බබාව මසාජ් කරමුද? මේ ඒ ගැනයි

සම්බාහනය සඳහා ගත කරන කාලය ඔබට වගේම ඔබේ දරුවාටත් විවේකී හා විනෝදජනක වෙන්න පුළුවන්. එය ඔබේ දරුවා සමඟ හොඳ මානසික බැඳීමක් හදාගන්නත් සුදුසු කාලයක් වනවා.

මේ සඳහා දරුවා සන්සුන්ව සහ නිශ්ශබ්දව සිටින මොහොතක් තෝරා ගැනීම වඩා සුදුසුයි. ඒ වගේම කාමරය උණුසුම් හා බාධා වලින් තොර බවට වග බලා ගන්න. බොහෝ අය​ගේ අත්දැකීම්වල​ට අනු​වනම් සම්බාහනය කරන්න හොඳම කාලය වෙන්නේ දරුවාව නෑව්වට පස්සේ ඇඳුම් අන්දවන්න කලින් කාලයයි. 

 

ආහාරයට ගන්න පුළුවන් පිරිසිදු තෙල් (සැර නැති ඔලිව් තෙල් වගේ) හෝ සරල මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඒ සඳහා අරගන්න. දරුවාගේ මුල් මාස 4 දී අසාත්මිකතාවන් ඇති වුනොත් ඇට වර්ග වලින් හින්ද​න තෙල් භාවිතයෙන් වළකින්න. තෙල් හෝ මොයිස්චරයිසර් කෙලින්ම ඔබේ දරුවා මත ආලේප කරන්නේ නැතුව ඔබේ අත් වලට අරන් ඊට පස්සේ දරුවාගේ ශරීරයේ ගාන්න පටන් ගන්න.

 

හැකි තරම් ඔබේ අතින් ස්ථිරව, සිනිඳුව සම්බාහනය අඛණ්ඩව කරන්න. නිදසුනක් විදිහට ඔබේ අත් හෝ ඔබේ ඇඟිලිවල පැතලි මතුපිටින් පොඩි තට්ටු කිරීම් කරන්න පුළුවන්. පපුවට තට්ටු කරනවා නම් diagonals (උරහිස් සිට ප්‍රතිවිරුද්ධ උකුල දක්වා හරස් අත​ට) භාවිතා කරන්න. පිටුපසට තට්ටු කරනවා නම් පිටුපස දි​​ගේ පහළ​ට දිගු තට්ටු කිරීම් භාවිතා කරන්න. මුහුණේ, හිසේ සහ අත් පා වලද මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.

 

ළදරු සම්බාහනය දරුවාට සන්සුන් අත්දැකීමක් වන අතර මිනිත්තු 10 සිට 30 දක්වා කාලයක් ඒ සඳහා වෙන් කරගන්න. ඔබේ දෑත් උණුසුම් බවට වග බලා ගන්න. ඔබේ අත් වලින් තියුණු හෝ උල් සහි​ත ආභරණ ද ඉවත් කරන්න මතක තියාගන්න. ඔබ තෙල් භාවිතා කරද්දී ඒවා ගෑවෙයි කියලා හිතෙනවා නම් පරණ ඇඳුමක් ඇඳගන්න. එහෙම නැත්නම් පොඩි තුවායක් ළඟ තියාගන්න. ඊට අමතරව ඔබට කාමරයේ මෘදු පසුබිම් සංගීතයක් ද වාදනය කරන්න පුළුවන්.

 

සම්බාහනය කිරීම කියන්නේ ඔබේ දරුවා සමඟ සම්බන්ධ වීමට සහ දරුවාගේ මනස ලිහිල් කිරීමට හොඳ අවස්ථාවක්. ඒ සඳහා ඔබට කාලයක් වෙන් කරගන්න වග බලා ගන්න. ඔබේ දින චර්යාවට බාධා නොවන පරිදි කාලය වෙන් කරගන්න.

 

ඔබේ දරුවා කලබල වෙලාවල් වලදී සම්බාහනය කිරීම ද හොඳ අදහසක් නෙමෙයි. ඔබේ දරුවා කැමති ආකාරය සහ ඔබට හැඟෙන ආකාරය අනුව සම්බාහන ක්‍රම තෝර ගන්න.

 

ආරම්භය

සම්බාහනය ආරම්භ කිරීම සඳහා තෙල් හෝ මොයිස්චරයිසර් බින්දු කිහිපයක් ඔබේ උණුසුම් අත් වලට අරන් සුමට කරලා ඔබේ දරුවාගේ පාදවල මුලින්ම සම්බාහනය කරන්න. විලුඹේ සිට ඇඟිලි දෙසට ස්ථිර, මෘදු, මන්දගාමී ආකාරයන් භාවිතා කරන්න. සම්බාහනය කරන අතරතුර සෑම විටම ඔබේ දරුවා මත එක් අතක් තබා ගන්න.

 

ඔබේ දරුවාගේ කකුල් වල ඉඳන් දිගු සුමට ආකාරයකින් සම්බාහනය ඉදිරියට අරන් යන්න. වළලුකර සිට කලවා දක්වා සහ උකුලට ඉහළින් සම්බාහනය කරන්න. ඔබට කකුල් දෙකම එකවර සම්බාහනය කරන්නත් පුළුවන්. ලිංගේන්ද්‍රියන් සම්බාහනය කිරීමෙන් වළකින්න. ඔබේ දරුවාගේ කකුල දණහිසට යටින් අල්ලාගෙ​න වායූන් ඉවත් කරන්නට එ​ය උදරය දෙසට මෘදු ලෙස තද කරන්න.

 

ඉහළ ශරීරය

ඔබේ දරුවාගේ උරහිස් සම්බාහනය කරමින් ඉහළ ශරීර සම්බාහනය ආරම්භ කරන්න. පපුව දෙසට මෘදු තට්ටු කිරීම් කරන්න.

 

උරහිස් සිට මැණික් කටුව දෙසට දරුවාගේ දෑත් සම්බාහනය කරන්න. ඔබේ දරුවාගේ අත් වලින් තෙල් භාජනය අල්ලන්න උත්සහ කරයි. එහෙම වුණොත් දරුවා ඇඟිලි උරා බොන්නට කලින් ඇඟිලි පිරිසිදු කර පිස දමන්න.

 

ඔබේ දරුවාගේ බඩ මෘදු බවක් දැනේ නම් (තද හෝ පූර්ණ නොවේ), රවුම්, දක්ෂිණාවර්තව බඩ සම්බාහනය කරන්න. දරුවන්ගේ උදරය වැඩිපුර සංවේදී නිසා දරුවා නොසන්සුන් වුණොත්, උධරය සම්බාහනය කිරීම නවතා ඊළඟ පියවරට යන්න. පෙකණි වැල ආශ්‍රිතව සම්පූර්ණයෙන් සුව වෙලා නැත්නම් ඒ ප්‍රදේශය සම්බාහනය කිරීමෙන් වළකින්න.

 

මුහුණ සහ පිටුපසට

 

ඔබේ දරුවාගේ මුහුණ සම්බාහනය කිරීමට ඔබේ ඇඟිලි තුඩු භාවිතා කරන්න. ඔවුන්ගේ නළලේ මැද සිට, ඔවුන්ගේ මුහුණෙන් පිටත හා කම්මුල් දෙසට සම්බාහනය දෙන්න. ඔබේ ඇඟිලි තුඩු වලින් ඔබ ඔවුන්ගේ කොණ්ඩය ෂැම්පූ කරනවා වගේ හිස්කබල මෘදුව සම්බාහනය කරන්න.

ශරීරයේ ඉදිරිපස සම්බාහනය අවසන් කළාට පස්සේ ඔබේ දරුවා තවමත් සැහැල්ලුවෙන් සිටිනවා නම් දරුවාව අනිත් පැත්තට හරවලා හිස සිට පාදය දක්වා දිගු සුමට සම්බාහන ලබා දෙන්න පුළුවන්.

 

ඔබේ දරුවා එය සැහැල්ලුවෙන් භුක්ති විඳින්නේ නැත්නම් හෝ අපහසුතාවයේ සලකුණු පෙන්නුම් කරනවා නම් ඔබ සම්බාහනය නතර කළ යුතු බව මතක තබා ගන්න. ඔබට දැඩි ආතතියක් ඇති වුණොත් හෝ ඔබේ දරුවා කලබලයට පත් වුණොත් සම්බාහනය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

 

මේ වීඩියෝවෙන් ඔබට බබාව මසාජ් කරන ආකාරය ගැන හොඳින් දැනුවත් වෙන්න පුළූවන්.