Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

බෙඩ්-රෙස්ට් ලබාගන්න වෛද්‍යවරයා නිර්දේශ කළොත්, ඔබ සැලකිලිමත් විය යුතු කාරණා

ගර්භනී සමයේදී ඇතැම් කාන්තාවන්ට අනිවාර්යෙන් බෙඩ්-රෙස්ට් ගතයුතු බවට වෛද්‍යවරුන් නියම කරනවා. අපේ කාර්යබහුල ජීවන රටාවත්, ඇඳට වෙලා ඉන්න තියෙන කම්මැලිකමත්, ඇඳ මතට වී සිටීමෙන් සිරැරේ බර වැඩිවීම වැනි හේතූන් නිසා කාන්තාවන් බෙඩ්-රෙස්ට් ලබාගැනීමට එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. නමුත් මේ කරුණු ටික කියවලා බලන්න, ඔබට බෙඩ්-රෙස්ට් කරන එක සාර්ථකව කරගන්න පුලුවන් වෙයි..

1. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම වැදගත්

– ගර්භනී සමයේදි ඔබට අවශ්‍ය දෛනික කැලරි අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුකරන්න
හැකිනම් ඔබේ උස, බර සහ ක්‍රියාකාරකම් මට්ටම ගණනය කරන අන්තර්ජාලයේ ඇති කැලරි කැල්කියුලේටරයක් භාවිතා කර දිනකට කොපමණ ප්‍රමාණයක් අනුභව කළ යුතුද යන්න පිළිබඳව දළ අවබෝධයක් ලබාගන්න. ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත හෝ පෝෂණවේදියෙකුගේ උපදෙස් මත දිනකට අහාර කොපමණ ලබාගත යුතුද යන්න ගැන දැනුවත් වෙන්න.

– පෝෂණ ගුණයෙන් වැඩි ආහාර වර්ග තෝරාගන්න
බෝංචි, පූර්ණ ධාන්‍ය, තෙල් රහිත මස් වර්ග වැනි දෑ ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වෙනවා.

– නැවත නැවත ආහාර සැකසීම වෙනුවට ඉතිරි ආහාර ආහාරයට ගන්න
වෙල් දෙක තුනකට සරිලන ලෙස සකස් කරලා ශීතකරනයේ තබන්න පුලුවන් ආහාර වර්ග සකස් කරගන්න. එවිට ඔබට උයනපිහන වෙලාවට හිටගෙන ඉන්න වෙන කාලය අඩු කරගන්න පුලුවන්. ලෙෆ්ට්-ඕවර් ෆූඩ් ෆ්‍රීස් කරන්න. ඒකෙන් නිතර කෑම සකස් කරන එක ඔබට අවම කරගන්න පුලුවන්.

– ග්‍රොසරි ඩිලිවරි සේවාවන් ප්‍රයෝජනයට ගන්න
නිතර නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට වෙළඳසැලට යාම වෙනුවට නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ, ග්‍රොසරි ගෙන එන සේවාවන් හි සේවය ලබාගන්න.

2. මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම

– උදව් උපකාර ලබාගන්න
ගර්භනී සමයේදී දැනෙන කායික විඩාවන් හේතුවෙන් ඉක්මනින් මානසික ආතති තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන් බෙඩ්-රෙස්ට් ලබාගන්නා ලෙස වෛද්‍යවරයා නිර්දේශ කලහොත් ඔබට උදව් උපකාර ලබාගැනීමට හැකි අයගෙන් උදව් ඉල්ලා සිටිම වැදගත් වෙනවා. ඔබට ආහාර වේලක් රැගෙන ඒමට, සුරතල් සතුන් බලාගැනීමට, ඔබ වෙනුවෙන් සාප්පු සවාරි යාමට කැමැත්තෙන් ඉදිරිපත් වෙන මිතුරු මිතුරියන්ගේ උදවු ලබාගන්න. එමගින් බෙඩ්-රෙස්ට් ලබාගන්නා කාලයේ අනවශ්‍ය ලෙස ආතතියට ලක්නොවීමට ඔබට හැකිවෙනවා.

ඒ වගේම ඔබගේ මානසික තත්ත්වයේ ඇතිවෙන වෙනස් වීම් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙශනය ලබාගැනීමට යොමු වීමත් වැදගත්. විශේෂයෙන් මෙම කාල සීමාවේ කාංසාව හෝ මානසික අවපීඩනය වැනි ගැටළු ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දැනුවත් ව සිටීම වැදගත් වෙනවා.

– මනස ට විවේකයක් දෙන ක්‍රියාකාරකම් හි නියැළෙන්න
බෙඩ්-රෙස්ට් ලබාගැනීම ඇතැම් විට හරිම කම්මැලි හිතෙන වැඩක්. ඒ වගේම නිතර නිතර කුසගිනි දැනීම නිසා සැම විටම කුමක් හෝ ආහාරයට ගැනීමට ඔබට සිතේවි. එයට බොහෝ විට හේතු වන්නේ අලස කමයි. එමනිසා බෙඩ්-රෙස්ට් ලබාගන්නා කාල සීමාවේ පොතක් කියවීම, මැහුම් ගෙතුම්, පින්තාරු කිරීම, ලිවීම වැනි ක්‍රියාකාරකම් වල නිරතවීමට ඔබට පුලුවන්.

3. වෛද්‍ය අනුමැතිය ලැබෙනා ව්‍යායාම් හි නියැළෙන්න

බෙඩ්-රෙස්ට් ලබාගන්නා කාල සීමාවේදි ඔබට ශාරිරික ක්‍රියාශීලි බව පවත්වාගැනීම තරමක් අපහසු කටයුත්තක්. නමුත් බෙඩ්-රෙස්ට් කරද්දී ඇතැම් සරළ ක්‍රියාකාරකම් හි නියැළීමට ඔබට පුලුවන්. නමුත් ඒවායේ නියැලීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා. බෙඩ්-රෙස්ට් ලබාගන්නා කාල සීමාවේදීත් ව්‍යායාම් සඳහා නිශ්චිත කාල සීමාවක් වෙන්කර ඇඳේ වැතිර සිටින විට, ඇඳේ වාඩි වී සිටින විට ඔබට නියැළිය හැකි ව්‍යායාම් ඉරියව් පිළිබඳව දැනුවත් වී ඒවායේ නියැලීමට ඔබට පුලුවන්. විශේෂයෙන් දෙ අත්, බෙල්ල, පාද ආදිය ආශ්‍රිතව ව්‍යායාම් හි නියැළීමට ඔබට හැකියි.

බෙඩ්-රෙස්ට් ලබාගැනීම බොහෝ ගර්භනී කාන්තාවන් කරදරයක් ලෙසටයි සලකන්නේ. නමුත් ආරක්ශිත නිරෝගි දරු ප්‍රසූතියක් සඳහා එය ඉතා වැදගත් වෙනවා. එමනිසා මෙම කාල සීමාව ඉදිරියේදි ඔබවෙත පැමිණෙන සුරතල් අමුත්තා පිළිබඳවත්, එසේ ඔහුගේ හෝ ඇයගේ පැමිණීමෙන් සුන්දර වෙන ලෝකය පිළිබඳව අලුත් සිහින දකිමින් ප්‍රීතියෙන් සිටීමටත් හැකි කාල සීමාවක් බවයි අප නම් සිතන්නේ. එමනිසා සමබර ආහාර වේලක් ලබාගැනීමත්, ප්‍රමාණවත් නින්ද සහ ව්‍යායාම සමග මනස නිරෝගිව තබාගැනීමටත් ඔබගේ අවධානය යොමුකිරීම වැදගත් වෙනවා.

«

»