අපි මීට කලින් දවසක ගෙනාවනෙ ලේසියෙන්ම ඩ්‍රොප් ඩෝනට්ස් හදන හැටි. ඔන්න අද අරන් ආවෙ හරිම ඩෝනට්ස් හරි විදියට හදන හැටි. බලන්නකො හදල.
ඩෝනට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- යීස්ට් තේ හැඳි 4
- දිය කරගත් බටර් ටිකක්
- බිත්තර 1
- ලා රස්නෙ වතුර ටිකක්
- කිරි කෝප්ප 1
- සීනි කෝප්ප 1/2
- ලුණු
චොකලට් සෝස් එකට
- ඩාක් චොකලට් කෑලි 4-5ක්
- ෆ්‍රෙශ් මිල්ක් ටිකක්
- පාන්පිටි මේස හැඳි 3කට යීස්ට් ටික මිශ්‍ර කරලා ඒකට ලා රස්නෙ (බබාලට කිරි දෙන රස්නෙන්) වතුර ටික දාලා කලවම් කරලා උකුවට හදාගන්න. ඒක විනාඩි 20ක් වහලා තියන්න.
- ඒ අතරතුර භාජනයකට ඉතිරි පාන්පිටි ටික, සීනි, ලුණු, බිත්තරය හා දියකරගත් බටර් ටික දාලා අනාගෙන පිටි මිශ්‍රණය හදාගන්න.
- ඒකට කලින් හදාගත්ත යීස්ට් මිශ්‍රණය එකතු කරන්න. අතේ ඇලෙන මිශ්‍රණයක් තමයි එන්නෙ. දැන් ටික ටික කිරි එකතු කරගෙන හොඳට අනාගෙන තෙත රෙද්දකින් වහල තියන්න පැයක් වගේ.
- දැන් ලෑල්ලකට පිටි ටිකක් ඉහලා ඩෝ එක තුනී කරගෙන ඩෝනට් කටර් එකකින් හෝ වෙන ඕනම රවුම් කටර් එකකින් කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත්ත ඩෝනට්ස් ටික තෙල් බේරෙන්න තියන්න.
- චොක්ලට් සෝස් එක හදන්න ඩාක් චොක්ලට් ඩබල් බොයිල් කරලා ඒකට කිරි ටිකක් එකතු කරලා උකු මිශ්‍රණයක් හදාගන්න.
- ඩෝනට් එකින් එකට චොක්ලට් සෝස් තවරලා ස්ප්‍රින්කල්ස් ඉහගන්න.