ගර්භණී සමයේදී ඇඳෙන් නැගිටින්නේ කොහොමද ?

ඔබත් මේ වෙද්දී ගැබ්ගෙන ඉන්න මවක් නම් මුලින්ම අපෙන් ඔබට සුභ පැතුම් ! එය කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම අවධීන්ගෙන් එකක් වන අතර ඔබගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ගැන සමහරවිට ඔබ සහ ඔබේ සහකරු ද කලබල වෙන අවස්ථා උදා වෙලා ඇති. ඔබේ කුඩා දරුවා කොයි වගේ වෙයිද යන්න ගැන ඔබ දෙදෙනා කුතුහලයෙන් සිටිනවා ඇති. එහෙම නේද? ඇත්තටම ගර්භණීභාවය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ හොඳම අත්දැකීමක් බවට සැකයක් නෑ. නමුත් එය ඔබට විවිධ ශරීර වේදනාවන්, මාංශ පේශි කැක්කුම්, සන්ධි වේදනාවන් සහ තවත් අතුරු ආබාධ කිහිපයක්ම ගෙන එන තත්ත්වයක් ද වෙනවා.

ඔබේ ගර්භණීභාවය වර්ධනය වෙනකොට ඔබේ උදරය ද වර්ධනය වෙන නිසා ඔබේ සමබරතාවය රැක ගැනීමටත් තරමක් අපහසු වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව, ඔබේ දෛනික ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමේදී පවා ඔබට දුෂ්කරතා අත්විඳින්න සිද්ධ වෙන්න වෙන අතර ඔබේ මාංශ පේශි උළුක්කු වීම හෝ පොඩි වැඩකදී උනත් කෙණ්ඩ පෙරලීම සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ ගර්භණීභාවය අවසාන ත්‍රෛමාසිකයට ළඟා වෙද්දී ඔබට කරදරයක් නොවන ආකාරයෙන් ආරක්ෂිතව ඇඳෙන් නැගිටීමේ දුෂ්කරතාවයටද ඔබ මුහුණ දෙන්න වෙනවා. 

නමුත් ඒවා ගැන බොහෝ දුර සිතන්න හෝ ඒවා ගැන කරදර වීමට අවශ්‍ය නෑ. මොකද එය සාමාන්‍ය දෙයක් වන අතර ගර්භණී අවධියේදී සියලුම ගර්භණී කාන්තාවන්ට ඇඳෙන් නැගිටීමට අපහසුයි. අද අපි ඔබට ගෙන එන්නේ ඇඳ මත වැතිරීමට සහ ඇඳෙන් නැගිටීමට සූදානම් වීමට ඔබට උපකාරී වන උපදෙස් කිහිපයක් ගැනයි. ඉදිරි දිනවලදී ඔබට ඒවා අවශ්‍ය වෙන නිසා මෙම උපදෙස් ප්‍රවේශමෙන් කියවන්න.

 

ගර්භණීව සිටියදී ඇඳෙන් ඉවත් වීමට පියවර

ඔබ ඇඳකින් නැගිටින්නේ කොහොමද කියලා ඉගෙන ගැනීමට පෙර, ඔබ නිදා ගැනීමට පෙර ඇඳට යන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඔබ නින්දට යාමට කලින් පවතින කාලගුණය කොයි තරම් සීතලද හෝ උණුසුම්ද යන්න මත පදනම් වෙලා ඔබව ප්‍රමාණවත් තරම් උණුසුම් හෝ සිසිල්ව තබා ගන්න පුළුවන් ලිහිල්, සුව පහසු රාත්‍රී ඇඳුම් තෝරා ගන්න. මුලින්ම ඇඳ අද්දර වාඩි වෙලා සෙමෙන් සෙමෙන් ඔබව නිදාගන්නා ස්ථානයට පහත් කර ගන්න. ඔබ ගර්භණීව සිටිනකොට විශේෂයෙන් ගැබ්ගැනීමේ අවසාන කාලයේදී ඔබ ඔබේ වම් පැත්තට හැරිලා නිදා ගැනීම වඩාත් සුදුසුයි.

 

ගර්භණී සමයේදී පහසුවෙන් ඇඳෙන් නැගිටින්නේ කොහොමද යන්න පිළිබඳ උපදෙස් කිහිපයක් මෙන්න.

 

1. මුලින්ම පැත්තට පෙරලෙන්න

ඔබ උඩුබැලිව වැතිර සිටින්නේ නම් සෙමින් ඔබට පහසු පැත්තකට පෙරළන්න. ඔබේ දණහිස් ඔබේ බඩට සමීප කරලා දණහිස් ඇඳ කෙළවරට ගෙන යන්න. සහාය සඳහා ඔබේ දෑත් භාවිතා කරමින්, වාඩිවෙන ඉරියව්වට ඔබවම තල්ලු කර ගන්න. දැන් ඔබේ කකුල් දෙකම බිමට තබන්න. නැගිටීම පහසු වීමට ඔබේ කකුල් දෙක අතර කොට්ටයක් භාවිතා කරන්නත් ඔබට පුළුවන්.

 

2. ආශ්වාස කරන්න සහ ප්‍රාශ්වාස කරන්න

ගැබ් ගැනීම නිසා මේ කාලයේදී ඔබට විටින් විට කරකැවිල්ල ඇති කරවන්න පුළුවන්. විශේෂයෙන් ඔබ නැගිටීමට උත්සාහ කරනකොට. ඒත් ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම කිරීමට පුරුදු වුණොත් ඔබට කරකැවිල්ලෙන් සහනයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම නිදාගෙන නැගිටීමෙන් පස්සේ ඔබට දැනෙන පිටුපස වේදනාවන් ද සමනය වෙයි.

 

3. උදව් ඉල්ලන්න

ගර්භණී සමයේ අවසාන කාලය තුළ ඔබට තනිවම ඇඳෙන් නැගිටීමට අපහසු නම් ඔබ අනිවාර්‍යෙන්ම උදව් ඉල්ලන්න ඕනේ.

ගර්භණී සමයේදී ඇඳෙන් නැගිටීම දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. මොකද ඔබේ වැඩෙන උදරය නිසා ඔබේ ගුරුත්ව කේන්ද්‍රය මාරු වන අතර ඔබට සමබරතාවයේ අපහසුතාවයන් ද දැනෙනනවා. ඉක්මන් නොවන්න. ඔබේ කාලය ගත කරන්න, ඇඳෙන් සෙමෙන් හා ආරක්ෂිතව නැගිටින්න.