දරු ගැබ අහිමි වීම දරාගන්නේ කොහොමද?

ගර්භණී කාලයේ ඕනෑම අවධියක දරුවෙකු අහිමි වීම කියන්නේ අම්මා කෙනෙක්ගේ සතුට විනාශ කරන අඳුරු අත්දැකීමක්. ඒත් දරු ගැබ නැතිවීමේ අවස්ථාවන් ඔබ සිතනවාට වඩා ගොඩක් පොදුයි. කොටින්ම එය ඔබේ වරදක් නොවේ. අද අපි ඔබ වෙත අරන් එන මෙම ලිපියේ අරමුණ ඒ වගේ අනපේක්ෂිත අවස්ථාවක් උදා වුණොත් ඒ සමඟම ඔබට දැනෙන බොහෝ හැඟීම් සමඟ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබට උපකාර කිරීමයි.

ගබ්සාවක්, මළ දරු ප්‍රසූතියක්, blighted ovum, molar හෝ ectopic තත්ත්වයන් අත්විඳීමට සිදු වීම දෙමාපියන්ට ඉතා කම්පන සහගත වෙනවා. එය කොයි තරම් වේදනාකාරීද යන්න සමාජය පවා අවතක්සේරු කරන අවස්ථා තිබෙනවා. දරුවෙකු අහිමි වීම කියන්නේ වෙනත් ඕනෑම ආදරණීයයෙක් අහිමි වූවා වගේම ඔබව ශෝකී කරවන මරණයක්.

 

අනාගත සැලසුම් අහිමි වීම

ඔබේ ගර්භණීභාවය නැතිවීම ඉතා ඉක්මණින් සිදුවිය වෙන්න පුළුවන් වගේම සිදුවන්නේ මොකක්ද කියන දේ තේරුම් ගැනීමට ටික කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඔබ අපේක්ෂා කළ අනාගත ජීවිතයට ඔබේ දරුවා නොමැතිව මානසිකව හැඩගැසීමට ඔබට ලොකු කාලයක් අවශ්‍ය වෙයි. ඔබට අහිමි වූ ළදරුවා ගැන පමණක් නෙමෙයි, දෙමාපියෙක් ලෙස ඔබ ගැන ඇති හැඟීම සහ අනාගතය පිළිබඳ ඔබේ සැලසුම් සහ බලාපොරොත්තු ගැනද ඔබට දුක හිතෙන්න පුළුවන්.

ඒ වගේ අනපේක්ෂිත අවස්ථාවකදී ඔබට විවිධ හැඟීම් අත්විඳින්න වෙන්න පුළුවන්. ඒවා මාස හෝ අවුරුදු ගණනක් පුරා පවතින්නත් පුළුවන්. සෑම කෙනෙකුගේම හැඟීම් එකිනෙකාට වෙනස් වෙන නිසා නැතිවූ දරු ගැබ ගැන දුක්වීමට නිවැරදි හෝ වැරදි ක්‍රමයක් කියලා එකක් කොහෙත්ම නෑ.

 

ඔබට ඇති විය හැකි හැඟීම්

ඔබට ළදරුවෙක් අහිමි වුණාම විවිධ හැඟීම් රාශියක් අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබට මුලදී හිරි වැටීමක් වගේ හැඟීමක් දැනෙන්නට පුළුවන්. නැත්නම් එය සත්‍යයක් කියලා විශ්වාස කිරීමට අපහසු වෙන්න පුළුවන්. ඔබට කෝපය, දුක, ව්‍යාකූලත්වය සහ මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්. ඔබට නිදා ගැනීමට අපහසු වීම හෝ නිතරම නිදා ගැනීමට අවශ්‍ය වීම, අවධානය යොමු කිරීමට අපහසු වීම, ආහාර රුචිය නැතිවීම සහ බොහෝ සෙයින් අඬා වැටීම වගේ ශාරීරික රෝග ලක්ෂණද ඔබට ඇති වෙන්න පුළුවන්.

බොහෝ කාන්තාවන් පවසන්නේ දරුවෙක් අහිමි වූ විට ඔවුන්ට තමන් ගැනම වරදකාරි හැඟීමක් ඇති වන බවයි. නැත්නම් අනෙක් අය ගැන ඊර්ෂ්‍යාවක් සහ කටුක බවක් දැනෙන බවයි. මෙම සියලු හැඟීම් සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. එහෙම හිතුවාම ඔබගේ සියලු හැඟීම් පිළිගැනීමට එය උපකාරී වෙනව වගේම මෙම හැඟීම් සදහටම පවතින්නේ නැති බවත් මතක තබා ගන්න.

වැදගත්ම දෙය තමයි ඔබට ශෝක වීමට අවශ්‍ය කාලය ලබා දීමයි. ඒ හරහා ඔබට ශාරීරිකව හා මානසිකව සුව කරන්න පුළුවන්.

 

එය සිදු වූයේ ඇයිදැයි සොයා බැලීම

ඔබට බොහෝ විට තනිකමක් දැනුනත්, දරු ගැබක් නැතිවීම කියන්නේ ඉතා සුලභ තත්ත්වයක්. ඒක සිදු වූයේ ඇයි යන්න පිළිබඳව පිළිතුරු ලබා ගැනීමට ඔබට සිතීම ස්වාභාවිකයි. නමුත් සත්‍යය තමයි බොහෝ වෙලාවට දරු ගැබ නැතිවීමට හේතුව කිසිවෙක් දන්නේ නෑ. ඒ ගැන ඔබට වරදකාරී බවක් හෝ කෝපයක් දැනෙන්නට පුළුවන්. එම සිදුවීම් ඔබේ හිස තුළ නැවත නැවත දුවමින්, එය ඔබ කළ දෙයක්ද යන්න සොයා බැලීමට උත්සාහ කරන්න පුළුවන්. මෙය ද සාමාන්‍ය දෙයක්. වෛද්‍යවරයෙක් සමඟ කතා කිරීමෙන් ඔබට මෙම හැඟීම් පාලනය කර ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න අසන්න.

දරුවා සම්පුර්ණයෙන්ම සෑදිලා තිබිලා, හදිසියේම ඔබට එය අහිමි වුණොත් ගබ්සා වීමට හෝ දරු ප්‍රසූතියට හේතුව සොයා ගැනීමට මරණ පරීක්ෂණයක් හෝ වෙනත් පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. ඒ හරහා ඔබට ලැබෙන තොරතුරු ඔබේ අනාගත ගැබ් ගැනීම් සඳහා ද ඔබට උපකාරී වෙයි.

 

සැමියන් ද ශෝක වෙනවා

ගර්භණීභාවය අහිමි වීමෙන් සැමියන් තුළද ඔවුන්ගේ සතුට විනාශ වීමක් වෙන්න පුළුවන්. ගර්භණීභාවය නැතිවීමේ භෞතික පැත්ත සමඟ කටයුතු කිරීමේදී ඔවුන් බොහෝ කාර්යබහුල වෙන්න පුළුවන් අතර, ඔවුන්ම ඔවුන්ගේ දුක මැඩපවත්වා ගන්න උත්සහ කරනවා. තවත් දරුවෙකු ඉපදුණාට පස්සේ වගේ බොහෝ කලකට පසුව ඒ දුක ඔවුන්ට පහර දෙන එක නවතියි.

සමහර පිරිමින් තම දුක පිටට පෙන්වන්නේ කෝපය ලෙසයි. ඒ නිසා ඔබ දෙදෙනාම විවිධාකාරයෙන් ශෝක වන බව වටහා ගැනීම වැදගත්. ඒ අතර, ඔබ සුවය ලබන අතරතුර එකිනෙකාට ගෞරවයෙන් සැලකීම ද බොහෝ වැදගත්.

 

සමාජය සමඟ කටයුතු කිරීම

ඔබගේ නැතිවූ දරුවා පිළිබඳ මතක් කිරීම් ඕනේම අවස්ථාවකදී වෙන්න පුළුවන් බව ඔබට පෙනී ය‍යි. ලෝක මව් වරුන්ගේ දිනය, වෙනත් පුද්ගලයින්ගේ දරුවන් ගැන නිවේදන සහ සමාජ මාධ්‍යවල පින්තූර යන සියල්ල ඔබගේ දුක අවුලුවාලන්න පුළුවන්.

ඒවාට කල්තියා සූදානම් වීම සහ ඔබ ගැනම බලා ගැනීමට කාලය ගැනීම කියන්නේ ඒවාට මුහුණ දීමට හොඳම ක්‍රමයි. ඔබ දන්නවා නම් අනෙක් අය ඔවුන්ගේ ළදරුවන් සමඟ එතනට එන බව ඔබට ටික කාලයක් සමාජ උත්සවවලට යාමට අවශ්‍ය වෙන එකක් නෑ. ඒ වගේ හමුවීම් වලට වඩා ඔබේ සැමියා සමඟ නිවාඩුවක් ගත කිරීමට හෝ කෙටි කාලයක් සඳහා පවුල් සහභාගි වෙන උත්සවවලට නොයා සිටීම ගැන සලකා බලන්න. ටික කාලයක් සමාජ මාධ්‍යවලින් ඔබව ඉවත් කර ගැනීමද සැබවින්ම උපකාරී වෙයි.

 

අනෙක් අය ප්‍රතික්‍රියා කරන ආකාරය 

මේ සමඟ කටයුතු කිරීම දුෂ්කරම දේවලින් එකක් බව ඔබට පෙනී යයි. එය ඔබට කොතරම් වේදනාකාරීදැයි ඔවුන් නොදැන සිටින්න පුළුවන්. නැත්නම් ඔවුන් ඔබට වුණු දේ ගැන කතා නොකරන්නේ එය ඔබව කලබලයට පත් කරනු ඇතැයි ඔවුන් සිතන නිසායි. මතක තබා ගන්න, වෛද්‍යවරුන්ට පවා ඔබේ ගර්භණීභාවය නැතිවීම සමඟ කටයුතු කිරීමට වෙනත් අයට වගේම අපහසු වෙන්න පුළුවන්. ඔබට හැඟෙන ආකාරය ගැන ඔබ විවෘත හා අවංක නම් එය ලොකු උපකාරයක් වෙනවා. ප්‍රශ්න සඳහා සූදානම්ව සිටින්න සහ සුදුසු පිළිතුරු සූදානම් කර ගන්න.

දරුවන්ට ද ශෝකය හා එම අහිමි වීම පිළිබඳ වේදනාත්මක හැඟීම් දැනෙන බව අමතක කරන්න එපා. ඒ නිසා ඔබට වෙනත් දරුවන් සිටිනවා නම් සිදුවූ දේ අවංකව ඔවුන්ට පැහැදිලි කරන්න. ඔවුන්ගේ සියලු ප්‍රශ්න වලට විවෘතව පිළිතුරු සැපයීම ද වැදගත්.

 

නැවත උත්සාහ කිරීම

සෑම කාන්තාවක්ම එකිනෙකාට වෙනස් වන අතර වඩා හොඳ හැඟීමක් ඇති කරගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහෝ වෙනස් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට හැකි ඉක්මණින් වෙනත් ළදරුවෙක් සඳහා උත්සාහ කළ යුතු‍යි කියලා හැඟෙනවා. නමුත් නැවත ගැබ් ගැනීමකදී වුණත් ඔබේ ශෝකය සම්පූර්ණයෙන්ම දුරු නොවී තිබෙන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ පළමුවෙන්ම කරන්න ඕනේ ශෝක වීමට ඔබට අවශ්‍ය තරම් කාලයක් ලබා ගැනීම හොඳ අදහසක් කියලා.

 

ඔබ නැවත ගැබ් ගෙන නම්, කණස්සල්ලට පත්වීම සාමාන්‍ය දෙයක්. බිය සහ කරදර වීම වැනි ඔබේ හැඟීම් ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් සමඟ කතා කිරීමෙන් පාලනය වන බව ඔබට හැඟෙනවා නම් ඒ ගැන ඔවුන් සමග කතා කිරීම හොඳ අදහසක්.