පොඩ්ඩොන්ට කියවීම හුරුකරන හැටි ගැන දැනගන්න!

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන බොහෝම පැරණි කියමන අපි ඕනේ තරම් අහලා තියෙනවනෙ. ඇත්තටම පොත් කියවීම වැදගත් දෙයක් තමයි. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ කියවන දේ මොකක්ද, කියවපු දේවල් ඊළඟට විශ්ලේෂණය කර ගන්නේ කොහොමද යන කාරණාවයි. අවසානයේදී වැදගත් වෙන්නේ දරුවාගේ චින්තන ක්‍රමයේ නිවැරදි කරවන එකයි. එහෙම නැතුව වචන දහස් ගනණක් කියවාලා ඔලුව පුරවන එක නෙමෙයි. 

 

ඇත්තටම පොත් කියවීම කියන්නේ ජීවිතේට හුඟක් දේවල් එකතු කරන හොඳ පුරුද්දක්. මේක සමහර දරුවො එක්ක කරන්න ලේසි පහසු කාරණයක් වුණාට සමහර දරුවො එක්කනම් යුද්ධයක් දිනන තරම් අමාරු වැඩක්. අන්න ඒ යුද්ධෙ දිනන එක පහසු කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් තමයි අද අපි ඔබට කියන්නෙ…

 

1. ඔබ රෝල් මොඩ්ල් එක වෙන්න

පොත පත කියවන දෙමව්පියෝ ඉන්න එක පොඩ්ඩොන්ගෙ කියවීමට තියෙන උනන්දුව වැඩි කරන ලොකුම හේතුවක් වෙනවා. මොකද දරුවො අවවාද වලට වඩා පිළිපදින්නෙ ආදර්ශ. ඉතින් පුංචි කාලෙ ඉඳන්ම අම්ම තාත්ත කියවන දිහා බලන් ඉඳල ලොකුවෙන දරුවො මේ පුරුද්ද ඇතිකරගන්න තියෙන ඉඩ හුඟාක් වැඩියි. අනිත් කාරණේ තමයි අළුත්ම සොයාගැනීම් වලට අනුව ගර්හණී සමයේ  අන්තිම කාලෙදි ඉඳන්ම ගර්භාෂයේ වැඩෙන දරුවා තමන්ගේ අම්මාට පිටතින් ඇහෙන, දැනෙන දේවල් වලට සවන්දීල දේවල් ඉගෙන ගන්නව කියන එක. ඉතින් පොඩ්ඩ ඉපදෙන්නත් කලින් ඉඳන්ම අම්මටයි තාත්තටයි පුළුවන් පොඩි වෙලාවක් වෙන්කරගෙන පොත් කියවන්න උත්සහ කරන්න.

 

2. පුංචිම කාලෙ ඉඳන් කියවන්න දෙන්න

 

ඊළඟ කාරණේ තමයි පොඩිම කාලෙ ඉඳන්ම දෙමවුපියන් දරුවන්ට ඇහෙන්න කියවන එක. ඒකට දරුවන්ට අකුරු කියවන්න පුළුවන් වෙන වයස හරි, දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන වයස හරි එනකම් ඉන්න ඕනෙ නෑ. එතකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. දරුවා යන්තම් පොඩ්ඩක් ඔළුව උස්සල හිනාවෙන කාලේ ඉඳන්ම එයාගේ ඇහැට පේන්න පොත් තියන්න. චූටිම බබාල වෙනුවෙන් හදපු ලස්සන රෙදි පින්තූර පොත් වගේ දේවල් භාවිතා කරන්නත් පුළුවන්. පොත් කියන සංකල්පයට පොඩ්ඩා හුරුකරවන එක තමයි මේකෙන් වෙන්නෙ. බබා ටික ටික ලොකු වෙනකොට ඇහැට පේන හැම තැනකම පොත් තිබුණොතින් නොදැනීම ඒක එයාගෙ ජීවිතේ වැදගත් දෙයක් වෙනවා.

 

ඊළඟට බබාව ළඟින් තියාගෙන කියවන්න. ලස්සන කතන්දර පොඩ්ඩට ආස හිතෙන විදිහට හඬවල් අනුකරණය කර කර කියවන්න. කියවන අතරතුර “ඊළඟට මොකක් වෙයිද..?” වගේ ප්‍රශ්න අහල කුතුහලය ඇති කරන්න. කතා කියවන එක එපා කරපු වැඩක් නොවී පොඩ්ඩ ආසම වැඩක් වෙන්නේ එතකොටයි. කියවන අතරෙදි බබාව අම්මගෙ තාත්තගෙ ළඟට තුරුල් කරගෙන කියවන එකත් තව ට්‍රික් එකක්. ඒ ආදරේට ආස නිසාත් පොඩ්ඩො කියවන වෙලාවට කැමති වෙනවා.

 

3. කියවපුවා ගැන ඔබත් කතා කරන්න

 

බබාට තේරෙන වයසට ආවම කියවන පොත් ගැන එයත් එක්ක කතා කරන්න. ප්‍රශ්න අහන්න. පවුලේ කීපදෙනෙක් ඉන්නවනම් සාකච්ඡා වටයක් තියන්න පුළුවන් කට්ටියම කියවපු පොත් ගැන. ඒව හැබෑ ජීවිතේට සම්බන්ධ කරල පාඩම් එහෙමත් කියල දෙන්න පුළුවන්. ඒ එක්කම කියවන්න උනන්දු කරන්න පොඩි පොඩි තෑගි දෙන්නත් පුළුවන්. ඔක්කෝටම වඩා දරුවා කියවන දේ ගැන අම්ම තාත්ත දැනුවත් වෙන එකත් මෙතැනදි වෙනවා.

 

4. එයාලට තෑගි දෙන්න

 

දරුවාගේ උපන්දිනේකට, පොඩි පොඩි ජයග්‍රහණ වලට වගේ එයාගේ ජීවිතයේ ඕනෙම හේතුවකට පොතක් තෑගි දෙන්න ඔබට පුළුවන්. පොතක් තරම් වටිනා තෑග්ගක් නැති බව කියවන්නෝ දන්නවා. අම්මගෙනුයි තාත්තගෙනුයි පැටියට පුංචි ආදරණීය විශ් එකක් ලියල ආසම පොතක් තෑගි දුන්නම පොඩ්ඩ ජීවිත කාලෙම පරිස්සම් කරයි ඒක. වෙන තෑගි වලට වඩා ඇත්තටම ඒක ගොඩාක් වටිනවා.

 

5. ගෙදර ඇතුළේ පුංචි පොත් රාක්කයක්

ඒ විදිහට තෑගි වලට හම්බවෙන පොත් පත් තියාගන්න ගේ ඇතුළේ, එක්කෝ දරුවගෙ කාමරේ ඇතුළෙම ලස්සන පොත් මුල්ලක් හදල දෙන්න. ඒ කිව්වේ ඉඩ තියෙන විදිහට පොඩි රක්කයක් තියල, ලස්සනට පොත් අහුරල දෙන්න. පොඩ්ඩට විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක්ට දැක්ක ගමන් ආස හිතෙන පුංචි පොත් මුල්ලක්. එතකොට කම්මැලි හිතුනම පොඩ්ඩ ඉස්සෙල්ලම දුවන්නෙ පොත් මුල්ලට.

 

6. පුස්තකාලයට එක්කන් යන්න

ඔන්න තව ටිකක් ලොකු උනාම අම්මලාට පුළුවන් බබාලවත් එක්කගෙන පුස්තකාලයකට යන්න. පොඩ්ඩව පුස්තකාලයට බඳවන්න. මොන්ටිසෝරියේ ඉඳන්ම කරන්න පුළුවන් වැඩක් මේක. ලංකාවේ හුඟාක් නගර වල හොඳ රජයේ පුස්තකාල තියෙනව. ලයිබ්රි එක ඇතුළෙ ඉඳගෙනම කියවන්න හරි, පොත් අරන් ඇවිත් කියවන්න හරි ඕන එකක් පුළුවන්නෙ. පුස්තකාලය කියන පරිසරයට පොඩ්ඩ හුරුවුණොත් ඒකෙන් ගලවගන්නව නම් බොරු.

 

7. එයාලටම තේරීම් කරන්න ඉඩදෙන්න

පුළුවන් හැම වෙලාවකම පොඩ්ඩ කියවන පොත් එයාටම තෝරන්න දෙන්න. ලයිබ්‍රි එකට ගියත්, පොත් කඩේකට ගියත් පොත් තෝරන නිදහස තියෙන්න ඕනේ. එහෙම නැතුව දරුව කියවන්න ඕන හැම පොතම අම්ම හෝ තාත්ත තීරණය කරන්න ගියොත් නම් වැඩි කල් නොගොහින් පොත් කියවිල්ල වහක් වෙන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවලදී විතරක් “ඒක එපා පුතේ” කියල කියන්න පුළුවන් ගාණට කන්ට්‍රෝල් එකක් තියාගෙන එයා ආස දේ තෝරගෙන කියවන්න දරුවට නිදහස දෙන්න. කොහොමටත් පුංචි කාලෙ ඉඳන් දාර්ශනික පොත පත කියවන්නේ නෑ කිසිම දරුවෙක්. එයාල ආස කාටුන් කතා, සුරංගනා කතා, රහස් පරීක්ෂක කතා වගේ ඒවට තමයි. ලොකු වෙනකොට දැනුම ලබාගන්න අවශ්‍ය පොත් කියවන්න පොඩ්ඩ ඉබේම හුරුවෙයි. එතකල් ඔබ බලපෑම් කරන්න එපා.

 

8. තාක්ෂණික මෙවලම් සීමා කරන්න

දරුවන්ව කොච්චර කියවන්න පුරුදු කළත් වැඩක් නැහැ දරුවො අනවශ්‍ය විදිහට තාක්ෂණයට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ. අලුත් ඩිජිටල් මෙවලම් වල තියෙන ලස්සන, ලේසිය නිසා ලොකු පොඩි කවුරුත් මේවට ඇබ්බැහි වෙනවා. ස්වභාවයෙන්ම අලුත් පරම්පරාව මේවට ගිජුයි. මොළේටත් හරිම ලේසියි නෙ. පොතක් කියෙව්වම වගේ පරිකල්පනයට මහන්සි වෙන්න ඕනෙ නෑ. ඉතින් මොළය වුණත් සහය දෙන්නේ නෑ කියවන්න. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම දරුවන්ව ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ටීවී වගේ දේවල් වලින් ඈත් කරන්න. එපාම කියනව නෙමෙයි. තාක්ෂණයත් ඉගෙන ගන්න අවශ්‍යයි තමයි. නැත්තම් කොහොමද අද ලෝකෙ ඉස්සරහට යන්නෙ? ඒත් ඒවාට ඇබ්බැහි නොවී ඉන්න දරුවාට සීමාවක් හදලා දෙන්න.