ගෙදරදොරේ වැඩ අතරේ පොඩ්ඩා එක්ක කරන්න පුළුවන් විනෝදාත්මක ක්‍රීඩා ටිකක්

දරුවා එක්ක සෙල්ලම් කරනවා යන්නෙන් අදහස් කරන්නේ එයා එක්ක එකට බිම වාඩි වෙලා ඉන්න එක, සෙල්ලම් බඩු දෙන එක හෝ මහන්සි වෙලා සෙල්ලම් කරන එක විතරක් නෙමෙයි. ඔබ නිවස වටා ගමන් කරද්දී දවස පුරාම ඔබේ දරුවා සමඟ කටයුතු කරන්නට ඔබට භාවිතා කරන්න පුළුවන් බොහෝ දේවල් නිවස වටා තියනවා. ඔබ එදිනෙදා දවසට සූදානම් වෙන අතරතුර ආහාර පිළියෙළ කිරීම, පිරිසිදු කිරීම, නිවසින් බැහැර වැඩ කිරීම හෝ විවේකීව සිටිද්දී වුණත් ඔබේ දරුවා සමඟ කරන්න පුළුවන් නිර්මාණාත්මක ක්‍රීඩා කිහිපයක් මෙන්න :

 

හැඩතල ඉගෙනීම

නිවස වටා ඇති බොහෝ දේවල් වලට හැඩයක් තියනවා. සෑම අවස්ථාවකම ඔබේ දරුවාට ඒවා පෙන්වා දෙන එකෙන් හැඩතල ගැන ඉගෙන ගන්න දරුවාට උපකාර වන කදිම ක්‍රමයක් බවට පත් වෙනවා. 

මෙන්න අදහස් කිහිපයක්:

  • චතුරස්‍ර – ජනෙල්, ටයිල්, රූපවාහිනී යන්ත්‍ර, කැබිනට් දොරවල්, CD කේසස්, පොත්.
  • වෘත්ත – පිඟන්, රවුම් බල්බ, දොර අඟුළු බෝල, CD තැටි, පළතුරු.
  • සෘජුකෝණාස්‍ර – ලයිට් ස්විච්, දොරවල්, වීඩියෝ කැසට්, පින්තූර රාමු, සීරියල් පෙට්ටි.

ඔබ නිවස වටා ගමන් කරද්දී ඔබේ දරුවාට විවිධ හැඩයන් පෙන්වන්න. ඔබට පෙන්නන්න අලුත් හැඩයක් සොයාගෙන එන්න කියලා එයාගෙන් ඉල්ලන්න. උදා : “තාත්තාට චතුරස්‍ර වර්ග තුනක් හොයලා දෙන්න” කියන්න… ඔබ යම්කිසි වැඩක් සමඟ කාර්යබහුල වෙන අතරතුර ඔබේ දරුවා ඔබ සමඟ සම්බන්ධ කරගන්න ඒක හොඳ ක්‍රමයක්. දරුවා ළඟ තියන සෙල්ලම් බඩු වල හැඩතල නිවසේ තියන අනෙක් හැඩතල සමඟ සැසඳෙන ආකාරය ඔබේ දරුවාට පෙන්වන්න. දො‍රේ අගුල ( doorknob) ගාවට දරුවාව එක්කන් ගිහින් එයා සෙල්ලම් කරන බ්ලොක්ස් සහ නොබ් එක එකම හැඩය ගන්නා ආකාරය දරුවාට පෙන්වන්න. එයා ගාව තියන අනෙක් හැඩ වල බ්ලොක්ස් අරගෙන එහෙම කරන්න කියන්න. හැම කාමරයකටම ඒකටම ආවේණික හැඩතල ගොඩක් තියන නිසා ඔබේ දරුවාට හැම වෙලාවකම අලුත් දෙයක් සොයාගන්න පුළුවන් වෙයි.

 

කණ්ණාඩි සෙල්ලම 

 

නාන කාමරයේදී කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සඳහා අදහස් කිහිපයක් මෙන්න :

විනෝදජනක මුහුණු 

නාන කාමරයේ කණ්ණාඩියේ නිර්මාණාත්මක මුහුණු ඉරියව් කිහිපයක් අඳින්න. ඊට පස්සේ ඔබ කරපු විදිහට ම කරන්න කියලා ඔබේ දරුවාටත් කියන්න. ඊට ප්ස්සේ ඔබේ දරුවාට මූලිකත්වය ගන්න ඉඩ දීලා ඔබ එයාව කොපි කරන්න.

 

විනෝදජනක ශබ්ද 

ඔබේ දරුවාට කොපි කරන්න පුළුවන් විදිහට දිව, තොල් සහ මුඛයෙන් විනෝදජනක ශබ්ද කිහිපයක් කරන්න. හැම ශබ්දයක්ම නිපදවද්දී ඔබේ මුඛය කරන්නේ මොකක්ද කියලා ඔබේ දරුවා බලා ඉන්නකොට ඔබ දෙදෙනාටම විනෝද වෙන්න පුළුවන්.

 

මුහුණේ කොටස්

කණ්ණාඩිය කියන්නේ ඔබේ දරුවාට ඇගේ මුහුණේ කොටස් ගැන ඉගැන්වීමට කදිම ක්‍රමයක්. ඔබේම ඇස් දෙක, මුඛය ආදිය කණ්ණාඩියට යොමු කරමින් දරුවාගේ ඇඟිල්ල ඒ දෙසට දිගු කරන්න. “බබාගේ කන් කොහේද?” වගේ දේවල් අහන්න. ඔබ සූදානම් වෙන අතරතුර ඔබේ දරුවාව කාර්යබහුල කරන්න එයාගේ මුහුණේ ඉතිරි කොටස් ද මේ විදිහට හොයන්න කියන එක විනෝදජනක ක්‍රමයක් වෙයි.

 

කණ්ණාඩියත් එක්ක මේ කරන ක්‍රීඩාව වඩාත් හොඳින් වැඩ කරයි. ඒ සඳහා සම්පූර්ණ දිග බිත්තියක කණ්නාඩියක් හෝ දොරක කණ්ණාඩියක් වඩාත් හොඳයි ; ඒවායින් ඕනෑම වයසක දරුවෙක්ට තමන්ගේ පරාවර්තනය වන රූපය සමඟ පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් බාත් රූම් එකේ කණ්නාඩියේ උසට හරි යන විදිහට දරුවාව ස්ටූල් එකක් උඩින් තියලා මේ වැඩේ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් බාත් රූම් එකේ කවුන්ටර් එක ආරක්ෂිතයි කියලා ඔබට සහතික නම් දරුවාව ඒ මත තියන්නත් පුළුවන්. 

 

බට්න්ස් එබීම  

බොහෝ කුඩා දරුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණ හෝ උපාංග වෙත ළඟා වෙන්න ගොඩක් උත්සහ කරනවා. විශේෂයෙන් එය සෙල්ලම් බඩුවක් නෙමෙයි නම්. මොකද ළමයින් ඉන්නේ නිතරම කුතුහලයෙන්. ඔවුන් ස්වභාවිකවම දේවල් ගවේෂණය කරන්න පුරුදු වෙලායි ඉන්නේ. බිඳෙන සුළු සෑම ගෘහ භාණ්ඩයක් දරුවා අල්ලන්න කලින් “එපා” කියලා නැවත නැවතත් කියනවා වෙනුවට, ඔබේ දරුවාගේ ඇඟිලි තෘප්තිමත් කිරීමට සහ ගෙදර මිල අධික උපකරණ ආරක්ෂා කර ගැනීමට හොඳ අදහස් කිහිපයක් මෙන්න :

 

VCR සහ රූපවාහිනී 

ඔබට තේරීම් දෙකක් තිබෙනව ; එක්කෝ ඒවා දරුවාට ළඟා වෙන්න බැරි ඉහළ රාක්කයක තබන්න, නැත්නම් ඒවායේ බට්න්ස් ඔබන හැටි ඔබේ දරුවාට කියලා දෙන්න. නමුත් ඒක මෘදු විදිහට කරන්නේ කොහොමද කියලා දරුවාට උගන්වන්න. නැත්නම් හැම දේටම “එපා” කියන එකෙන් වෙන්නේ ඔබේ දරුවා ඒවා ගැන වඩාත් දැඩි වෙන එක හා ආක්‍රමණශීලී වෙන එකයි. නිවුණ වචන, මෘදු ස්පර්ශයෙන් සහ හෙමීට කරන්න ඕනේ දේ මොකක්ද කියලා දරුවාට නිරූපණය කරලා පෙන්වන්න.

 

ජංගම දුරකථන සහ රැහැන් රහිත දුරකථන 

දෙමව්පියන් දුරකථනයෙ දීර්ඝ කාලයක් ඉන්නවා කියලා ළමයින් දකිනකොට ඇත්ත වශයෙන්ම ඔවුන් ඔබව කොපි කරන්න කැමති වෙනවා. ඒ නිසා “දුරකථන ඇල්ලීම” හරියට කරන්නේ කොහොමද කියලා ඔබේ දරුවන්ට පෙන්වනවාට අමතරව, ඔබේ දරුවාට අම්මාගේ දේවල් මොනවාද සහ දරුවාගේ දේවල් මොනවාද යන්න ඉගැන්වීමට පුළුවන්. ඔබේ දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා දරුවාට සෙල්ලම් දුරකථනයක් මිලදී ගෙන දෙන්න. සැබෑ දුරකථනය දරුවාගේ අහල පහලක නොතැබීමට වග බලාගන්න. ඔබේ මෝටර් රථයේ, ඩයපර් බෑගයේ හෝ පසුම්බියේ තවත් සෙල්ලම් දුරකථනයක් ළඟ තබා ගන්න. එවිට ඔබේ දරුවා ඔබේ දුරකථනය ඉල්ලන්න බල කරන්නේ නෑ. කුඩා කාලයේ ඉඳන්ම “මේක අම්මගේ දුරකථනයයි, මෙන්න බබාගේ දුරකථනය” වගේ මෘදු ආකාරයෙන් හා ස්ථිරව දේවල් කියලා දෙන්න. එහෙම කළාම වැඩිහිටියන්ගේ දේවල් නොගැනීමට සහ ගරු කිරීම පිළිබඳවත් ඔබේ දරුවාට උගන්වන්න පුළුවන් වෙනවා.

 

පරිගණක 

කීබෝර්ඩ් සහ මවුස් බට්න්ස් කියන්නෙත් ස්පර්ෂ කිරීමට දරුවන්ව පොළඹවන දේවල්. කලින් වගේ සෑම විටම එපා කියලා කියනවා වෙනුවට, ඒවා මෘදු විදිහට හා නිසි විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා ඔබේ දරුවාට පෙන්වන්න. ඔබේ දරුවා ඕනෑවට වඩා රළු වුණොත්, කාමරයෙන් තාවකාලිකව ඉවත් කිරීමක් කරන්න. ඒ හරහා නොකරන්න ඕනේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඊළඟ පාර ඔබේ දරුවාට මතක් වෙයි.

 

සමස්තයක් වශයෙන් ළමයින් ඔවුන්ගේ මට්ටමේ තිබෙන ඕනෑම දෙයකට සම්බන්ධ වෙන්න ඉබේම උත්සහ කරනවා. “එපා” කීමෙන් ඒ දේවල් වෙනස් වෙන්නේ නෑ. පහසුවෙන් කැඩෙන බිඳෙන දේවල් පුංචි දරුවන්ගෙන් ඈතක හෝ උසක තියන්න. එහෙම හසුරුවන්න හෝ ඉවත් කරන්න බැරි, නිවසේ තියන දේවල් වල වටිනාකම හා වැදගත්කම දරුවාට හොඳින් කියලා දෙන්න කාලය ගන්න. 

 

වර්ණ කාලය 

ඔබේ දරුවන්ට වර්ණ ගැන උගන්වන එකම ක්‍රමය පොත් සහ සෙල්ලම් බඩු විතරක් නෙමෙයි. ගෙදර තියන ඇඳුම් සහ ගෘහ භාණ්ඩ වලින් පවා දරුවාට වර්ණ ගැන කියලා දෙන්න පුළුවන්. ඔබ දවස පුරා ඔබේ දරුවා සමඟ කටයුතු කරන අතරේ ඔබ කරන සෑම දෙයක්ම අදාළ වර්ණයෙන් ලේබල් කරන්න. මෙන්න අදහස් කිහිපයක් :

 

ඇඳුම් ඇන්දවීමේ සාර්ථකත්වය 

බොහෝ කුඩා දරුවන් ඇඳුම් ඇඳීමට විරුද්ධයි. ඔබේ වචන වලට වර්ණ එක් කිරීමෙන් ඔබට එය වඩාත් විනෝදජනක කරගන්න පුළුවන්. “ඔයාගේ කමිසය අඳිමු” කියලා කියනවා වෙනුවට “ඔයාගේ කොළ පාට කමිසය සහ නිල් පාට කලිසම අඳින්න වෙලාව හරි” කියලා ඔබේ දරුවාට කියන්න. ඊට පස්සේ සමාන වර්ණ වලින් සෙල්ලම් බඩු දෙකක් අරන් එන්න කියලා දරුවාගෙන් ඉල්ලා සිටීම වගේ සෙල්ලම් කිරීමෙන් ඇඳුම් ඇඳීම වඩාත් සිත්ගන්නාසුළු හා අධ්‍යාපනික කරවන්න ඔබට පුළුවන්.

 

එළිමහන් වර්ණ

ඔබ දරුවා එක්ක එකට කවුළුවෙන් එළිය බලනකොට පරිසරයේ තියන උත්තේජක වර්ණ කීපයක් සොයා ගන්න. ඒ වර්ණයට ගැලපෙන සෙල්ලම් බඩුවක් සොයාගෙන එන්න කියලා ඔබේ දරුවාට කියන්න. උදා : “ඔයාගේ බෝලය අහස වගේ නිල් පාටයි”…  ඇත්ත වශයෙන්ම ඒ විදිහට කිරීමෙන් ඔබේ දරුවාගේ වර්ණ ඉගෙනීමේ හැකියාව දියුණු වෙයි.

 

ආහාර වර්ණ ගැන්වීම

අපි කතා කරන්නේ කෘතිම දේවල් ගැන නෙමෙයි. ඔබේ දරුවාගේ ආහාර වර්ණ වලින් ලේබල් කිරීම හරහා ආහාර වේල අරගැනීම පවා දරුවාට වඩාත් විනෝදජනක වෙයි. “ඔයාගේ පිඟානේ තියන බ්රොකොලි ටික කන්න ” කියනවා වෙනුවට “ජනේලයෙන් එළියේ තියන ගස් වගේම ඔයාගේ බ්රොකොලි ටිකත් කොළ පාටයි”  කියන්න. ඒකෙන් ඔබේ දරුවා ආහාර වේල ගැන දක්වන උනන්දුව වැඩි වෙයි.

 

ඔබ ක්‍රියාශීලීව දරුවා එක්ක ක්‍රීඩාවන් වල නිරත නොවූවත් දරුවා එක්ක සංවාද හා නිර්මාණාත්මක ක්‍රීඩාවන් සිදු කිරීමෙන් ඔබේ දරුවාට එයාගේ එදිනෙදා ජීවිතය වඩාත් උත්තේජනයෙන් සහ අධ්‍යාපනිකව වැදගත් විදිහට ගත කරන්න පුළුවන් වෙනවා. මෙම කුඩා පාඩම් සහ ක්‍රීඩාවන් වලට වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ නෑ. ඒ වගේම දීප්තිමත්, වඩා සමාජීය හා වඩා අන්තර්ක්‍රියාකාරී දරුවෙක් ගොඩනැගීමට ඒවා ඔබට උපකාරී වෙයි.