රූපවාහිනිය හෝ වෙනත් ඩිජිටල් තිරයක් භාවිතා නොකර දරුවන් සන්සුන් කිරීමට ක්‍රම 5 ක්

අන් අය ඉදිරියේ ඔයාව අපහසුතාවයට පත් වන විදිහට ළමයින් හැසිරීම සාමාන්‍ය දෙයක්. කෑගැසීම, අඬා වැටීම, බිම පෙරළීම වැනි ක්‍රියාකාරකම් පාලනය කිරීම​ට අපහසුයි. ඔයා අලුත් මවක් වු​ණත්, පළපුරුදු මවක් වුණත් බොහෝ වේලාව​ට මෙවැනි තත්ත්වයක් සමඟ කටයුතු කිරීමට සිදුවන විට දරුවාගේ ප්‍රියතම කාටූන් එකක් දාලා දීලා සන්සුන් කරන්නයි පුරුදු වෙලා ඉන්​නේ. නමුත් මෙය සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් වෙන්නේ නැහැ. වැඩිපුර රුපවාහිනී තිරය සමග කාලය ගත කිරීමෙන් කුඩා දරුවාගේ ඇස්වලට හානි සිදු වි​ය හැකි බව සොයා ගෙන තියෙනවා. මෙම තත්ත්වය උපායශීලීව විසඳීම​ට අවශ්‍ය වන අතර කුඩා දරුවා සන්සුන් කිරීම සඳහා වෙනත් විකල්ප සොයා බැලිය යුතුයි. තිරයක් භාවිතා නොකර දරුවන් පාලනය කිරීම​ට පහසු ක්‍රම කිහිපයක් මෙන්න.

 

සන්සුන් වන්න

පළමු දෙය විය යුත්තේ සන්සුන් වීමයි. දරුවන්ගේ ක්‍රියාවන්ට ඔයා වැඩි වැඩියෙන් ප්‍රතිචාර දැක්වීමට යාමෙන් ඔවුන් වඩ වඩාත් ආක්‍රමණශීලී වනු ඇත. ඔයා ප්‍රතිචාර දැක්වීම නවතා ඔවුන්ට ආවේගයෙන් හැසිරීම​ට මද වෙලාවක් දුන්නොත්, ඔවුන් ටික වේලාවකින් සන්සුන් වී ඔයාට ඇහුම්කන් දීමට පටන් ගන්න ඉඩ තිය​නවා.

 

ඔවුන් සමඟ සෙල්ලම් කරන්න

දරුවන් සමඟ සෙල්ලමක් කිරීම ඔවුන්ගේ මුරණ්ඩු, ආවේගශීලී හැසිරීම් සමඟ කටයුතු කිරීමට හොඳම ක්‍රමයක්. ළමයින් ක්‍රීඩාවට අකමැති වෙන්නේ නැහැ, බෝඩ් ගේම්ස්, ක්ලේ නිර්මාණ වැනි ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමෙන් ඔවුන්​ගේ නිර්මාණශීලීත්වය අවදි වෙනවා වගේම දරුවන් එම ක්‍රියාකාරකම් සමග කාර්යබහුල වෙලා ඔවුන්ගේ ආවේගයන් සංසිඳී යනවා.

 

අවශ්‍යතා විමසන්න

දරුවන්ට හොඳින් සවන් දී, මේ මොහොතේ ඔවුන්ට උපකාර කළ හැකි විකල්ප දෙකක් ගැන ඔවුන්ගෙන් විමසන්න. දරුවා සමහරවිට කෝපයෙන් හැසිරෙන්නේ ඔබ යමකට එපා කියූ නිසා (උදා- වීඩියෝ ක්‍රීඩා කරන්න එපා) වෙන්න පුළුවන්. නමුත් ඒ දෙය නැවත ඉල්ලන්නට ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට ඔබටත් එකඟ විය හැකි වෙනත් විකල්පයන් (උදා- බයිසිකල් පැදීම) දරුවන් ඉල්ලා සිටීනම් ඒ ගැ​න විමසා බලා ඒවාට ඉඩ දෙන්න.

 

ගීතයක් ගායනා කරන්න

සමහර ළමයින් සංගීතයට හොඳින් ප්‍රතිචාර දක්වනවා. සංගීතය මගින් ඔවුන්ගේ මනස සන්සුන් කිරීමට උපකාරී වෙනවා. ඔවුන් කෝපයෙන් හැසිරෙ​න විට පවා ඔවුන්ගේ ප්‍රියතම ගීතය වාදනය කරන්න. ටික වේලාවකට පසු ඔවුන් සන්සුන් වන බවත් ඔවුන් අඬමින් ​සහ තරහින් හැසිරුණු කාරණය ඔවුන්ට​ම අමතක වන බවත් ඔයාට දැක ගන්න පුළුවන්. 

 

ඔවුන්ව වැළඳගන්න

ඔයාගේ ස්පර්​ෂය මගින් ළමයින් සන්සුන් කිරීමට පුළුවන්. අතහැර දමා ඇති බවක් දැනෙන විට වැළඳගැනීම් හා හුරතල් කිරීම හොඳ විසඳුමක්. එය දරුවන් සන්සුන් කිරීමට උපකාරී වන අතර ඔවුන්ගේ මානසික පීඩාව අවම කරනු ඇත. එය දෙමව්පියන්ට ප්‍රයෝජනවත් බව ඔප්පු වී ඇත.