ගර්භණී සමයේදී ඔබට පානය කරන්න පුළුවන් සහ බැරි දේවල් – 2 කොටස

අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔබගේ ආහාර පාන රටාව පිළිබඳව කතා කරද්දී පාන වර්ග වලට තියෙන්නේ සුවිශේෂී තැනක්. මොකද ඒවාද ආහාර තරමට ම ඔබේ ශරීර සෞඛ්‍යයට බලපෑමක් එල්ල කරනවා. ඉතින් ඔබ ඔබේ දරුවාව අංක එකට තියාගෙන ජීවත් වෙන ගර්භණී කාලයේදී පානය කරන්න සුදුසු මොනවාද සහ නුසුදුසු දේවල් මොනවාද කියන ප්‍රශ්නයට අදාළ පිළිතුරු කිහිපයක් අපි මේකේ පළවෙනි ලිපියෙන් ලබා දුන්නා. මේ දිග හැරෙන්නේ එහි දෙවෙනි කොටසයි. 

 

ගර්භණී කාන්තාවන්ට ග්‍රීන් ටී පානය කිරීම ආරක්ෂිතද?

බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ ගර්භණී සමයේදී මධ්‍යස්ථ මට්ටමින් ග්‍රීන් ටී පරිභෝජනය කරන එක දරුවාට අහිතකර ලෙස බලපාන්නේ නැති බවයි.

කෙසේ වෙතත්, මෙම පානය තුළත් කැෆේන් අඩංගු නිසා කැෆේන් අඩංගු කෝපි සහ චොකලට් වගේ පාන වර්ගයන් ලබාගන්නවා නම් ග්‍රී ටී අඩුවෙන් පානය කරන්න පුරුදු වෙන්න. ඔබේ දෛනික කැෆේන් ප්‍රමාණය ඉක්මවා නොයන්න හැමවිටම මතක තියාගන්න.

 

ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීම සුදුසු ද?

මත්පැන් සහ ගැබ් ගැනීම කියන්නේ කිසිසේත්ම ගැලපෙන තත්ත්වයන් නෙමෙයි කියන එක කවුරුත් දන්නවා.

අධික ලෙස මත්පැන් පානය කිරීම දරුවාට උපත් ආබාධ ඇති කරවන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී කාලයේදී කුඩා ප්‍රමාණ‍යෙන් පවා මත්පැන් පරිභෝජනය කිරීම සුදුසු වෙන්නේ නෑ කියලා වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඒ නිසායි.

එමනිසා ඔබේ සමස්ත ගර්භණී සමයේදී ඇල්කොහොල් අඩංගු සියලුම පාන වර්ග වලින් වැළකී සිටීම රෙකමදාරු කරනු ලබනවා.

 

ගර්භණී කාන්තාවන් පැස්චරීකරණය නොකළ, විෂබීජහරණය නොකළ කිරි පානය කිරීම සුදුසු ද?

ගැබිණි කාන්තාවන්ගේ ආහාර වේලට පැස්චරීකරණය නොකළ කිරි ඇතුළත් කිරීම රෙකමදාරු කෙරෙන්නේ නෑ. මොකද ඒවායේ අහිතකර බැක්ටීරියා අඩංගු වෙන්න පුළුවන් අතර ආහාර විෂවීමකට වුණත් ඒවා තුඩු දෙන්න පුළුවන්. ඒක ඔබේ ගර්භණීභාවයට හා අනාගත දරුවාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා.

 

ගර්භණී සමයේදී නැවුම් මිරිකා ගත් යුෂ සහ ස්මූති පානය කිරීම සුදුසු ද?

ගැබිණි සමයේදී මිරිකා ගත් නැවුම් පළතුරු යුෂ සහ ස්මූති බොන එක ඔබට ආරක්ෂිතයි. නමුත් මෙම බීම වර්ග අවන්හලක හෝ යුෂ බාර් එකකින් මිලදී ගන්නවාට වඩා ඔබ නිවසේදීම සාදා ගැනීම වඩාත් සුදුසුයි. ඔබට පළතුරු හොඳින් සෝදා ගන්නත් පුළුවන් නිසා නිවසේදීම සකසා ගන්න එක වඩාත් සුදුසුයි.

 

ගර්භණී කාන්තාවන්ට කාබනීකෘත හා ශක්තිජනක පාන වර්ග පානය කිරීම ආරක්ෂිතද?

කාබනීකෘත හා ශක්තිජනක බීම වල සීනි, කැෆේන්, වර්ණක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු වෙන්න පුළුවන් නිසා ඒවා ඔබේ ගර්භණී කාලයේදී පරිභෝජනය කරන එකෙන් මිදෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා.

 

ගර්භණී සමයේදී බොන්න සුදුසුම පරිපූර්ණ පානය වෙන්නේ පිරිසිදු පානීය ජලයයි.