ඔබේ දියණියට ​හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද?

පියාගේ ආදරයේ බලපෑම ජීවිත කාලය පුරාම දරුවෙක්ට පවතිනවා. ඒක මවගේ භූමිකාවට පවා අත්‍යාවශ්‍ය සහයෝගයක්. ගැහැනියකගේ වටිනාකම පිළිබඳ හැඟීම් සාමාන්‍යයෙන් ඕනෙම පුද්ගලයෙක් ඇතුළේ ගොඩ නැඟෙන්නේ පුංචි කාලයේ ඉඳන් තමන්ගේ පියා සමඟ තිබුණු අත්දැකීම් එක්ක කියලයි පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ.

පියවරුන් දියණියන්ගේ ජීවිත වලට දෙන බලපෑම ඒ අතරින් සුවිශේෂයි. දියණියකගේ අධ්‍යාපනය, වෘත්තීය සාර්ථකත්වය සහ මූල්‍යමය යහපැවැත්ම ඇතුළුව සෑම දෙයක්ම පියාගෙනුයි ඉගෙන ගන්නේ. සාමාන්‍යයෙන් තමන්ගේ පියා එක්ක හොඳ බැඳීමක් ලැබුණු දියණියකට සමාජයේ පිරිමින් සමඟ ද යහපත් ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. 

 

ඔබටත් පුළුවන් ඔබේ දියණියට ඒ වගේ විශේෂිත පියෙක් වෙන්න. ඒ සඳහා ඔබට උපකාරී වන උපදෙස් පහක් මෙන්න.

 

සම්බන්ධතාවය හදන්න

පියෙක්ට තමන්ගේ දියණිය සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගන්න සුදුසු වඩාත් ස්වාභාවික ක්‍රමයක් වන්නේ භෞතිකව දක්වන සෙනෙහසයි. ඔබ දරුවන්ව ඉඳහිටක මෘදුව වැළඳ ගැනීමෙන්, උරහිසින් අල්ලා තුරුලු කරගැනීමෙන් හෝ කම්මුල සිප ගැනීමෙන් වගේ සෙනෙහසක් පෙන්වනවා නම් දියණියන් සමඟ හෘදයාංගම බැඳීමක් ඇති කරගන්න පුළුවන්. ඔබේ දරුවන්ට ඔබ තුළ තිබෙන ආදරය කියන්න මෙච්චර කල් වචන සොයා ගන්න බැරුව තිබ්බා නම්, මේ වගේ භෞතික අභින වලින් එය දරුවන්ට පෙන්වීමට ඔබට දෙවන අවස්ථාවක් මේ හරහා තිබෙනවා.

 

ඇය වෙනුවෙන් 

පියෙක් විදිහට ඔබේ දියණියව ඇත්තටම අගය කරන්න. ඇගේ අද්විතීය ගුණාංග හඳුනා ගන්න සහ ඒවා අගය කිරීමට ඇයට උදව් කරන්න. දරුවා එක්ක එකට කාලය ගත කරන්න, කතන්දර සහ අත්දැකීම් බෙදා ගන්න. ඇයගේ ඇත්තම හැඟීම් පෙන්වන්න ඇයට අවස්ථා ලබා දෙන්න. ඒකෙන් ඔබෙයි දරුවාගෙයි සම්බන්ධතාවය ශක්තිමත් වෙයි.

 

සවන් දෙන්න

තාත්තලා වුණාම හොඳ අසන්නෙක් වෙන්න ඕනේ. ඔබේ වැදගත්ම කාර්යය වෙන්න ඕනේ දරුවගේ හැඟීම් වලට ඇහුම්කන් දීමයි. විශේෂයෙන් ඔබේ දුවට ඇහුම්කන් දීමට පුරුදු වෙන්න. සවන් දීම කියන්නේ සෑම පියෙක්ම අත්‍යවශ්‍යයෙන්ම හුරු වෙන්න ඕනේ පුරුද්දක්. ඇහුම්කන් දෙනකොට ඇය කියන හෝ කරන සෑම දෙයක්ම සමඟම ඔබ එකඟ වෙන්න අවශ්‍ය නෑ. හරි වැරදි කියලා දෙන්න. නමුත් ඔබ සවන් දෙනකොට ඔබට දරුවා එක්ක හෘදයාංගම සම්බන්ධතාවයක් ගොඩනැඟෙනවා. ඒ ගැන අවධානය යොමු කළාම ඔබ තුළ ඇහුම්කන් දීමේ පුරුද්ද ඇති කරගන්න උපකාරයක් වෙයි.

 

ඔබේ භාෂාව ගැන සැලකිලිමත් වෙන්න

ගැහැණු දරුවන් සමඟ කතා කරද්දී ඔබ භාවිතා කරන භාෂාව ගැනත් අවධානය යොමු කරන එක වැදගත් වෙනවා. ඔබ පවසන හැම දෙයක්ම ඔබේ දියණිය විසින් ඉතා බැරෑරුම් විදිහට හදවතට ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ අභ්‍යන්තර සිතුවිලි සහ අදහස් පිරිසිදු කරගන්න. ඒ වගේම ඇය භාවිතා කරන සුන්දර වචන ගැනත්, ඇගේ චරිතය තුළ ඇති සාරධර්ම හා ලක්ෂණ ගැනත් ඇයට ප්‍රශංසා කරන්න.

 

උණුසුම ලබා දෙන්න

පියවරුන් තම දියණියන් සමඟ ගනුදෙනු කරද්දී ඔවුන්ගේ මෘදු පැත්ත සොයා ගන්න ඕනේ. ඔවුන්ට ඔබත් සමඟ අදහස් විවෘතව බෙදාහදා ගැනීමට සහ ඔවුන්ගේ හැඟීම් වලට ආරක්ෂිත ස්ථානයක් ඔබේ හදවත තුළ හදලා දෙන්න ඕනේ. ඔවුන්ගේ යම් ගැටලුවකදී නිවැරදි කිරීම් හෝ මඟ පෙන්වීමක් ඔබෙන් ඉල්ලුවම ඔවුන්ට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්න. ඒක හැකි තරම් උණුසුම් හා ආදරණීය ආකාරයකින් කරන්න බලන්න. ඔබේ ශක්තිය ඔබේ දියණියට පුතාට වඩා වෙනස් ආකාර වලින් ලබා දෙන්න.

 

ආදර්ශමත් පිරිමි චරිතයක් වෙන්න

ගැහැනු ළමයෙක් පිරිමින් මොන වගේද කියලා වටහා ගන්න උත්සාහ කරනකොට ඇය නිරීක්ෂණය කරන පළමු තැනැත්තා ඇගේ පියා යි. ස්ථාවර, විශ්වාසදායක, හැඟීම් වලට සංවේදී, පොරොන්දු ඉටු කරන සහ අවට සිටින අයගේ ජීවිත සඳහා ඔහුගේ ශක්තීන් ආයෝජනය කරන පියෙක් කියන්නේ ඉතා වැදගත් උදාහරණයක්. ඇගේ පියා වශයෙන් ඔබ නිසි, ගෞරවනීය පිරිමි චරිතයක් විදිහට ඇය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන්න අවශ්‍යයි. ගැහැණු දරුවෙකුගේ ජීවිතය පිළිබඳ විශ්වාසය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේ ඇය තම පියා සමඟ ඇති සම්බන්ධතාවයයි. සමාජයට අනාගතයේදී යහපත් කාන්තාවක් බිහි කිරීම වෙනුවෙන් කැපී පෙනෙන වෙනසක් කිරීමට ඔබ පුළුවන්.