දරුවන්ගේ සිහින සැබෑ කරගන්න දෙමවුපියන් උදව් කරන්න ඕනේ මෙහෙමයි

ඔබේ දරුවාට තියෙන්නේ වෙනස් විදිහේ වෘත්තියක් කරන්න හීනයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් දරුවාව අධෛර්යමත් කරන්න එපා. ඔබේ සහයෝගය සහ දිරිමත් කිරීම දරුවාට ලැබුණොත් ඔහු/ඇය තමන්ගේ වෘත්තියේ ඉදිරියටම යාවි.

ඉතින් අපි කොහොමද දරුවාට එවැනි වෙනස් මාර්ගයක යන්න දිරිමත් කරන්නේ? ඒ ගැන මේ ලිපියෙන් අපි කරුණු කියා දෙනවා.

ඔබේ දරුවාගේ දක්ෂතා හඳුනා ගන්න

ආරම්භයේදීම ඔබේ දරුවාගේ දක්ෂතා හඳුනා ගැනීමට උත්සාහ කරන්න. සහජ දක්ෂතාවයක් අවශ්‍ය වන සමහර ක්ෂේත්‍ර තිබෙනවා. තවත් සමහර ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පුහුණුවක් හා සුදුසුකම් ලැබීම පමණක් ප්‍රමාණවත්. ඔබේ දරුවා යම් ක්‍රීඩාව​කට සහජ දක්ෂතාවයක් තිබෙනවා යැයි ඔබට හැඟුනොත්, ඒ අංශයෙන් අනාගතයේදී දක්ෂ ක්‍රීඩා තරුවක් වෙන්න​ට පුංචි කාලයේ ඉඳන්ම බැරෑරුම් ලෙස ඒ ක්‍රීඩා​ව ලුහුබඳින්නට ඔබේ දරුවාව දිරිමත් කරන්න.

 

දරුවාව අධෛර්යමත් කරන්න එපා!

දරුවා තමන් කැමති දේ වෘත්තියක් ලෙස කරගෙන යාමට කැමැත්තක් දක්වනවා නම්, එයාට සමච්චල් කරමින්, එම ක්ෂේත්‍රය සඳහා කොච්චර ලොකු තරඟයක් තිබෙනවා ද සහ කොච්චර පොඩි ප්‍රමාණයක් ද ඒ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කියන කාරණා ගැන කියා දරුවා අධෛර්යමත් කරන්න එපා. ඒ වෙනුවට එයාට අවශ්‍ය සියලු දිරිගැන්වීම් ලබා දෙන්න. ඒ වගේම ඔබ දරුවා වෙනුවෙන් එයාගේ සෑම පියවරකදීම ළඟ ඉන්න බවට වග බලා ගන්න. කාලසටහනක් සැලසුම් කිරීමට දරුවාට උදව් කරන්න. ඔබට දෙන්න පුළුවන් හොඳම පුහුණුව දරුවාට ලබා දෙන්න.

 

දරුවාගේ ප්‍රමුඛතා සමබ​ර කර ගැනීම​ටට දරුවාට උදව් කරන්න

දෙමව්පියන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ ඉගෙනුම් වැඩ කඩාකප්පල් වෙනවා කියලායි. අධ්‍යාපන වැඩ කටයුතුවලදී වගේම විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඕනෑ තරම් ලෝකයේ බිහි වෙලා ඉන්නවා. ඒ නිසා ඒ දෙපැත්තම සමබර කරගෙන ජීවත් වෙන්න දරුවාට උදව් කරන්න. දරුවා රූපවාහිනී නරඹන්න, යහළුවන් සමග නිකරුණේ කාලය ගත කරන්න යොදාගන්නා කාලයෙන් කොටසක් වෙන්කර විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්න (යහළු මිතුරු ආශ්‍රය සම්පූර්ණයෙන් නවත්වන්න නෙමෙයි, යම් කාලයක් අඩු කරගන්න). එතකොට ඉගෙනීම් වැඩ වලට යොදවන කාලය විෂය බාහිර ක්‍රියාකාරකම්වලට වැයවෙලා දරුවාගේ ඉගෙනීම් වැඩ අඩාල වෙන එකක් නැහැ.