Search here...
TOP
එදිනෙදා ජීවිත​ය ළමා මන​ස

ඔබේ නවයොවුන් වියේ දරුවාට ධනාත්මක මග පෙන්වීමක් ලබා දෙන්නේ කෙසේද?

දරුවන් ක්‍රමයෙන් යොවුන් විය කරා එළඹෙමින් සිටින වයස යනු දෙමවුපියන් හා දරුවන් අතර නිරන්තර මත ගැටුම් ඇතිවන කාලසීමාවක්. ඔබ ඔවුන් කුඩා කල දී අනුගමනය කළ පියවරයන් ඇතැම් විට යල්පැනගොස් ඇති බවක් ඔබට වැටහෙයි. එම නිසා නව ‍යොවුන් වියේ දරුවාගේ හැසිරීම ඔබව වඩාත් කළකිරීමට පත් කරන අතර ඔබගේ නිරන්තර බැණ වැදීම් හේතුවෙන් දරුවාද ඔබද පීඩාවට පත්ව ඇති.

 

විශේෂයෙන් නව යොවුන්වියට එළඹීමත් සමග දෙමවුපියන් දඬුවම් මගින් සාම්ප්‍රදායික ලෙස දරුවා පාලනය කිරීමට උත්සාහ කිරීම වර්තමානයේදි ඉතා අසාර්ථක ක්‍රමවේදයක් ලෙසටයි බොහෝ විශේෂඥයන් හඳුන්වන්නේ. එමගින් දරුවන්ට තම දෙමාපියන් කෙරෙහි ඇති ස්වයං ගෞරවය අහිමි යන අතර දෙපාර්ශවය අතර බැඳීම පළුදු විය හැකියි.

 

ඒ නිසා ආරම්භයේ දරුවා සමග කටයුතු කිරීමේදි ගෞරවනීය සහ ධනාත්මක මඟ පෙන්වීමකින් ආරම්භ කිරීම වඩා හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට සහය වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස ගෞරවනීය, සැලකිලිමත්, වගකීම් සහගත, ස්වයං විනය සහිත සහ ප්‍රීතිමත් දරුවකු ගොඩනැගීමේ ඔබගේ උත්සාහය සාර්ථක කරගත හැකියි.

 

නමුත් ඔබ නව යොවුන් වියේ එළිපත්තේ සිටින ඔබගේ දරුවාට දැනටමත් බැණ වැදීම්, දඬුවම් දීම් වැනි දේ සිදුකර තිබේ නම් සහ ඔබගේ දරුවා මුරණ්ඩු ලෙස හැසිරෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ තවමත් ප්‍රමාද නැත. ඔබට Baby & Me අපි ලබාදෙන මෙම උපදෙස් අනුගමනය කර සාර්ථකත්වයක් ලබාගත හැකියි.

 

වඩාත් ආදරණීය ස්වරයකින් ඔවුන් ඇමතීමට සහ භාෂා හැසිරවීමකට මාරු වෙන්න

 

ඔබ නිරතුරුව ඔබගේ දරුවාට කෑ ගසනවා නම්, බණිනවා නම් ඔබගේ දරුවා තුල ඔබ කෙරෙහි වන ගෞරවය නැතිවි යාමට ඉඩ තිබෙනවා. ඔබ නිරතුරු ඔවුන්ට කෑගසන විට එය හැඟීම් ප්‍රකාශ කරන සහ ගැටලු විසඳන ආකාරය බවට ඔවුන් සිතන අතර ඔවුන්ද ඒ ආකාරයෙන් හැසිරෙනවා. ඒ නිසා දරුවාගේ අවධානය ලැබෙන ආදරණිය ආමන්ත්‍රනයකට සහ වචනාවලියකට මාරු වී බලන්න.

 

සබඳතාවය ශක්තිමත් කරගැනීමට උත්සාහ දරන්න

දිනකට සැලකිය යුතු වේලාවක් දරුවාට සවන්දෙමින් දරුවා සමග ගත කිරීමට උත්සාහ ගන්න. උදාහරණ ලෙස දරුවාගේ හවස අධ්‍යාපන කටයුතු ආරම්භයට පෙර ඔහු හෝ ඇය කැමති රූපවාහිනි වැඩසටහනක් නැරඹීම, ක්‍රීඩාවක යෙදීම නැතිනම් දෙදෙනා එක්ව දරුවා ප්‍රියකරන කෙටි කෑමක් සෑදීම වැනි දෙයක නිරත විය හැකියි. නමුත් ඔබගේ දරුවා ඔබ සමග සිටීම අප්‍රිය කරයි නම් ඔබට ප්‍රතිඵල නොලැබෙන අතර පළමුව ඔබ ආරණීය මව හෝ පියා වීමට උත්සාහ දැරිය යුතුයි.

 

තම ක්‍රියාවන් මෙනෙහි කර නිවැරදි විනිශ්චයක් ලබා ගැනීමට දරුවාට දිරිය දෙන්න

 

බොහෝ විට දේශන වලට වඩා සරලව ප්‍රශ්න ඇසීම වඩාත් සාර්ථක ක්‍රමයක් බැවින් දරුවාගේ එදිනෙදා කටයුතු සහ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමට ඔබට හැකියි. මෙය බොහෝ විට ඔබ දෙදෙනා එක්ව ගත කරන කාල සීමාවේදි සිදුකළ හැකියි.

 

උදාහරණ ලෙස පහත පරිදි ප්‍රශ්න කළ හැකියි

– “ඔයා මේක කරන කොට ඇත්තටම කරන්න අවශ්‍ය වුණේ මොකක්ද?

– “ඔයාට වෙන මොනවද කරන්න තිබුනෙ?”

– ” අනෙකුත් අය සම්බන්ධ වුණාම වුණේ මොකක්ද?”

 

තර්ජන සහ දඬුවම් ඉවත් කර මගපෙන්වන්න

 

දරුවාට සෑම විටම දඬුවම් ලබාදීමෙන් ඔබ දෙදෙනා අතර වන සබඳතාවයට බාධා එල්ලවන අතර ඒ වෙනුවට ඔබට දරුවාට මග පෙන්වීම තෝරාගත හැකියි. විශේෂයෙන් දෙමවුපියන් දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරිම නිසා දරුවන් තුල තමා පාලනයකට නතුව සිටිනවා වැනි හැගීමක් ඇතිකරන අතර එවිට ඔවුන් වැඩි වශයෙන් මුරණ්ඩු ගති පැවතුම් සහ කැරලි ගසන ස්වභාවයක් පෙන්විය හැකියි.

 

ඒ නිසා ඒ වෙනුවට දරුවාට යමකට බනිනවා හෝ දඬුවම් ලබාදීම වෙනුවට ඒ ක්‍රියාවේ යෙදීමෙන් වන ප්‍රතිවිපාකය පැවසීම වඩාත් සාර්ථකයි. උදාහරණයක් ලෙස දරුවා පාසලින් ලබාදුන් ගෙදර වැඩ රාත්‍රි කාලයේ හො සන්ධ්‍යාවෙ සිදුනොකර උදෑසන අනවශ්‍ය කලබලයකින් ඒවා කරනවා දුටුවිට බැනීම හෝ දඬුවම් දීම වෙනුවට ගෙදර වැඩ ඊයේ කිරීමට තිබුණා සහ එසේ නොකර රූපවාහිනිය බැලූ නිසා උදේ කලබලයෙන් එය කිරීම වැරදි බවත් නැවත දිනක එසේ වුවහොත් රූපවාහිනිය බැලීමට ඉඩ නොදෙන බවත් පවසන්න.

 

එකඟවිය නොහැකි පවුලේ නීති ගැන ඔබේ දරුවා සමග කතා කරන්න

 

ඔබේ පවුලේ පවතින වැදගත් දේවල්, එකිනෙකා හා කතා කරන ආකාරය, පවුලේ වේලාව, නිවසේ කටයුතු වලට සහය දැක්වීම, ගෙදර වැඩ ආදිය ගැන දරුවා සමග කතා කරන්න. ඔහුගේ හෝ ඇයගේ අදහස් ලබාගන්න. එවැනි නීති උල්ලංඝනයෙන් ලැබෙන දඬුවම් ආදීය ගැන, ඔබගෙ විශ්වාසය කඩකළ හොත් නැවත එය ගොඩනගා ගැනීමට ඔවුන් අනුගමනය කරන්නේ කුමක්ද ආදි දේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවයට පැමිණීමෙන් ඔවුන් වඩාත් හොඳින් නීති පිළිපැදීමට යොමුවනවා.

 

දරුවාට ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට ඉගැන්වීම

වැරදි නොකරන පුද්ගලයන් ලොව නොවන බැවින් ඔබ දරුවාගෙන් 100%ක් නිවැරදි වීම අපේක්ෂා නොකළ යුතු අතර වඩා වැදගත් වන්නේ දරුවා තුල ඔහුගෙන් හෝ ඇයගෙන් වන වරද නිවැරදි කරගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. උදාහරණයක් ලෙස ඔවුන් තම බාල සහෝදරයාට හෝ සහෝදරියට බැන වැදීමෙන් පසු ඔවුන් නැවත එම සබඳතාවය අරඹන ආකාරය නැතිනම් ඔවුන් නොසැලකිලිමත් වීමෙන් නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් විනාශ වූ පසු එය නැවත ලබාගැනීමට ඔවුන්ට කළ හැකිදේ ආදිය ගැන ඉගැන්වීම.

 

සෑමවිටම දරුවා ආරක්ෂා කරගැනීමට උත්සාහ නොකරන්න

 

දරුවා නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඔහුට හෝ ඇයට සිදුවන බාධා වලින් සෑමවිටම ඔවුන් ගලවාගැනීමට උත්සාහ නොකර එමගින් පාඩමක් ඉගෙන ගෙන එය නැවත නොකර සිටීමට දරුවාට අවස්ථාව ලබාදිය යුතුයි. එසේ නොමැතිව ඔබ ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඒවා නිවැරදි කිරීමට යාමෙන් වැළකිය යුතුයි.

 

කරුණාවන්ත නමුත් ස්ථීර දෙමවුපියකු වෙන්න

 

ඔබේ දරුවා ඔබ බැරෑරුම් ගති පැවතුම් ඇත්තෙකුදැයි නිරීක්ෂණය කරනවා යැයි අනුමාන කරන්න. ඒ නිසා ඔබ සීමාවන් පනවන අතරම සැහැල්ලු සරල කෙනෙකු වන්න. විශේෂයෙන් ඔබ රැකියාවක නිරතවනවා නම් නිවසේ සිටින කාල සීමාව දරුවා සමග ගත කරන්න. විශේෂයෙන් ඔබ මින් පෙර සෑමවිටම දරුවාට බැන වැදී සහ දඬුවම් කළ මවක හෝ පියෙකු නම් මෙයට ඔබට යම් කාල සීමාවක් ගත විය හැකියි. නමුත් ඔබ උත්සාහ කළ යුතුයි.

 

විශේෂයෙන් මෙම සංක්‍රමණ කාලයට ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර අවසානයේ ඔබට වඩාත් සහයෝගී, ගෞරවනීය සහ වගකීම් සහිත දරුවෙකු දැකිය හැකි අතර ඔබට සිතේ සතුටින් කාලය ගත කළ හැකියි.

«

»