ඔබේ යොවුන් දරුවාට මානසික අවපීඩනයෙන් මිදීමට උදව් කරමු

කළ යුතු පළමු දෙය නම් යථාර්ථවාදී කෙටිකාලීන ඉලක්ක තබා ගැනීමට ඔබේ දරුවාට උපකාර කිරීමයි. ඔහුගේ ජීවිතය වැඩි දියුණු කිරීමට ඔහු කැමති ආකාරයේ යෝජනා ඔහුගෙන්ම විමසන්න. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔහුට ගත හැකි සරල පියවර කිහිපයක් හඳුනා ගැනීමට ඔහුට උදව් කරන්න. ළඟා කරගත නොහැකි ඉලක්ක තබා ගැනීමෙන් ඔහු අසාර්ථක වී ඔහුගේ විශ්වාසය පළුදු වන්නට ඉඩ තියෙනව. අනෙක් අතට, ඉතාම පහසුවෙන් ළඟා කර ගත හැකි දේවල් ඉලක්ක කරන්නත් එපා. සම්පූර්ණ අදහස නම්, ඔහු අභියෝගයකට ලක්වීම සමාන්‍ය බව ඔබේ යොවුන් දරුවාට හැඟිය යුතුයි.

 

ඔබ ඔහු වෙනුවෙන් ඔහුගේ වැඩ කරන්න එපා

සෑම පියවරකදීම ඔහුව ධෛර්යමත් කර හැකි සෑම ආකාරයකින්ම ඔහුට උදව් කිරීමට වග බලා ගන්න. නිදසුනක් වශයෙන්, ඔහුට නාට්‍යයක් සඳහා කුසලතා පරීක්ෂණයකට සහභාගී වීමට අවශ්‍ය නම්, ඔහුට බොරු බලාපොරොත්තුවක් ලබා නොදී පෙරහුරු කිරීමෙන් ඔහුගේ විශ්වාසය වැඩි කිරීමට ඔහුට උදව් කරන්න.

 

අසාර්ථකත්වය පිළිගෙන ඒ ගැන කතා කරන්න

ඔහු නියම කළ ඉලක්ක කරා ළඟා වීමට අපොහොසත් වුවහොත්, ඊළඟපාර ඔයා හොඳට කරයි යනුවෙන් ඔහුගේ අසාර්ථකත්වය සැහැල්ලුවට නොගෙන ඔහුගේ අසාර්ථකත්වය පිළිගෙන එය සිදු වූයේ ඇයිදැයි සාකච්ඡා කරන්න. සමහර විට ඔහු එය උත්සහයක් නොගෙනම අතහැර දමා හෝ ප්‍රමාණවත් ලෙස පාඩම් නොකර හෝ කලබලයට පත්වීම නිසා අසාර්ථක වුණා වෙන්න පුළුවන්. මෙය සොයා බැලීම වැදගත් වන අතර එමඟින් ඔබේ දරුවා අසමත් වීමට හේතුව කුමක්දැයි දැන ගැනීමටත් වැරදි වැටහීම් නිවැරදි කිරීමටත් හැකි වෙනවා.

 

සංසන්දනය කරන්න එපා

ඔබේ යෞවනයාව ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සංසන්දනය කරන්න එපා. ” ඔයා අර යාළුවා වගේ නැත්තෙ ඇයි” වැනි දේවල් ඇසීමෙන් තමන් කිසිම දේකට සුදුසු නැති කෙනෙක් යැයි ඔහු තමන් ගැනම ඇති අදහස ඔබ ශක්තිමත් කරනවා. ඒ නිසා සංසන්දනාත්මක අදහස් පල නොකර, ඔහුට වඩා වෙනත් දරුවෙකු දක්ෂ නම් ඊර්ෂ්‍යා නොකර ඔහුට ප්‍රශංසා කළ හැකි බව ඔබ ඔහුට ඉගැන්විය යුතුයි. ඔහු තවත් මිතුරෙකුගේ ගති ලක්ෂණ ගැන ඊර්ෂ්‍යා කරන ස්වරයකින් අදහස් දක්වන්නේ නම්, අනෙක් දරුවා හොඳ බව පිළිගන්නා ගමන් ඔබේ දරුවාගේ ඇති හොඳ ගුණාංග කිහිපයක් ගැන මතක් කරමින් අගය කරන්න.

 

තම දරුවාගේ තීරණ ගැන අවධානයෙන් ඉන්න

මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන් තමන්ගේ සෑම තීරණයක් ගැනම දෙපැත්තට වැනෙන ස්වභාවක් ගන්නවා. මෙයට හේතුව ඔවුන් තමන්ගේ විනිශ්චය විශ්වාස නොකිරීම සහ ඔවුන් ‘නිවැරදි දේ’ කරන බවට නිරන්තරයෙන් සහතිකයක් අවශ්‍ය වීමයි. තීරණ ගැනීමට ඔබේ දරුවාට උදව් කළ යුතු අතර, ඔහුගේ විනිශ්චය විශ්වාස කිරීමට ඔහු ඉගෙනගනීවි. ඔහු තෝරා ගැනීමක් කළ පසු, ඔහුට එමගින් ලැබෙන ප්‍රතිවිපාක කුමක් වුවත් තමන් ගත් තීරණය මත කටයුතු කළ යුතු බව ඔබ පහදා දෙන්න.

 

කෙටි කාලීන විසඳුම් සාර්ථක නැහැ

ඔබේ යෞවනයා ප්‍රසංගයකට හෝ නිවාඩුවක් සඳහා ඔහුව රැගෙන යාම වැනි කෙටි කාලීන ක්‍රියාමාර්ගය වලින් ඔහුගේ මානසික අවපීඩනය සමනය වෙන්නේ නැහැ. ඔබ ඔහු සමග එකට වාඩි වී ඔහුට කරදර කරන හේතුව කුමක්ද සහ එය ජයගත හැක්කේ කෙසේද යන්න ගැන කතා කරන්න. ඔබ ඔහුව සවිබල ගැන්වීමට පියවර ගත යුතු අතර එමඟින් ඔහු කිරීමට බලාපොරොත්තු වන දේ ඵලදායී ලෙස ඉටු කළ හැකි යැයි ඔහුට හඟවන්න.