ගර්භණී ඔබ ගෘහස්ථ හිංසනයට ලක්වෙනවාද?

ගෘහස්ථ හිංසනය කියන්නේ වඩාත් සුලභ පහරදීමක්. කාන්තාවන් තම නිවසේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ අවදානම වැඩියි. ඔබේ සහකරුගේ ශාරීරික හිංසනය සහ ලිංගික හිංසනය නීතියට පටහැනි බව ඔබ දන්නවද? මානසික හිංසනය ශාරීරික හිංසනය තරම්ම හානිකර වෙන්න පුළුවන්.

ගෘහස්ථ හිංසනය මුලින්ම ගර්භණී සමයේදී ආරම්භ විය හැක. ගර්භණී කාන්තාවන්ගෙන් තුනෙන් එකක් පමණ ගෘහස්ථ හිංසනයට ගොදුරු වන බවට සොයා ගෙන තියෙනවා.

ඔබේ නූපන් දරුවාගේ සහ වෙනත් ඕනෑම දරුවෙකුගේ ආරක්ෂාව ඉතා වැදගත්.

ඔබ අපයෝජනයට ලක්වන්නේ නම්, යම් උපකාරයක් ලබා ගැනීම ඇත්තෙන්ම වැදගත්.

ප්‍රචණ්ඩත්වය කියන්නේ කායික, ලිංගික හෝ චිත්තවේගීය හානියක් හෝ පුද්ගලයෙකු බියෙන් ජීවත් වීමට හේතු වන ඕනෑම හැසිරීමක්.

කායික හිංසනය කියන්නේ යමෙකු ඔබට, ඔබේ දරුවන්ට හෝ සුරතල් සතුන්ට රිදවීමට උත්සාහ කරන එකටයි. ඔවුන් ඔබට පහර දීමට, පයින් ගැසීමට, තල්ලු කිරීමට, හුස්ම ගැනීමට අපහසු කිරීම, පිලිස්සීම වැනි දේ කිරීමට ඉඩ තියෙනවා.

මානසික හිංසනය කියන්නේ ඔබව බිය ගැන්වීම හෝ ඔබේ ආත්ම අභිමානය සහ විශ්වාසය නැති කිරීම අරමුණු කරගත් ඕනෑම හැසිරීමක්.

වාචික හිංසනය කියන්නේ ඔබව බොහෝ විට වෙනත් නම් ලෙස හැඳින්වීම, අපහාස කිරීම හා බැන වැදීමයි.

ලිංගික හිංසනයට ඇතුළත් වන්නේ ඔබේ අකැමැත්ත මත සහ ඔබට බල කිරීමෙන් සිදු කරන ඕනෑම ලිංගික හැසිරීමක්.

මූල්‍ය හිංසනය කියන්නේ ඔබට ලබා දෙන ඇති මුදල් ප්‍රමාණවත් නොවීම, වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඔබට දොස් පැවරීම හෝ ඔබගෙන් නිතරම මුදල් ඉල්ලා සිටීම හෝ ඔබට කිසිසේත් මුදල් නොලැබීමයි.

සමාජ අපයෝජනය හෝ ප්‍රචණ්ඩත්වය යනු ඔබේ සහකරු ඔබව හුදකලා කරන විට හෝ ඔබේ මිතුරන් හා පවුලේ අයට ප්‍රවේශ වීමට බාධක ඇති කිරීමයි.

සමහර අය තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමේ මාර්ගයක් විදිහට ප්‍රචණ්ඩත්වය භාවිතා කරනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඕනෑම පවුල් සහ සමාජීය තරාතිරමක කෙනෙක් ලක්වෙන්න පුළුවන් අවස්ථාවක්. මෙය බොහෝවිට සිදුවන්නේ චක්‍රාකාරවයි. ප්‍රචණ්ඩත්වය, සමාව ගැනීම සහ නැවත එසේ නොකිරීමට පොරොන්දු වීම, හැමදෙයක්ම සාමාන්‍ය බවට පත්වීම, නැවත ප්‍රචණ්ඩත්වය ආරම්භ වීම.

 

ඔබට උදව් ලබාගන්නේ කොහොමද?

ගර්භණී වූවත් නැතත් ගෘහස්ථ හිංසනය කිසිසේත්ම කාන්තාවක් නැවත නැවත මුහුණ දිය යුතු තත්ත්වයක් නෙවෙයි. 2005 අංක 34 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ ඔබට ගෘහස්ථ හිංසනයට එරෙහිව නඩු පවරන්න පුළුවන්. 

 

ඔබ ගෘහස්ථ හිංසනයට ලක් වෙනවා නම්, 

ඔබේ ප්‍රදේශයේ පොලිසිය අමතන්න

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන්ට සහන සපයන 1938 නම් ක්ෂණික දුරකතන අංකය අමතන්න 

පැය 24ම ක්‍රියාත්මක කාන්තා පිහිට ක්ෂණික ඇමතුම් සේවය මගින් Women In Need රාජ්‍ය නොවන සංවිධානය  0114-718 585 අමතන්න හැකියාව තියෙනවා.