ගර්භණී සමයේදී අඹ ආහාරයට ගැනීම ආරක්ෂිතද?

ඔබ ගැබ්ගෙන ඇති බව දැනගත් විට, ඔබේ ජීවන රටාවේ යම් යම් වෙනස්කම් කළ යුතු බව ඔබට වැටහෙනවා. ඔබට පෙර මෙන් ඕනම දෙයක් හෝ සියල්ල කන්න බැහැ. ගර්භණී සමයේදී ඔබේ ශරීරය බොහෝ වෙනස්කම් වලට භාජනය වෙනවා. තීරණාත්මක මාස නවය තුළ, ගර්භණී සමයේදී ඔබ කෑමට ගත යුතු ආහාර වර්ග පිළිබඳව මිතුරන්ගෙන් සහ නෑදෑයින්ගෙන් උපදෙස් රාශියක් ඔබට ලැබෙන නිසා ඔබව ව්‍යාකූලත්වයට පත්වෙන්න පුළුවන්. Baby and Me අපි ඔබට ආහාරයට ගත හැකි සහ නොහැකි දේවල් ගැන විටින් විට ලිපි කීපයක්ම ගෙන ආවා. අද මේ හදන්නෙ ගර්භණී සමයේදී ඔබට අඹ ආහාරයට ගත හැකිද නැද්ද යන්න දැන ගැනීමටයි.

 

ගර්භණී සමයේදී අඹ ආහාරයට ගැනීම ආරක්ෂිතද?

ගර්භණී සමයේදී ඉදුණු අඹ ආහාරයට ගැනීමේ වාසි තියෙනවා.  විටමින් A, B6 සහ C වලින් පොහොසත් බැවින් අඹ ගර්භණී සමයේදී කාන්තාවකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා. අඹ ෆෝලික් අම්ලය, පොටෑසියම් සහ යකඩ වලින්ද පොහොසත්. 

කොහොම වුණත් ඔබ ආහාරයට ගන්න ඕන ස්වභාවිකව ඉදුණු අඹයි. කෘතිමව රසායනික මඟින් ඉදවන ලද අඹ ඔබට සුදුසු නැහැ. ඒ වගේම අඹ ඔබේ ආහාර වේලට එකතු කරගන්න කලින් ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්නත් අමතක කරන්න එපා. ඇතැම් සංකූලතා සඳහා යම් යම් ආහාර වර්ග නුසුදුසු වෙන්න පුළුවන්. ඔබේ ගර්භණී තත්ත්වය හරියටම දන්නෙ ඔබේ වෛද්‍යවරයා නිසා ඔහුගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි.

අඹ කැලරි වලින් ඉහළ අගයක් ගත්තත් ඉතාම හොඳ ශක්ති ප්‍රභවයක්. ගර්භණී සමයේ ඔබට ශක්තිය අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් තුන්වන කාර්තුවේදි. ඔබේ වෛද්‍යවරයා ඔබට කැලරි වැඩියෙන් ලබාගන්න කියා කියනවා නම් අඹ ඒ සඳහා හොඳ ආහාරයක්. හැබැයි දවසකට එක අඹ ගෙඩියකට වඩා ආහාරයට ගන්න එපා. 

 

රක්තහීනතාවය වැළැක්වීම

 

ගර්භණී අවධියේදී බහුලව දක්නට ලැබෙන රක්තහීනතාවය වැළැක්වීම සඳහා ගර්භණී කාන්තාවන්ට යකඩ අවශ්‍ය වෙනවා. අඹ ආහාරයට ගැනීමෙන් ඔබේ යකඩ අවශ්‍යතාවය සපුරාගන්න පුළුවන්. ඔබ දිනපතා අඹ ගෙඩියක් ආහාරයට එක් කරගන්නවා නම්, එයට ඔබේ රතු රුධිර සෛල ගණන වැඩි කළ හැකි අතර එය රක්තහීනතාවයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

 

ෆෝලික් අම්ලය බහුලයි

අඹ වල ෆෝලික් අම්ලය බහුල ලෙස අඩංගු වන අතර එය ගර්භණී සමයේදී භ්‍රෑණ වර්ධනයට උපකාරී වෙනවා. අඹ වල ෆෝලික් අම්ලය බහුල බැවින් ගර්භණී සමයේ පළමු ත්‍රෛමාසිකය තුළ අඹ පරිභෝජනය කිරීමෙන් කළලරූපයේ ස්නායු පද්ධතිය වර්ධනයට උපකාරී වෙනවා. 

 

මළබද්ධය වළකනවා

අඹ කියන්නේ ආහාරමය තන්තු වල හොඳ ප්‍රභවයක් වන අතර එය ආහාර ජීර්ණ පද්ධතිය යහපත් සෞඛ්‍යයකින් තබා ගැනීමට උපකාරී වෙනවා. ගර්භණී සමයේදී මළබද්ධය පිළිබඳ ගැටළුව මඟහරවා ගැනීම සඳහා ඔබට අඹ ආහාරයට ගන්න පුළුවන්. කොහොම වුණත් ආහාරයට ගන්නා ප්‍රමාණය ගැන විමසිල්ලෙන් සිටින්න, මන්ද අධික ලෙස ආහාරයට ගැනීමෙන් ගෑස් හා අපහසුතා ඇති කළ හැක.

 

විටමින් සී බහුලයි

අඹ වල විටමින් සී බහුල බැවින් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර මිනිස් සිරුරේ  free radicals වර්ධනය වීම වළක්වයි. අඹ වල ඇති විටමින් සී නොමේරූ දරු උපත් අවදානමද අඩු කරයි.

 

විටමින් බී 6 බහුලයි

අඹ වල විටමින් බී 6 බහුල වන අතර ෆෝලික් අම්ලය වගේම ස්නායු පද්ධතියේ වර්ධනයට වඩාත් සුදුසුයි.

විටමින් A අඩංගු වන අතර එය ළදරුවෙකුගේ අස්ථි හා දත් වර්ධනයට ප්‍රයෝජනවත් වෙනවා. ඇස් සහ ස්නායු පද්ධතිය ද පෝෂණය කරයි.

අඹ කියන්නේ මැග්නීසියම් බහුල ප්‍රභවයක්. ගර්භණී සමයේදී ඇති වන අධි රුධිර පීඩනයට ස්වභාවික පිළියමක් වන අතර ප්‍රීක්ලාම්ප්සියාව වැනි තත්ත්වයන් වළක්වාගන්න උපකාරී වෙනවා.