවත් අධ්‍යයනයක දී කැනේඩියානු පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අවුරුදු 2 ක් වයසැති ළමුන්ගෙන් 79% ක් සහ අවුරුදු 3 ක් වයසැති දරුවන්ගෙන් 95% ක් පමණ නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි කාලයක් තිරයන් ඉදිරියේ කාලය වැය කරන බවයි.

 

මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් අවුරුදු 2 ක් වයසැති ළමුන් 1,600 කට ආසන්න ප්‍රමාණයක් සහ අවුරුදු 3 ක් වයසැති ළමුන් 2,000 ක් පිළිබඳ දත්ත රැස් කර තිබෙනවා. පෙර පාසල් දරුවන්ගේ අධික තිර කාලය ඔවුන්ගේ සංවර්ධනය සඳහා ගැටළු සහගත විය හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

 

 එම නිසා අද කාලයේ දෙමව්පියන් මාර්ගෝපදේශ පිළිබඳව දැනුවත් විය යුතු අතර දරුවන්ගේ තිරයේ කාලය සීමා කිරීමට ක්‍රම සොයා ගත යුතුයි. තවත් විශේෂඥයන් පවසා ඇත්තේ නිවසේ පරිසරය ද මේ සඳහා යම් කාර්යභාරයක් ඉටු කරන බවයි.

 

නැරඹීමේ සන්දර්භය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දරුවන් මාධ්‍ය තුළ රැඳෙන කාලය වැඩියෙන් රඳා පවතින්නේ හා බලපාන්නේ ඔවුන් වටා සහෝදර සහෝදරියන් සිටීම හෝ ඔවුන්ගේ දෙමව්පියන්ගේම මාධ්‍ය භාවිතයෙන් බවද වෛද්‍යවරු පවසනවා.