ලෝකයේ වැඩිම දරුවන් ගණනක් බිහිකළ අම්මා ගැන දන්නවාද?

ගැහැණියගේ සරු බව හා සෞඛ්‍යය තත්ත්වය අනුව කාන්තාවකට සිය ජීවිත කාලය තුළ භෞතිකව දරු ප්‍රසූතියක් කරන්න පුළුවන් සීමිත වාර ගණනක් පමණයි. Michelle Duggar සහ “Octomom” Nadya Suleman ආදී කාන්තාවන් කිහිපදෙනෙක් ඔවුන්ගේ දරු පැටවුන් නිසා ප්‍රසිද්ධ වෙලා තියනවා. නමුත් මෙතෙක් කල් වැඩිපුරම දරුවන් බිහි කිරීමේ ගෞරවය ලැබී ඇත්තේ මොන කාන්තාවන්ට ද කියලා දන්නවාද ?

 

Feodor Vassilyev සහ ඔහුගේ බිරිඳ

1700 ගණන්වල ජීවත් වූ රුසියානු ගොවියෙකු වන Feodor Vassilyev සහ ඔහුගේ බිරිඳ මේ ලෝකයට වැඩිම දරුවන් සංඛ්‍යාවක් බිහි කිරීම වෙනුවෙන් නිල ගිනස් ලෝක වාර්තාවේ නම් තබා තිබෙනවා. ඇය සහ ඇගේ සැමියා වන Feodor ජීවත් වූයේ රුසියාවේයි. ඇයගේ මුල් නම කවුරුත් දන්නේ නැහැ. නමුත් සමහර මූලාශ්‍රවල ඇයගේ නම වැලන්ටිනා යැයි පවසා තිබෙනවා. දරු ප්‍රසූතියේදී ඇය නිවුන් දරුවන් 16 දෙනෙක්, තුන් නිවුන් දරුවන් 7ක් සහ සිවු නිවුන් දරුවන් 4ක් බිහි කරලා තියෙනවා. ඇය නිරෝගී දරුවන් 67 දෙනෙකු සමඟ ජීවිතය ගෙවලා තියනවා.

 

දෙවන බිරිඳ

Feodor Vassilyevට ඔහුගේ දෙවන බිරිඳගෙන් තවත් දරුවන් 18 ක් සිටිනවා. එය විශ්වාස කළ නොහැකි යැයි පෙනුනත්, Vassilyev පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍ර කිහිපයක් සහ සමකාලීන වාර්තා පවතිනවා.

එකල රුසියාවේ තිබූ නිකොල්ස්ක් ආරාමය මොස්කව් රජයට දරු උපත් පිළිබඳ තොරතුරු වාර්තා කළ අතර 1782 දී ආරාමය වාර්තා කළේ 75 හැවිරිදි ගොවියෙකු වන Feodor ඔහුගේ පළමු හා දෙවන භාර්යාවන් අතර දරුවන් 87 දෙනෙකු සිටින බවත් ඉන් 82 ක් එම වසරේ ජීවතුන් අතර සිටින බවයි.

 

දඩබ්බරකම

1783 දී ලන්ඩනයේ ද ජෙන්ට්ල්මන් සඟරාවේ සඟරාවක Vassilyev පිළිබඳ ලිපියක් පළ කළා. ෆියෝඩර්ගේ විශාල දරුවන් පිරිසක් ලැබීමට හේතුව ඔහුගේ භාර්යාවන්ගේ කැමැත්තට වඩා ඔහුගේ දඩබ්බරකම නිසා විය හැකි බව ද විශ්වාස කරනවා. 

ආරාමයේ වාර්තාව සහ ද ජෙන්ට්ල්මන් සඟරාවේ ලිපිය තිබියදීත්, නවීන වෛද්‍යවරුන් සැක කරන්නේ කාන්තාවකට ඒ තරමටම දරු ප්‍රසූති කරන්න පුළුවන්ද කියන එකයි.

 

ජානමය නැඹුරුතාවයක්

දරුවන් ත්‍රිත්වක් හා හතරක් එකවර උපත ලබන කාන්තාවන් සාමාන්‍යයෙන් නොමේරූ දරු ප්‍රසූති සිදු කළත්, Vassilyev මහත්මියගේ දරු ප්‍රසූති හොඳින් සිදු වෙලා තියෙනව. එපමණක් නෙමෙයි මේ වගේ ප්‍රසූති සඳහා සමහර කාන්තාවන්ට ජානමය නැඹුරුතාවයක් ද තිබෙන්න පුළුවන්. එමඟින් නිවුන් දරුවන් බිහි වීමේ අවස්ථා විශාල ලෙස වැඩි වෙනවා.දරුවන් බිහි කළ හැකි සරු කාලයේදී, Vassilyev මහත්මිය 27 වතාවක් ගැබ්ගෙන තිබෙනවා.

දරු උපත් සංඛ්‍යාව සහ දිවි ගලවා ගත් නිරෝගී ළදරුවන්ගේ සංඛ්‍යාව කාලයාගේ ඇවෑමෙන් අතිශයෝක්තියට නංවා ඇති කියලා සමහරුන් හිතුවත්, Vassilyev මහත්මිය මේ වන විට නිල, වලංගු ලෝක වාර්තාවක් තබා ඇත. එය ඕනෑම වේලාවක බිඳී යන්නත් පුළුවන්.