COVID-19 කාලය තුළ තනිකම සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔබේ දරුවන්ට උපකාර කරන්නේ කොහොමද?

2019 අග භාගය වන තෙක්ම බොහෝ ළමයින්ට තමන්ගේ මිතුරන්, ගුරුවරුන්, පවුලේ අය සහ අසල්වාසීන් සමඟ නිරන්තරයෙන්ම කටයුතු කරන්න පුළුවන් වුණා. ඒත් හදිසියේම ලෝකයම කොරෝනා වෛරස් වසංගතයට ගොදුරු වුණා.

COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලොව පුරා සෑම රටකටම තාවකාලිකව පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල් කාලයෙන් පසු වැඩසටහන්, කඳවුරු සහ ක්‍රීඩා පිටි වසා දමන්න සිද්ධ වුණා. ඒ නිසා දරුවන්ට නිවසේ රැඳී සිටීමට, සමාජ දුරස්ථභාවය පුහුණු කිරීමට සිද්ධ වුණා. මිතුරන් හා පවුලේ අය සමඟ පෞද්ගලිකව කාලය ගත කිරීමට දරුවන්ට ඇති හැකියාව ද ඒ හරහා සීමා වුණා. ඒත් ළමයින්ට සහ නව යොවුන් වියේ දරුවන්ට මෙම වෙනස්කම් නිසා අධික තනිකම පිළිබඳ හැඟීම් ඇති වෙනවා කියලා ගොඩක් දෙමවුපියන් දන්නේ නෑ. ඒ නිසා ඒ ගැන අද අපි ඔබට කියන්නම්.

 

ළමයින්ට තනිකමේ බලපෑම

වසංගතය නිසා ඇති වුණු තනිකම පිළිබඳ ප්‍රශ්න විශේෂයෙන් ළමයින්ට දැඩිව දැනෙන්න පටන් අරන් තියනවා. වැඩිහිටියන් හා සසඳන විට ළමයින්ට ඔවුන්ගේ හැඟීම් සන්නිවේදනය කිරීමට අපහසුයි. මෙම තත්ත්වය තුළ ළමයින්ට මිතුරන් හමු වෙන්න යාම වගේ හුරුපුරුදු දේවල් කරන්නත් බෑ.

දරුවන්ගේ සම වයසේ මිතුරන් සමඟ කාලය ගත කිරීම වැදගත් වර්ධනයක් හා සමාජ සංවර්ධනයක් වුණත් මේ සමාජ දුරස්ථ පියවරයන් නිසා ඒ ක්‍රියාකාරකම් දරුවන්ගෙන් ඈත් වෙලා. සාමාන්‍යයෙන් අනෙක් දරුවන් සමඟ ඇති මිත්‍රත්වය ඔබේ දරුවන්ගේ ජීවිතයට තීරණාත්මක සහයෝගයක් ලබා දෙන අතර, අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් ගොඩනඟා ගැනීමට සහ පුද්ගලික අනන්‍යතා වර්ධනය කිරීමට ද ඔවුන්ට උපකාර වෙන්නේ මිත්‍රත්වයයි.

 

ළමා හා නව යොවුන් වියේ තනිකම

මෙය දරුවන්ගේ කණස්සල්ලට කරුණක් වෙනවා වගේම ඒකෙන් දරුවන්ට දිගු කාලීන බලපෑම් ඇති කරන්න පුළුවන්. ළමුන් තුළ ඇති වෙන මේ තනිකම නිසා විශේෂයෙන් දීර්ඝ කාලයක් පුරා හට ගන්න මානසික සෞඛ්‍ය තත්ත්වයන් වන මානසික අවපීඩනය හා කාංසාව වැනි දෑ දරුවන් සමඟ ඉදිරි වසරවලදී සම්බන්ධ වෙන්න පුළුවන් බව පර්යේෂණවලින් පෙනී ගිහින් තිබෙනවා. COVID-19 වසංගතය නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්න ලොකු අවස්ථාවක් තිබෙනවා.

 

තනිකම සමඟ සාර්ථකව කටයුතු කිරීමට දරුවන්ට උපකාර කිරීම

ළමයින් සඳහා සමාජ දුරස් වීම තරම් කළකිරවන, කම්මැලි සහ වේදනාකාරී අත්දැකීමක් තවත් නෑ. ඒත් COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමට අඛණ්ඩව පියවර ගැනීමට අපිට ඊට වඩා වැදගත් වෙලා තියනවා. ඒ නිසා ඔබේ දරුවන් සහ ඔබේ නිවසින් පිටත සිටින පුද්ගලයින් අතර ඉඩක් තබා ගැනීමට මුලින්ම අවධානය දෙන්න. ඊට පස්සේ සමාජ දුරස්ථභාවය නිසා ඇති වන තනිකම සමඟ කටයුතු කිරීමට ඔබේ දරුවාට උපකාර කරන්න ඕනේ මෙහෙමයි.

 

මිතුරන් සමඟ කාලය ගත කිරීම දිරිමත් කරන්න

ඔබේ දරුවා මිතුරන්ගේ සහයෝගය දැනීම සඳහා ගුණාත්මක කාලයක් ගත කරන්න ඕනේ වෙනවා. ඇත්ත වශයෙන්ම, ඔබේ දරුවාට වෙනදාට වඩා නිදහස් කාලයක් දැන් තිබෙන්නේ. COVID-19 වසංගතය අතරතුර ඔබේ දරුවාට අන් අය සමඟ කතා කිරීමට හෝ සෙල්ලම් කිරීමට ඇති ආරක්ෂිතම ක්‍රමය වන්නේ වීඩියෝ ඇමතුම් හෝ දුරකථන ඇමතුම් තමයි. වැඩිහිටි දරුවන්ට මිතුරන් සමඟ කෙටි පණිවිඩ යැවීම හෝ ඔන්ලයින් ක්‍රීඩා කිරීම ප්‍රිය කරන්න පුළුවන්. මේ සඳහා ඔබේ දරුවාගේ පෙර පැවති දෛනික screen time පිළිබඳ නීති රීති තාවකාලිකව ලිහිල් කිරීම අවශ්‍ය වෙනවා. ඔබේ දරුවාගේ ක්‍රීඩා ගැන අවධානයෙන් සිටීම අවශ්‍ය විටෙක දෙමාපියන්ගේ පාලනයන් භාවිතා කිරීම සහ ඔබේ දරුවාගේ ඔන්ලයින් ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම මගින් ගුණාත්මක තිර කාලයක් (screen time) දිගටම සහතික කිරීමට වග බලා ගන්න. තිර භාවිතා නොකර සම්බන්ධතාවය පවත්වන්න ඕනේ නම් ළමයින් එකිනෙකාට ලිපි ලියන්න හෝ චිත්‍ර මඟින් සන්නිවේදනය කරන්නත් පුළුවන්.

 

නිවසේදී අමතර ආරක්ෂා සහතිකයක් ලබා දෙන්න

පීඩාකාරී කාලවලදී දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් හෝ වෙනත් රැකබලා ගන්නන් සමඟ සුරක්ෂිත සහ සැනසිලිදායක සම්බන්ධතා පවත්වන එක අවශ්‍ය වෙනවා. ඔබේ කුඩා දරුවන්ට උපකාර කිරීම සඳහා තවත් වැළඳගැනීම් හා හුරතල් කිරීම්ද අවශ්‍ය වෙනවා. ඔබේ දරුවා වෙනුවෙන් ඒ දේවල් කරන්න. ඔවුන්ට අවශ්‍ය මොන වගේ ආදරයක් ද කියලා අහන්න. මෙය සිදු කිරීම සඳහා සෑම දිනකම හෝ සතියකට නියමිත වේලාවක් දරුවන් එක්ක ගත කරන්න ඔබට ප්‍රයෝජනවත් වෙයි. පුළුවන් නම් දරුවන් එක්ක එකට වැඩි කාලයක් ගත කිරීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සහ පවුලේ සැවොම භුක්ති විඳින ක්‍රියාකාරකම් සමඟ ඉදිරියට යන්න.

 

පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධව සිටින්න

ඔබේ දරුවාට දීර්ඝ වෙලාවක් පවුලේ අය හා ඔහුට හෝ ඇයට වැදගත් වන වෙනත් පුද්ගලයින් සමඟ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. ඒ සඳහා ඇමතුම් හෝ වීඩියෝ කතාබස් කිරීම් සකසන්න. ඔබේ දරුවාට දුරකථනයෙන් හෝ වීඩියෝ කතාබහකින් කතාවක් කියවීමට ඔබේ ඥාතියෙකුගෙන් ඉල්ලා සිටින්නත් පුළුවන්. නැත්නම් වීඩියෝ චැට් සාදයකට පවුලේ සාමාජිකයින්ට හෝ මිතුරන්ට ආරාධනා කරන්න.

 

හැඟීම් ගැන කතා කරන්න

මේ කාලයේදී උපන්දින සාද වගේ වැදගත් සමාජ අවස්ථා මඟ හැරීම ගැන ඔබේ දරුවා දුක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා ඒ පාඩුව ගැන කිව්වම ඒවා පිළිගන්න, ඔහුගේ හෝ ඇයගේ හැඟීම් ගැන විමසන්න සහ ඔබ ඒවා තේරුම් ගත් බව පෙන්වමින් දරුවාගේ හැඟීම් වලට වලංගු බවක් දෙන්න. ඔබේ දරුවා සිතන හෝ එයාට හැඟෙන ආකාරය ගැන උපකල්පන කරනවාට වඩා එයාට ඔබ එක්ක සාකච්ඡා කරන්න ඉඩ දෙන්න. 

තනිකම සමඟ කටයුතු කරද්දී වයසට ගැළපෙන පොතක් ඔබේ දරුවාට ලබා දීම ගැනද ඔබ සලකා බලන්න පුළුවන්. ඒකෙන් ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ හැඟීම් විස්තර කිරීමට වචන ලබා දෙයි. නැත්නම් ඔබේ දරුවාට ඇතැම් පුද්ගලයින්, ස්ථාන හෝ සිදුවීම් පිළිබඳව ඔහු හෝ ඇය මඟ හැරී ඇති දේ ලියා තබන්න කියන්න. ඒ වගේම වෙනත් ආකාරයේ උපන් දින සැමරුමක් පැවැත්වීම හෝ සමාජ දුරස්ථභාවය තවදුරටත් අවශ්‍ය නොවන විට යමක් සැලසුම් කිරීම වගේ ඔහුට හෝ ඇයට මෙම ආකාරයේ පාඩු සමඟ සාර්ථකව කටයුතු කරන්න පුළුවන් වෙන විවිධ ක්‍රම ගවේෂණය කරන්න.

 

දෛනික අරමුණක් සොයන්න

වටිනා ක්‍රියාකාරකම් සඳහා කාලය ගත කිරීමෙන් ඔබේ දරුවාගේ දින චර්‍යාවට අරමුණක් ලබා දෙන්න පුළුවන්. මෙය ඔබේ දරුවාගේ දින චර්යාවේ වෙනසක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරී වෙයි. ඔබේ දරුවාට කියවීම, බයිසිකල් පැදීම, සංගීතය නිර්මාණය කිරීම, චිත්‍රපට සෑදීම, බේක් කිරීම, ඇඳුම් ඇඳීම, චිත්‍ර ඇඳීම, ලිවීම, උද්‍යානයේ පැළ සිටුවීම හෝ යමක් තැනීම තුළින් අර්ථවත් අරමුණක් සොයා ගන්න පුළුවන්. 

ඔබේ දරුවාගේ අද්විතීය නිර්මාණශීලිත්වය දිරිමත් කරන්න. ඒ සඳහා ඔබේ දරුවාව පෙළඹවීම සඳහා වේදිකාව ලෙස වීඩියෝ චැට් එකක් ආරම්භ කරලා දරුවාගේ කුසලතා සංදර්ශනයක් සංවිධානය කිරීම ගැන සලකා බලන්න. පවුලේ අයට හෝ ඔබේ දරුවාගේ මිතුරන්ට ඒ සඳහා ආරාධනා කරන්න පුළුවන්. වැඩිහිටි ළමයින්ට තමන් ආශා කරන මාතෘකාවක් ගවේෂණය කිරීම සහ ඔවුන් ඉගෙන ගත් දේ මිතුරන් සමඟ බෙදා ගැනීම සතුටට කරුණක් වෙයි.

 

සුරතල් සතෙක් හදාගන්න

අවසාන වශයෙන් ඔබට කාලය, අවකාශය සහ අයවැය තිබෙනවා නම් මේ දේත් කරලා බලන්න. මොකද පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ සුරතල් සතෙක් සිටීමෙන් දරුවන්ව ඔවුන්ගේ තනිකම සහ සමාජ හුදෙකලා හැඟීම් වලින් ආරක්ෂා කරගන්න පුළුවන් බවයි. සුරතල් සතුන් විසින් දරුවන්ට සැනසිල්ල, වගකීම පිළිබඳ හැඟීම් සහ තමන් ගැනම හොඳ හැඟීමක් ඇති කර ගැනීමට උපකාර වන සමාජ සහයෝගය ලබා දෙනවා. ඒ නිසා ඔබේ දරුවන්ට සුරතල් සතෙක් සමඟ ආදරණීය හා විනිශ්චය නොකරන සබඳතා පවත්වන්න පුළුවන් වෙනවා.

 

සමාජ දුරස්ථභාවය සඳහා වර්තමානයෙ පවතින තත්ත්වය, අවශ්‍යතාවය ඔබේ දරුවාට පාලනය කරන්න බෑ. නමුත් ඔබේ දරුවාට ඔහු හෝ ඇය තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට තෝරා ගන්නා ආකාරය පාලනය කරන්න පුළුවන්. අනිත් අය සමඟ සම්බන්ධ වීමට, ඔහුගේ හෝ ඇයගේ හැඟීම් බෙදා ගැනීමට සහ දෛනික අරමුණ සොයා ගැනීමට ඔබේ දරුවාව දිරිමත් කිරීමෙන් වසංගතය හේතුවෙන් ඇති වුණු තනිකම සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔහුට හෝ ඇයට උදව් කරන්න ඔබට පුළුවන් වෙනවා. මෙම අභියෝගය ජය ගැනීම ඔබේ දරුවාගේ පෞද්ගලික වර්ධනයට දායක වෙනවා වගේම අනාගත බාධක සමඟ කටයුතු කිරීමට ද ඔහුව හෝ ඇයව වඩාත් හොඳින් සූදානම් කරයි.