දරුවන්ගේ ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධව ‘තියුණු වර්ධනයක්’ ගැන දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

එක්සත් රාජධානියේ ළමා හා ළමා සෞඛ්‍ය පිළිබඳ රාජකීය විද්‍යාලය එරට දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ගේ, නව යෞවන දරුවන්ගේ හා තරුණ තරුණියන්ගේ ආහාර ගැනීමේ අක්‍රමිකතා, ගැටළු පිළිබඳව පෙරට වඩා හොඳින් සොයා බලන ලෙස.

මෙම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන්නේ කොවිඩ් වසංගතය බව ද විශේෂඥයෝ පවසනවා.

 

ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් කියන්නේ කුමක්ද?

ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් කියන්නේ මානසික රෝගී තත්ත්වයක්. දරුවෙක් තමන්ගේ ආහාර සමඟ සෞඛ්‍යයට අහිතකර සම්බන්ධතාවයක් ඇති කර ගනිමින් එහි ප්‍රතිඵලයක් ලෙස ආන්තික හැසිරීම් අනුගමනය කරනකොට එය සිදු වෙන්න පුළුවන්. කිසිම ශාරීරික රෝග ලක්ෂණයක් නොමැති නම්, කෙනෙක් දෙස බැලීමෙන් ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් ඇති බව ඔබට පවසන්න බෑ. ආහාර ගැනීමේ අක්‍රමිකතා සිදුවන්නේ කෙනෙක් ප්‍රමාණවත් තරම් ආහාර අනුභව නොකරන විට සහ අධික ලෙස බර අඩු වූ විටයි. ඒ වගේම, ඕනෑවට වඩා ආහාර අනුභව කිරීම සහ සෞඛ්‍යයට අහිතකර විශාල බරක් දැරීම ද ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක්.

 

මේ කාලයේ මේ තත්ත්වයට හේතුව මොකක්ද?

පාසැල් වසා දැමීම නිසා මිතුරන්ගෙන් හුදෙකලා වීම, විභාග අවලංගු කිරීම, ක්‍රීඩා වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් නැතිවීම සහ සමාජ මාධ්‍ය භාවිතය වැඩි වීම ඇතුළු බොහෝ සාධක දරුවන්ගේ ආහාර රටාවන් වල ඇති වෙන මෙම අක්‍රමිකතා වලට සම්බන්ධ බව පැවසෙනවා.

වෛරසය පිළිබඳ භීතිය, පවුල් වල මූල්‍ය තත්ත්වය අඩු වීම සහ නිරෝධායනය වීමට සිසුන්ට ද සිදු වීම ද ඊට හේතු වෙන්න පුළුවන් බව ද උපකල්පනය කෙරෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ සමහර අවස්ථාවලදී මුහුණට මුහුණ හමුවීම සඳහා අවස්ථාවන් අඩු වීම තරුණ තරුණියන්ගේ දරුණු ලෙස රෝගාතුර වීම් වලට හේතු වෙන්න පුළුවන් බවයි.

 

දරුවන්ගේ වෙනස්වීම් ගැන අවධානයෙන් ඉන්න

දෙමව්පියන් හෝ ගුරුවරුන් විසින් දරුවන් තුළ වෙනස් දෙයක් දැක්කොත් සහ ඔවුන් තුළ ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් ඇති වෙලා ද කියලා සැකයකින් ඉන්නවා නම්, ඔවුන්ගේ ගැටළු පිළිබඳව මුලින්ම පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. නැත්නම් පෝෂණවේදියෙක්ගෙන් උපදෙස් ලබා ගන්න.

 

මුලදීම හඳුනාගැනීමෙන් ප්‍රතිකාර කිරීම සාර්ථකයි

වෛද්‍යවරුන් පවසන්නේ දරුවන් තුළ ඇති වෙන මෙම ආහාර ගැනීමේ අක්‍රමිකතා කලින් හඳුනා ගන්න පුළුවන් බවත්, ඒ සඳහා සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමට ද හොඳ අවස්ථාවක් තියන බවයි.

“ආහාර ගැනීමේ අක්‍රමිකතා ආරම්භ වන්නේ දරුවන් කලින් භුක්ති විඳපු ආහාර අනුභව කිරීම ප්‍රතික්ෂේප කිරීම වගේ බොහෝ කුඩා වෙනස්කම් පෙන්වීම එක්කයි.” කියල ඔවුන් පවසනවා. 

ඔබේ දරුවා හෝ නව යෞවන දරුවා ආහාර හා ව්‍යායාම වලට එළඹෙන ආකාරයේ වෙනසක් ඔබ දකිනවා නම් සාමාන්‍ය දේ සහ සාමාන්‍ය නොවන දේ ගැන ඔවුන් සමඟ කතා කරන්න. බොහෝ විට ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති දරුවන් ඒ බව ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා. නමුත් ඒ බව තේරුම් ගැනීමට ඔබට සහජ බුද්ධියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ වෛද්‍යවරයා අමතලා උපදෙස් ලබා ගන්න.

 

ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් ඇතිවීමේ අවදානමක් ඇති දරුවන්ට හා තරුණ තරුණියන් වෙන කවරදාටත් වඩා මේ තත්ත්වය ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. ඔබේ දරුවා තුළින් මුල් සංඥා හඳුනාගත්ත වහාම ඉක්මණින් ඒ සඳහා පියවර ගන්න.