දරුවෙක් ලැබුණට පස්සෙ දැනෙන තෙහෙට්ටුව සමඟ කටයුතු කරන්නේ කොහොමද ?

හැම අලුත් මවකටම හරි හැටි නින්දක් නොලැබීම කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් අධික තෙහෙට්ටුව නිසා ඔබේ තීරණ අඩපණ වෙනව වගේම ඔබේ දරුවා රැකබලා ගැනීම වඩාත් අපහසු හෝ භයානක අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ නිසා මුල සිටම ඔබ ඔබේ තෙහෙට්ටුව වැළැක්වීමට උත්සාහ කිරීම වැදගත්. දරුවෙක් ලැබීමෙන් පස්සේ තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට සහ ඔබේ ශක්තිය වැඩි කිරීමට මෙම උපදෙස් උත්සාහ කරලා බලන්න.

 

පශ්චාත් ප්‍රසව තෙහෙට්ටුවට එරෙහිව සටන් කරන්නේ කොහොමද?

ඔබට තෙහෙට්ටුවක් දැනෙනකොට ඔබට දුර්වලකම, වෙහෙස, නිදිමත හෝ කරකැවිල්ල දැනෙන්නට පුළුවන්. සාර්ථක මවුකිරි දීමකින් පසුවද වෙහෙසට මඟ පෑදෙන්න පුළුවන්. එතකොට මව්කිරි දීම අතහැර දැමීමට ඔබට හැඟෙන්න පුළුවන්. ඒත් ඒකෙන් වෙන්නේ අඩු මව්කිරි සැපයුමක් සහ mastitis (පියයුරු ආසාදනය) ඇති වීමට හේතු වෙන එකයි. දරු ප්‍රසූතියෙන් පස්සේ සාමාන්‍ය හෝ අධික තෙහෙට්ටුවක් දැනෙනවා නම් ඒ සමඟ සටන් කිරීම සඳහා මෙම උපදෙස් සලකා බලන්න.

 

විවේකය සහ සුවපහසුව සොයන්න

ළදරුවා නිදාගන්නා විට නින්දට යන ලෙස ඔබට ඕනේ තරම් අය කියලා ඇති. ඒක ඇත්තක් නිසා මුලින්ම දෙන්න පුළුවන් පොදු උපදෙස ඒකයි. ඔබේ දරුවා අලුත උපන් කාලයේ ඔබ තෙහෙට්ටුවෙන් සිටිනකොට, පුළුවන් තරම් විවේක ගන්න. ඔබේ දරුවා නින්දට යන වෙලාවට ඔබත් නිදාගන්න. ‍රෑට පුළුවන් තරම් කලින් නින්දට යාමට උත්සාහ කරන්න.

ඔබේ දරුවා පෝෂණය කිරීමට වෙලාව ආවම ඔබට හැකි තරම් සුවපහසුවෙන් ඉන්න. ඔබේ දෙපා උඩකින් තබා ගෙන වාඩි වී සිටින්න, නැත්නම් ඇඳේ පැත්තට වැතිරිලා මව්කිරි දෙන්න හෝ හාන්සි වෙලා කිරි දීමේ ඉරියව්වෙන් ඉන්න. ඔබේ දෑත් සඳහා ආධාරක ලෙස කොට්ට හෝ කුෂන් භාවිතා කරන්න. එතකොට ඔබට දරුවා ඔසවාගෙන ඉන්න අමතර ශක්තියක් වැය කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ.

මතක තබා ගන්න, මෙය තාවකාලිකයි. දරුවා අලුත උපන් කාලයේ හට ගන්න තෙහෙට්ටුව වැඩි කල් පවතින්නේ නෑ. නමුත් එය ඔබට දැනෙන්නෙ ලොකු කාලයක් වගෙයි. ඔබේ දරුවා වයසින් වැඩෙද්දී වැඩි කාලයක් නිදා ගැනීමට පටන් ගන්නකොට ඔබට වැඩි විවේකයක් ලබා ගන්න පුළුවන්.

 

උදව් ලබා ගන්න

ගෙදර වැඩ, රෙදි සේදීම, ඉවුම් පිහුම් සහ වැඩිහිටි දරුවන් රැකබලා ගැනීම සඳහා ඔබේ සහකරු, මිතුරන් සහ පවුලේ අයගේ සහාය ලබා ගන්න. “ඔයාට යමක් අවශ්‍ය නම් මට දන්වන්න” යනුවෙන් යමෙක් කිව්වම ඔවුන්ගෙන් ඒ උදව්ව ගන්න. විශේෂ උදව් අවශ්‍ය වැඩ එයාලට කියලා කරගන්න. ඔයාගේ ගෙදර හදපු ආහාර වේලක් මට ගෙනත් දෙන්න පුළුවන් ද? අල්මාරියෙන් තවත් ඩයපර් අරන් දෙන්න පුළුවන්ද? රෙදි සෝදන යන්ත්‍රය පණ ගන්වලා රෙදි ටික සෝදලා දෙන්න පුළුවන්ද? නැත්නම් ඔබ නාන අතරතුර දරුවාව බලාගන්න පුළුවන්ද ? වගේ උදව් ඔවුන්ගෙන් ඉල්ලන්න. 

ඔබට ඒ දේවල් කරන්න පුළුවන් නම්, ගෙදර දොරේ වැඩ සඳහා කෙනෙක් බඳවා ගැනීම ගැන සලකා බලන්න. ඔබ නිවසේ අලුත උපන් බිළිඳෙක් සිටින බව කල්තියාම පැහැදිලි කරන්න. නිවාස පිරිසිදු කරන්නන් පැමිණීමට පෙර ඔබ නිවස අස් කරන්න ඕනේ කියලා සිතන්න ඕනේ නෑ. ඔබ ඔවුන්ට ගෙවන්නේ ඒකටයි.

 

ගෙදර වැඩ පසුවට කල් දාන්න

ඔබට කිසිදු උදව්වක් නොමැති නම්, ඔබ වෙහෙසට පත්ව සිටිනවා නම් ගෙදර දොරේ වැඩ ටික කරන්න පස්සේ වේලාවක යන්න. ඔබට ශක්තියක් දැනෙන දවසක ඒවා සම්පූර්ණ කරගන්න.

 

අමුත්තන් සීමා කරන්න

සෑම කෙනෙකුම දරුවා බැලීමට පැමිණීමට කැමතියි, නමුත් ඔබ අලුත උපන් බිළිඳකු සමඟ වෙහෙසට පත්ව සිටින විට, එම විනෝදාස්වාදයන් සඳහා ඔබට ශක්තියක් නොමැති වෙන්න පුළුවන්. ඒත් ඔබ නිදා සිටියදී උදව් කිරීමට හෝ දරුවාව බලාගන්න පුළුවන් මිතුරන් සහ පවුලේ අය එන එක නම් වාසියක්. නමුත් අනෙක් සියල්ලට අමතරව ඔබට ආහාර පිසීමට වෙන හා සැලකීමට වෙන අමුත්තන්ට නම් දැන්ම එන්න එපා යැයි කියන්න.

 

පෝෂණයට ප්‍රමුඛත්වය දෙන්න

නිසි පෝෂණය හා සජලනය ඔබට දැන් අත්‍යවශ්‍යයි. ඒ ගැන වෛද්‍ය උපදෙස් අරගන්න ඕනේ වගේම පෝෂණ අතිරේකයන් ද අවශ්‍ය වෙයි.

ඔබේ ශක්ති මට්ටම ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කරන්න. ඔබ මව්කිරි දෙන විට ඔබට අමතර කැලරි අවශ්‍ය වෙනවා. ඒ නිසා දවස පුරා ඉහළ ප්‍රෝටීන් සහිත කෑම වර්ග කිහිපයක් කෑමට එක් කරගන්න.

 

සජලීකරණයෙන් සිටීම ද වැදගත්

ප්‍රමාණවත් පාන වර්ග ලබාගෙන සජලීව සිටින්න, විශේෂයෙන් ඔබ මව්කිරි දෙනවා නම්. විජලනය වෙන්න පුළුවන් කැෆේන් අඩංගු පාන සීමා කිරීමට උත්සාහ කරන්න.

දරුවා ලැබුණට පස්සෙ, ඔබ ඔබේ පැරණි තත්ත්වයට නැවත පැමිණෙන තෙක් ඔබේ ගර්භණී විටමින් ලබා ගන්නත් ඕනේ. ඔබ මව්කිරි දෙන විට මෙය විශේෂයෙන් අවශ්‍ය වෙනවා.  

 

ඔබේ ශරීරය චලනය කරන්න

සැහැල්ලු ව්‍යායාමයක් ආරම්භ කිරීම ආරක්ෂිතයි කියලා ඔබේ වෛද්‍යවරයා පැවසුවොත්, කෙටි ඇවිදීමක් ඔබට තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙයි. ව්‍යායාම මගින් ඔබේ ශක්ති මට්ටම සහ මනෝභාවය ඉහළ නංවන්න පුළුවන්. නැවුම් වාතය සහිත පරිසරයක වෙනත් ඇවිදින අය සමඟ කෙටි දුරක් ඇවිදීමෙන් ඔබට සතුටක් දැනෙයි. නමුත් නියමිත දුර ඉක්මවා නොයන්න.

 

ඔබේ වෛද්‍යවරයා අමතන්න ඕනේ කවදාද?

තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීම ඔබට අපහසු නම් සහ හොඳ සජලනයක්, පෝෂණයක් සහ විවේකයක් තිබියදීත් ඔබට ශක්තියක් නොමැති නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීමට කාලයයි. ඔබේ රෝග ලක්ෂණ වලින් වෙනත් අසනීපයක් පිළිබිඹු කරනවාද කියලා තීරණය කිරීමට වෛද්‍යවරයාට ඔබව පරීක්ෂා කරන්න දෙන්න. 

 

තෙහෙට්ටුවට වෙනත් හේතු

  • රක්තහීනතාවය
  • අධික රුධිර වහනය
  • තයිරොයිඩ් ග්‍රන්ථිය (ක්‍රියාකාරී නොවන තයිරොයිඩ් ග්‍රන්ථිය)
  • පශ්චාත් ප්‍රසව අවපාතය 
  • බෙහෙත් වට්ටෝරු භාවිතය

 

පශ්චාත් ප්‍රසව කාලය තුළ වෙහෙස දැනීම ස්වාභාවිකයි. දරු ප්‍රසූතියෙන් සුවවීම, අලුත උපන් බිළිඳා රැකබලා ගැනීම, මව්කිරි නිෂ්පාදනය කිරීමට සිදු වීම සහ දිවා රෑ පුරා සෑම පැය 2 ත් 3 ත් අතර කාලයක් මව්කිරි දීම සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. නිවස, වෙනත් දරුවන් රැකබලා ගැනීම සහ රැකියාවේ වගකීම් එකතු වුණාම ඒක වැඩිපුර දැනෙනවා. එතකොට ඔබට දුර්වල බවක්, අධික වෙහෙසක් දැනෙනවා.

 

වාසනාවකට මෙන්, තෙහෙට්ටුව සමඟ කටයුතු කිරීමට සහ ඔබේ ශක්තිය වැඩි කිරීමට අද කාලයේ ඕනේ තරම් ක්‍රම තිබෙනවා. ඔබට අවශ්‍ය උපකාර හා වේලාව ඉල්ලන්න. ඔබ ඔබම ගැන සැලකිලිමත් වෙමින් නිවැරදිව ආහාර ගැනීමට සහ ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමට ඔබ ඔබට අවසර දෙන විට, ඔබේ අලුත උපන් දරුවා සහ ඔබේ පවුල රැකබලා ගැනීමට ඔබට පුළුවන් වෙනවා.