Search here...
TOP
එදිනෙදා ජීවිත​ය පෝෂණ​ය මව සහ ගර්භනී සම​ය

ගර්භණී ඔබට කැල්සියම් ලබාගත හැකි ආහාර 5ක්

අපගේ ශරීරයට කැල්සියම් කොතරම් වැදගත්ද කියලා අපි කවුරුත් දන්නවා. නමුත් විශේෂයෙන්ම ගර්භණීභාවයට පත් වුණාම කැල්සියම් වල වැදගත්කම තවත් වැඩි වෙනවා. අද මෙම ලිපිය හරහා අපි ඔබට කියන්න යන්නේ ගර්භණී අවධියේදී කැල්සියම් වැදගත් වන්නේ ඇයි සහ ඔබට ඒවා සපුරාගත හැකි ක්‍රමවේදයන් ගැනයි. 

 

දොඩම්

ගර්භණී සමයේදී කැල්සියම් ලබා ගැනීම සඳහා දොඩම් කියන්නේ හොඳම විකල්පය නොවෙන්න පුළුවන්. නමුත් ඔබ කිරි නිෂ්පාදන අනුභව කිරීමට අකමැති නම් ඔබට අහිමි වන කැල්සියම් නැවත ලබා ගැනීම සඳහා දොඩම් ආහාරයට ගන්න පුළුවන්. කැල්සියම් වලට අමතරව දොඩම් මඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වන විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ද සපයනවා. ඒ වගේම දොඩම් වල අඩංගු ඇඹුල්-පැණිරස රසය ද ගැබිණි සමයේ උදෑසන අපහසුතා වලින් ඔබව මුදවාලයි. 

 

ඕට්ස් 

ඕට්ස් අපට පෝෂණය ලබා දෙන්නේ එහි කැල්සියම්, රයිබොෆ්ලැවින්, කාබෝහයිඩ්‍රේට්, ෆෝලික් අම්ලය පොටෑසියම් යනාදිය අඩංගු වන නිසයි. ගර්භණී සමයේදී ඕට්මීල් ආහාරයට ගැනීම මඟින් දවස පුරාම ආමාශය පුරවා තබන අතර ඔබට දීර්ඝ වේලාවක් බඩගිනි දැනෙන්නේත් නැති වෙයි. එමඟින් නිතර ආහාර ගැනීමෙන් අනවශ්‍ය විදියට බර වැඩිවීම වලක්වගන්න පුළුවන්.

 

ආමන්ඩ්

ආමන්ඩ් වලින් ගර්භණී අම්මලාට බොහෝ වාසි තිබෙනවා. ඒවා විශේෂයෙන්ම කැල්සියම් සහ විටමින් ඊ වලින් පොහොසත්. ගර්භණී සමයේදී ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් ඔබේ මුහුණේ දීප්තිය ද වැඩි කරගන්න ඔබට පුළුවන්.

 

මාළු

සාමාන්‍යයෙන් ඔබ මස් වර්ග ආහාරයට ගන්නෙ නැත්නම් ඔබට මාළු, සාඩින් සහ ඉස්සන් ආහාරයට ගන්න පුළුවන්. මෙම මසුන් තුළ ඔමේගා 3, මේද අම්ල සහ විටමින් බී 12 වලින් අතිශයින් පොහොසත්. සාඩින් සහ ඉස්සන් උශ්ණ ආහාර ඝණයට වැටුනත් සාමාන්‍ය ප්‍රමාණයක් ආහාරයට එක් කර ගැනීම හානි කර නෑ කියලයි කියන්නෙ.

 

කිරි නිෂ්පාදන

ගර්භණී සමයේදී ඔබ කිරි, යෝගට්, මී කිරි චෙඩාර් චීස්, මොසරෙල්ලා චීස් සහ අයිස්ක්‍රීම් වැනි කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීම ගුණදායකයි. මොකද කිරි නිෂ්පාදනවල වැඩිම කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. හැබැයි ඔබට දියවැඩියා අවදානමක් තිබෙනවා නම් වෛද්‍ය නිර්දේශය ඇතුව ආහාර ලබා ගන්න.

«

»