ඔබත් දරුවා තනිව නින්දට යාම පුරුදු කර ගන්නේ කොහොමද?

අලුත උපන් දරු පැටියා නිවසට රැගෙන දා සිටම අප උත්සාහ කරන්නේ අපගේ දෑස මානයේම තබාගන්න. බොහෝ විට දරුවා දෙමාපියන් නිදන ඇඳේම තබා ගැනීම ඉතා ප්‍රවේශම් සහගතයි කියලයි අපි සිතන්නේ. නමුත් මොහොතකටවත් හිතුවාද අප ගන්නා පියවර දරු පැටියාගේ ජීවිතය අවදානමකට ලක් කරන්න පුළුවන් කියලා?

 

SIDS අවදානම 

විශේෂඥයන්ගේ මතය වන්නේ දරුවා ප්‍රධාන නිදන ඇඳ මත නින්දට හුරු කිරීමෙන් SIDS (Sudden infant death syndrome – බිළිඳුන් හදිසියේ නින්දෙන් මියයාම) නමැති තත්ත්වය ඇතිවීමේ අවදානමක් ඇති කරනවා යන්නයි. වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේ දරුවන් උපතේ සිට මාස හයක් අවුරුද්දක් කාලයක් යනතුරු දරුවා දෙමව්පියන් සිටින කාමරයේම, වෙනම තොටිල්ලක හෝ ඇඳක නිදි කරවීම සුදුසු බවයි. ඒ වගේම දරුවා කුඩා කල සිට තනිව නින්දට පුරුදු කිරීමෙන් දරුවාගේ පෞරුෂත්වය වර්ධනය සහ ස්වාධීනව කටයුතු කිරීම කෙරෙහි උපකාරී වනවා. මාස 9 – 12 ත් අතර කාල සීමාව තුළ විශේෂයෙන් මවත් දරුවාත් අතර සන්නිවේදනය වඩාත් තීව්‍රවන අතර දරුවාගේ සීඝ්‍ර සංවර්ධනයක් සිදු වන බව මතක තබා ගන්න ඕන

එහෙනම් කොහොමද මෙම තත්ත්වය මඟහරවා ගන්නේ? එයට කළ හැකි සරලම විකල්පය වෙන්නේ දරුවා කුඩාකල සිටම ඔබගේ නිදන ඇඳෙන් වෙන්කර නින්දට පුරුදු කිරීමයි. ඒත් හුඟක් වෙලාවට ඒක එච්චර පහසු කටයුත්තක් නෙවෙයි. කුඩා කල සිටම මව හෝ පියා සමග නින්දට පුරුදු වුණ දරුවා එක්වර තනිව ඇඳක නිදි කරවීම මුලින් ඉතා දුෂ්කරවෙන්න පුළුවන්. මේක ඉතා සාමාන්‍ය තත්ත්වයක්. දෙමාපියන් විදියට ඔබ ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.

අද Baby and Me අපි ඔබට දරුවන් තනිව නින්දට පුරුදු කිරීමට උපකාරී වන සරල පියවර තුනක් ඉදිරිපත් කරන්නම්. ඒක ඔබට ඉතා වැදගත් වේවි.

 

1. දරුවා සමග කතා කිරීම

මෙහිදී ඔබ හෝ ඔබ සහ සැමියා යන දෙදෙනාම දරුවාත් සමග කතා කරමින් නැත්නම් ඔහු ප්‍රිය කරන ළමා කතාවක්, ළමා ගීතයක් ගායනා කරමින් ප්‍රීතිමත්ව නිදන ඇඳ වෙත අරන් යන්න ඕන. නින්දෙහි වැදගත්කමත්, නිදා ගැනීමෙන් පස්සෙ දහවල් කාලයේ සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට පුළුවන් බවත් කියමින් දරුවා නින්දට යන තුරු නිදන ඇඳ අසල ඉන්න. දරුවාට ආරක්ෂාකාරී හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරන්න.

 

2. ඔබට වඩාත් පහසු ක්‍රමය තෝරාගන්න 

ගීතයක් ගායනා කිරීම නැත්නම්, නැළැවිලි ගීයක් ගායනා කිරීම, දරුවා ප්‍රිය කරන කතාවක් කීම, දරුවා තොටිල්ලේ තබා ඔබ පසෙකින් වාඩි වී සිටීම ආදී ක්‍රම තුළින් වඩාත් ඔබට ගැලපෙන ක්‍රමය ඔබ තෝරා ගත යුතුයි. නැතිනම් දරුවාගේ වෛද්‍යවරයා ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමට ඔබට පුළුවන්.

 

3. තෝරාගත් ක්‍රමය දිගින් දිගටම රඳවා ගන්න

බොහෝ විට දරුවා පවුලේ නිදන ඇඳෙන් වෙන්කර තොටිල්ල වෙත හෝ වෙනත් ඇඳක් වෙත යොමුකිරීම දින දෙකකින් තුනකින් සිදු කරන්න බැහැ. හුඟක් වෙලාවට ඒකට සති තුනක් හෝ හතරක් ගත වෙන්න පුළුවන්. මුලදී දරුවා ගොඩක් කලබලකාරී හෝ ලැජ්ජාශීලව කටයුතු කරන්න ඉඩ තියෙනවා. නමුත් දිගින් දිගටම එකම ක්‍රමය අනුගමනය කරන එකෙන් දරුවා ක්‍රමානුකූලව එයට හුරු වෙනවා. වඩා වැදගත් වෙන්නේ ඔබ වඩාත් ඉවසීමෙන් යුතුව ඉටු කරන එක. දරුවා තනිව නින්දට පුරුදු කිරීමේ වැදගත්කම ඔබ වටහා ගන්න ඕන.

දෙමව්පියන් විදියට ඔබගේ නිරන්තර අපේක්ෂාව වන්නේ දරුවාගේ දීප්තිමත් අනාගතය බව අපි දන්නවා. දරුවා තනිව නින්දට පුරුදු කිරීම අපගේ ලෙහෙසිය සඳහා පමණක්ම නෙවෙයි. එය දරුවාගේ ස්වාධීනත්වය, ආත්ම විශ්වාසය වර්ධනයට ඔබ ගන්නා මුල් පියවරක් වන බව මතක තබාගන්න. මවට පමණක් මේ කාර්‍ය තනිවම කිරීමට බැහැ. හැමවිටම මෙය ඔබ දෙදෙනාගේම ඉවසීම මත රඳා පවතින්නක්.