බබාලගෙ කකුල් ගැන සැලකිලිමත් වෙන්න ඕනද?

ළමයින්ගේ පාදවලට විශාල වැදගත්කමක් ලැබෙන්නේ ජීවිත කාලය පුරාම ඒවායින් ඉටු කළ යුතු කාර්යයන් තිබෙන නිසායි. ඒ නිසා දරුවෙක්ගේ පාද කුඩා කාලයේ ඉඳන්ම හොඳින් රැකබලා ගන්න අවශ්‍යයි. බොහෝ ළදරුවන් සාමාන්‍ය, නිරෝගී පාද සහිතව උපත ලබන අතර දරුවන් වැඩෙද්දී අනිත් දේවල් ගැන වගේම ඔවුන්ගේ පාද වල රැකවරණය ගැනත් හිතන එක දෙමවුපියන්ගේ වගකීමක්. ඒ ගැන වැදගත් තොරතුරු කීපයක් අපි ඔබට කියන්නම්…

ඔබේ දරුවාගේ පාද හොඳ තත්ත්වයේ තබා ගැනීමට ඔබට කළ හැකි බොහෝ දේවල් තියනවා.

 

නිදහස් චලනයකට ඉඩ දෙන්න

ළදරුවන්ට පයින් ගැසීමෙන් හා පොරබැදීමෙන් ඔවුන්ගේ මාංශ පේශි වර්ධනය වෙනවා, ඒ නිසා දරුවන් එහෙම කරද්දී කිසි විටෙකත් අධෛර්යමත් කරන්න එපා. දරුවන්ගේ පාද වලට නිදහසේ ක්‍රියාකාරීව ඉන්න ඕනේ වෙනවා, ඒ නිසා තද ඇඳ ඇතිරිලි, බූට් සපත්තු හෝ වෙනත් පාද ආවරණ මගින් කකුල් වල ක්‍රියාකාරීත්වය සීමා කරන්න එපා.

ඔබේ දරුවා බඩගාගෙන යන්න පටන් ගත්තාම ඔවුන්ට එය පාවහන් නොමැතිව කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ පාද සහ ඇඟිලි වර්ධනය වීමට උපකාරී වෙනවා. සීතල කාලගුණයකදී හෝ ඔබේ දරුවා පිටතට යනවා නම් මිසක දරුවාට කිසිදු ආකාරයක පාවහන් පැළඳීමට අවශ්‍ය නෑ.

 

පාද ආවරණ නිසි ලෙස ගැලපෙන බවට වග බලා ගන්න

ළදරුවන් ඉතා ඉක්මණින් වැඩෙන නිසා ඔබේ දරුවාට අන්ඳවන මේස් සහ සපත්තු හොඳින් ගැලපෙනවාද කියලා නිරන්තරයෙන් පරීක්ෂා කිරීම වැදගත්. සාමාන්‍යයෙන් දරුවාට සතියකදී ගැලපෙන ලිහිල් දෙයක් ඊළඟ සතියේ තද වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒවා සේදීමේදී හැකිලී ගි‍යොත්. ආවරණය කරන ලද combination stretch suits කට්ටල ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඒවායේ ඉතිරි ඇඳුම ගැලපුණත්, පාද ඉතා තද වෙන්න පුළුවන් (අවශ්‍ය නම්, ඒවා ඇඳුමෙන් කපා දමන්න). හොඳ රුධිර සංසරණයකට ඉඩ සැලසෙන පරිදි සපත්තු වල වළලුකර කොටසේ තියන පටි ලිහිල් වෙන්නත් ඕනේ.

 

ඔබේ දරුවාගේ පාද පිරිසිදුව තබා ගන්න

සෑම දිනකම සබන් හා වතුරෙන් ඔබේ දරුවාගේ පාද සෝදන්න. විශේෂයෙන් ඇඟිලි අතර හොඳින් වියළන්න, ඇඟිලි අතර සම වියළිව තබන්න.

 

ඔබේ දරුවා ඇවිදීමට පටන් ගත් විට

බොහෝ දරුවන් මාස 8 ත් 18 ත් අතර ඇවිදීමට පටන් ගන්නවා. සමහරු ශාරීරිකව හා මානසිකව පළමු පියවරට වඩා හොඳින් සූදානම් වෙනවා. නමුත් ඉක්මන් වන්න එපා – ළදරුවන් තමන්ගේ වේගයෙන් ඇවිදීමට ඉගෙන ගන්නකොට කකුල් සහ පාද වඩාත් හොඳින් වර්ධනය වෙනවා. ඒ සඳහා ඇවිදීමේ ආධාරක අවශ්‍ය වෙන්නේ නෑ. ඇත්ත වශයෙන්ම ඒවායින් වෙන්නේ ළදරුවාට ඇවිදීමට ඉගෙනීම දුෂ්කර වීම සහ තුවාල හෝ අනතුරු පවා සිදු වෙන්න වීමයි.

ඔබේ දරුවා මුලින්ම ඇවිදීමට පටන් ගත්තාම ඔවුන්ගේ ඇඟිලි වලින් ඇවිදීමට හෝ ඇඟිලි ඇතුළට හෝ පිටතට යොමු වීමේ ප්‍රවණතාවක් තිබෙන්න පුළුවන්. මේ තත්ත්වය බෙහෙවින් පොදුයි.

 

පහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කරනවා නම්

ඔබේ දරුවා පහත සඳහන් ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ.

 

  • ඇඟිලි ගොඩක් හැරවී තිබීම.
  • එක් පාදයක් අනෙක් පාදයට වඩා බොහෝ සෙයින් හැරී තිබීම.
  • ඇවිදීම මාස 18 කින් වත් ආරම්භ නොවීම.
  • ඔබේ දරුවා හොඳින් ඇවිදිමින් සිටිද්දී පසුව ඇවිදීමට ප්‍රතික්ෂේප කිරීමට පටන් ගන්නවා නම් නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍යයි.

බොහෝ දරුවන් ස්වභාවයෙන්ම ක්‍රියාශීලීයි. ඒ නිසා ඔබේ දරුවාට ඔවුන්ගේ වේගයෙන් ගමන් කිරීමට ඉඩ දෙන්න. ඒ කියන්නේ ඔවුන්ව වෙහෙසට පත් නොකෙරෙමින් ඔබට ආවරණය කරන්න පුළුවන් දුර ප්‍රමාණය සඳහා පමණයි. ඔබේ දරුවා එයාගේ කකුල්වල සහ පාදවල වේදනාව ගැන පැමිණිලි කරනවා නම් දවසට ප්‍රමාණවත් තරම් ක්‍රියාකාරකම් කරලා ඇති බව වටහා ගන්න පුළුවන්. කෙසේ වෙතත් ඔවුන් ඇවිදින සෑම අවස්ථාවකම ඒ වේදනාව ගැන පැමිණිලි කරනවා නම් ඔවුන්ගේ පාද පරීක්ෂා කිරීම හොඳ අදහසක්.

 

නිවැරදි සපත්තු තෝරා ගැනීම

සපත්තු වල ප්‍රධාන අරමුණ වන්නේ දරුවන් ගමන් කරන මතුපිටින් දරුවාගේ පාද ආරක්ෂා කිරීමයි. නමුත් තවමත් ඇවිදින්නේ නැති ළදරුවෙකුට සපත්තු අවශ්‍ය නෑ. ඇත්තටම කුඩා දරුවන් නිවස තුළ ගමන් කරනකොට පවා එයාලට සපත්තු දැමීම අවශ්‍ය නෑ.

ඔබේ දරුවා නිවසේ ආරක්ෂිත පරිසරයෙන් පිටත ඇවිදීමට පටන් ගත් පස්සේයි ඔවුන්ගේ පාද ආරක්ෂා කිරීමට ඔවුන්ට සපත්තු අවශ්‍ය වෙන්නේ. දුර්වල සපත්තු පාදයේ විකල ස්වභාවයක් ඇති කරන්න හේතු වෙන්නත් පුළුවන්. ඒ නිසා ආරම්භයේ සිටම නිසි ආකාරයට ගැලපෙන සපත්තු පමණක් දරුවාට ලබා දීම වැදගත්.

 

ඔබේ දරුවාට නිවැරදි සපත්තු ඇති බව තහවුරු කර ගැනීම සඳහා කරුණු කිහිපයක් මෙන්න:

 

  1. සපත්තු නිවැරදි දිගකින්, පළලකින් සහ ගැඹුරකින් තිබෙන්න ඕනේ. ඔබේ අනුමානය නිවැරදි බව තහවුරු කර ගැනීම සඳහා ඔබ සපත්තු මිලදී ගන්නා සෑම අවස්ථාවකම ඊට කලින් ඔබේ දරුවාගේ පාද මැනීම හොඳ අදහසක්.
  2. සපත්තුව පාදයේ ස්වාභාවික හැඩයට ගැලපෙන්න ඕනේ. දරුවාගේ ඇඟිලි තුඩු වලට නිදහසේ චලනය වෙන්න පුළුවන් මට්ටමින් සපත්තුවේ හැඩය තියෙනවාද බලන්න.
  3. සපත්තු සැහැල්ලු, නම්‍යශීලී විය යුතු අතර දරුවාගේ පාදවලට ආරක්ෂිතව ගැලපෙන්න ඕනේ. සපත්තු දැම්මාට පස්සේ ඔවුන්ගේ විලුඹ වටා පහසු ආකාරයකින් තිබෙනවා වගේම ඕනෑවට වඩා ලිහිල් හෝ තදින් තිබෙන්න හොඳ නෑ.
  4. දරුවන්ගේ පාද වලට නිතරම දහඩිය දමන අතර වාතය පිට කිරීමේ හැකියාව සපත්තු වලට තිබිය යුතු නිසා කෘතිම අමු ද්‍රව්‍ය වලින් සාදන ලද සපත්තු මිලදී ගැනීමෙන් වළකින්න.
  5. සපත්තු තදයි කියලා දරුවාට දැනෙන්නට පටන් ගත්තත් ළමයින් සැමවිටම ඒ ගැන ඔබට පැමිණිලි කරන එකක් නෑ. ඒ නිසා ඔබේ දරුවාගේ සපත්තු නිසි ලෙස ගැලපෙනවා ද කියලා ඔබ නිතරම පරීක්ෂා කිරීම වැදගත්. එහිදී ඔවුන්ගේ දිගම ඇඟිල්ල සහ සපත්තුවේ අවසානය අතර සෙන්ටිමීටර 1 ක ඉඩක් තියනවාද කියලා වග බලා ගන්න. එහෙම නැත්නම් අලුත් සපත්තු යුගලයක් ලබා ගැනීමට කාලය හරි.

ඔබට උදව් අවශ්‍ය නම්

ඔබේ දරුවාට එයාගේ පාදවල හෝ ඇවිදීමේ ගැටලුවක් තියනවා කියලා ඔබට සිතෙනවා නම් උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න.