Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය පෝෂණ​ය

කුඩා දරුවන්ට ඇතිවන උදරාබාධ සඳහා BRAT Diet ලබාදීම තවදුරටත් ප්‍රතිඵලදායකද?

පාචනය, වමනය හෝ ඔක්කාරය වැනි අසනීප තත්ත්වයන් ඇති අවස්ථාවන්වලදි විශේෂයෙන් වෛද්‍යවරුන් BRAT ආහාර වේලක් හෙවත් සීමාසහිත ආහාර වේලක් ලබාගැනීමට නිර්දේශ කරනවා. විශේෂයෙන් කුඩා දරුවන් තුළ ඇතිවන තුල ඇතිවන වමනය, පාචනය ආදි රෝග ලක්ෂණ සඳහා බොහෝවිට මෙම BRAT ආහාරවේල් ලබාදෙනවා. නමුත් වර්තමානය වන විට වෛද්‍යවරුන් BRAT ආහාරවේල් නිර්දේශ කිරීමෙන් වැළකී සිටින අතර එවැනි සීමාසහිත ආහාර වේලක් ලබාගැනීම නිසා දරුවන් තුළ පෝෂණ ඌණතා සහ මන්දපෝෂණ තත්ත්ව ඇතිවිය හැකිබව පවසනවා.

BRAT ඩයට් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

BRAT යනු Bananas, Rice, Applesauce, Toast යන්න කෙටියෙන් හඳුණ්වන ආකාරයයි. විශේෂයෙන්ම දරුවන්ට ඇතිවන උදරාබාධයන් සඳහා මෙම ආහාර වේල නිර්දේශ කර තිබෙනවා. උදරබාධයට පිළියමක් ලෙස මහා බඩවැලට විවේකයක් ලබාදී නිපදවන මලපහ ප්‍රමාණය අඩුකිරීම එමගින් අරමුණු වී තිබෙනවා. නමුත් ඇතැම් පර්‍යේෂකයන්ට අනුව මෙවැනි ආහාර වේලක් දිගටම ලබාදීමෙන් දරුවාගේ වර්ධනයට අවශ්‍ය දෛනික පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම සිදුවෙනවා. උද‍රාබාධයෙන් පසු ආමාශය යළි යථා තත්ත්වයට පත්වන තෙක් BRAT ආහාර මෙන්ම එවැනි වෙනත් ආමාශයට අහිතකර නොවන කැකර් වර්ග, ඕට්ස්, සාමාන්‍ය නූඩ්ලස්, තැම්බූ කැරට් හෝ අර්ථාපල් වැනි ආහාර වර්ගද ආමාශය නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාරි වෙනවා.

මෙම BRAT ආහාර වේල් දරුවාගේ අසනීප තත්ත්වය ඇති අවස්ථාවක කෙටි කාලසීමාවක් සඳහා සුදුසු වෙනවා. දරුවා ක්‍රමයෙන් සුවය ලබනවිට සමබර ආහාර වේලක් ලබාදීමට උත්සාහ කළයුතුවෙනවා. එමෙන්ම අහාර වේල් සඳහා මාරුවීමේදි වෛද්‍ය නිර්දේශය අනුව කටයුතු කිරීම‍ත් වැදගත් වෙනවා.

BRAT ආහාරවේලක් අනුගමනය කළයුත්තේ කෙසේද?

දරුවාට උදරාබාධයක් ඇතිවූ විට වමනය, පාචනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි වෙනවා. විශේෂයෙන් වමනය ඇතිවිට දරුවාගේ සිරැරේ තරල ප්‍රමාණය පිටව ගොස් දරුවාගේ සිරැර විජලනය වීම සිදුවෙනවා. නමුත් දරුවාට යමක් ආහාරයට දීමට පෙර වමනය තත්ත්වය අඩුවෙන තෙක් සිටිය යුතුයි; ඉන්පසුව එක්වරම ආහාර නොදී පළමුවෙන් දියර වර්ග ස්වල්පයක් ලබාදීම සිදුකල යුතුයි. ජලය වඩාත් සුදූසු වන අතර එසේ නොමැති නම් අඩු සීනි සහිත electrolyte පාන වර්ගයක් හෝ ලබාදීමට හැකියාව තිබෙනවා..

දියර වර්ග ටික ටික ලබාදී පැය කිහිපයකට පසුව දරුවාට BRAT ආහාර වර්ග හෝ ඒ හා සමාන ඝන ආහාර වර්ගයක් ලබාදීම කල හැකිය. පාන් ටෝස්ට් ආරම්භයට වඩාත් සුදුසු අතර ඉන්පසු නූඩ්ලස් වැනි ආහාර ලබාදෙන්න පුළුවන්. දරුවාට වැඩි වශයෙන් දියර වර්ග ලබාදීමටත් අමතක නොකල යුතුයි.

විශේෂයෙන් දරුවාට උදරාබාධය ඇති කාල සීමාව තුල අධික සීනි සහ මේදය සහිත ආහාර වර්ග, කැෆේන් අඩංගු පාන වර්ග, පැඟිරි කුලයට අයත් පළතුරු, තෙල් අධික මස් වර්ග සහ කිරි ආශ්‍රිත නිශ්පාදන ලබාදීමෙන් වැළකී සිටිය යුතුවෙනවා. ඉන්පසුව දරුවා සුව අතර හැරුණු පසු ක්‍රමයෙන් දිනකට එක් ආහාර වර්ගයක් බැගින් ආහාර වේල් සඳහා එක්කරන්න පුලුවන්. නමුත් වඩාත් වැදගත් වන්නේ පාචන තත්ත්වය හෝ වමනය ඇතිවු අවසාන වාරයට පසු දින දෙකක් ඇතුළත දරුවා සාමාන්‍ය ආහාර වේලක් ලබාගැනීම වැදගත් වෙනවා.

ඒ වගේම නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන දරුවාට ආහාර ලබාදුන් විට ඇතිවන වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. නැවතත් දරුවා තුළ රෝග ලක්ෂණ දැකිය හැකිනම් ආපසු සරළ ආහාර වේල වෙත යා යුතුයි. නමුත් දිගින් දිගටම රෝග ලක්ෂණ පවතී නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනිමට මතක තබාගන්න.

«

»