ගර්භණී සමයේදී ඔබට පානය කරන්න පුළුවන් සහ බැරි දේවල් – 1 කොටස

දරුවෙක් බිහි කරන්න ඉන්න කාලය කියන්නේ ඔබ හරිම වගකීම් සහගත වෙන්න ඕනේ කාලයක්. මොකද මේ කාලයේදී ඔබට අම්මා කෙනෙක් විදිහට ඉස්සර වගේ තමන් කැමති දේවල් කන්න බොන්න වත් බෑ. ආහාර පාන වර්ග ගැන කතා කරද්දී ගර්භණී වෙලා සිටිද්දී නිවැරදිවම පානය කරන්න සුදුසු මොනවාද සහ නුසුදුසු දේවල් මොනවාද කියන ප්‍රශ්නය හැම ගර්භණී අම්මා කෙනෙක්ටම තියනවා. ඔබටත් ඒ ගැටළුව තියෙනවා නම් Baby and Me අපි ඔබට ගර්භණී සමයේදී පාන වර්ග පරිභෝජනය කිරීම පිළිබඳව තිබෙන ජනප්‍රිය හා තරමක් ව්‍යාකූල ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නම්.

 

ගැබිණි සමයේදී නිර්දේශිත දෛනික ජල ප්‍රමාණය කොච්චරද?

ගර්භණී අවධියේදී ප්‍රමාණවත් තරම් ජලය පානය කරන එක විශේෂයෙන්ම වැදගත් වෙනවා. සෞම්‍ය දේශගුණයක ජීවත් වන කාන්තාවන් දිනපතා පිරිසිදු ජලය වීදුරු 12-13 දක්වා වැඩි කර ගන්න ඕනේ.

 

ගර්භණී සමයේදී නළ ජලය පානය කිරීම සුදුසුද?

බොහෝ අවස්ථා වලදී ගර්භණී අවධියේදී නළ ජලය පානය කිරීම සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. කෙසේ වෙතත් ඔබ භාවිතා කරන නළ ජලය අපැහැදිලි නම් හෝ අසාමාන්‍ය රසයක් හෝ සුවඳක් තිබෙනවා නම් බෝතල් කළ ජලය වෙත මාරු වෙන්න. නැත්නම් ජලය පිරිසිදු කිරීමේ පද්ධතියක් (වෝටර් ෆිල්ටර් එකක්) පාවිච්චි කරන එක වඩා හොඳයි. නැත්නම් උණු කර නිවාගත් ජලය පානය කරන්න. 

 

ප්ලාස්ටික් බෝතල් වලින් ජලය පානය කිරීම ආරක්ෂිතද?

වර්තමාන ලෝකය සෑම අතකින්ම ප්ලාස්ටික් ඇසුරුම් සමඟ සම්බන්ධ වෙලායි තියෙන්නේ. ඉතින් ප්ලාස්ටික් වලින් ඇසුරුම් කරලා තියන ආහාර පාන වලින් වැළකී ඉන්න එකම දුෂ්කර වැඩක්.

සමහර ප්ලාස්ටික් වල Bisphenol A (BPA) අඩංගු වෙනවා. ඒක දරුවන්ට අහිතකර ලෙස බලපානවා. ඒ නිසා මෙම රසායනිකය අඩංගු නොවන වීදුරු බෝතල්වල හෝ ප්ලාස්ටික් බෝතල්වල අඩංගු ජලය විතරක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.

 

ගර්භණී අවධියේදී කෝපි පානය කිරීම සුදුසුද?

කෝපි නොමැතිව ඔබේ ජීවිතය ගැන ඔබට සිතාගන්න බැරි නම්, ගර්භණී සමයේදී ඔබට කෝපි පානය කරන්න පුළුවන්.

කෙසේ වෙතත් ඔබේ දෛනික කැෆේන් ප්‍රමාණය 200 mg නොඉක්මවිය යුතුයි. 

තේ, කොකෝවා සහ උණුසුම් චොකලට් වලද කැෆේන් ඇති බව මතක තබා ගන්න. ඒ නිසා මෙම බීම වර්ග අධිකව පානය කරන්න යන්න එපා. කෝපි පානය ගැන අපි මීට පෙර පළ කළ මේ ලිපියෙන් වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.