වැ​ළඳගැනීමක වැදගත්කම දන්නවද?

අපි හැමෝම කාර්යබහුල, ආතති සහගත ජීවිතයක් ගත කරනවා. ඒ, දෙමව්පියන් වශයෙන් නිමක් නැති වගකීම් රාශියක් ඉශ්ට කරන්න ඔබට සිද්ධ වෙලා තියන නිසයි. ඒත් දෙමවුපියන් කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි දරුවන්ට විශාල ආදරණීය වැළඳ ගැනීමක් ලබා දීම. පසුගිය දශකය තුළ කරන ලද පර්යේෂණ මගින් ළමා වියේදී දෙමවුපියන්ගෙන් ලැබෙන සෙනෙහස සහ සෞඛ්‍යය දරුවන්ගේ අනාගතයේ සතුට අතර සම්බන්ධය ඉස්මතු කරවන බව සොයාගෙන තිබෙනවා. 

 

දෙමාපියන් තම දරුවන්ට දක්වන උණුසුම සහ සෙනෙහස ඔවුන්ට ජීවිත කාලය පුරාම ධනාත්මක ප්‍රතිඵල ලබා දෙනවා කියලා නූතන විද්‍යාව ද සනාථ කරනවා. දරුවන්ගේ ඉහළ ආත්ම අභිමානය, වැඩිදියුණු වූ අධ්‍යාපන කාර්ය සාධනය, වඩා හොඳ දෙමාපිය-ළමා සන්නිවේදනය සහ මානසික හැසිරීම් ගැටළු අඩු වීම ආදී ගුණාංග සම්බන්ධ වෙලා තියෙන්නේ මේ සෙනෙහස සමඟයි. අනෙක් අතට ආදරණීය දෙමව්පියන් නොමැති දරුවන්ගේ ආත්ම අභිමානය අඩු අතර වඩාත් හුදෙකලා , සතුරු, ආක්‍රමණශීලී සහ සමාජ විරෝධී බවක් ඔවුන් තුළ හට ගන්නවා. අද අපි ඔබට කියන්නේ ඒ ගැනයි…

 

විද්‍යාව කියන දේ

 

දෙමව්පියන්ගේ සෙනෙහස සහ දරුවන්ගේ සතුටුදායක සාර්ථකත්වය අතර සම්බන්ධතාවය ඉස්මතු කරන මෑත කාලීනව අධ්‍යයන ගණනාවක් සිද්ධ කරලා තියනවා.

 

2010 දී ඩියුක් සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගත්තේ ඉතා ආදරණීය හා අවධානයෙන් යුත් මව්වරුන් සිටින ළදරුවන් සතුටින්, වඩා ඔරොත්තු දෙන හා අඩු කනස්සල්ලට පත්වන වැඩිහිටියන් ලෙස වැඩෙනවා කියලයි. මව්වරුන්ගේ “අධික” හෝ “ආදරණීය” සෙනෙහස පෙන්වූ වැඩිහිටියන් අනෙක් අයට වඩා මානසික ආතතිය හා කනස්සල්ලට පත්වීමට ඇති ඉඩකඩ අඩු අය වී තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඔවුන් සතුරුභාවය, කරදරකාරී සමාජ අන්තර්ක්‍රියා සහ මනෝවිශ්ලේෂණ රෝග ලක්ෂණ වාර්තා කිරීමට ඇති ඉඩත් අඩු වෙලා තියනවා. 

 

ඔක්සිටොසින් හෝමෝනය

පර්යේෂකයන් නිගමනය කළේ ඔක්සිටොසින් හෝමෝනය මෙම බලපෑමට හේතු වෙන්න ඇති කියලයි. ඔක්සිටොසින් කියන්නේ පුද්ගලයෙක්ට ආදරය හා සම්බන්ධතාවය දැනෙන කාලවලදී නිකුත් වන මොළයේ ඇති රසායනික ද්‍රව්‍යයක්. ඒ හෝර්මෝනය දෙමව්පියන්ට තම දරුවන් සමඟ බැඳීමක් ඇති කර ගැනීමට උපකාර වන අතර, ඔවුන් අතර විශ්වාසය හා සහයෝගය පිළිබඳ හැඟීමක් එක් කරයි. මෙම බන්ධනය බොහෝ විට අපේ මොළයට ඔක්සිටොසින් නිපදවීමට සහ භාවිතා කිරීමට උපකාරී වන අතර එමඟින් දරුවන්ට තමන් පිළිබඳවම වඩාත් ධනාත්මක හැඟීම් දැනෙන්න පටන් ගන්නවා.

 

ඉතින්, ඔබගේ පවුලට වැළඳගැනීම් ගෙන එන්නේ කොහොමද?

 

උපන් දා සිට

 

ඔබ රෝහලෙන් ඔබේ දරුවා ගෙදර ගෙන එන මොහොතේ ඉඳන් දරුවා ඔබේ අත්වල රඳවා තබා ගැනීමට, ස්පර්ශ කිරීමට හා නලවන්නට වග බලා ගන්න. ඔබේ සමට දරුවාගේ සම ස්පර්ශ වෙන විදිහට බොහෝ වටිනා අවස්ථා ඔබේ දරුවාට ලබා දෙන්න.

 

නිතර එකට ඉන්න

දරුවන් ටික ටික වැඩෙද්දී එයාලා එක්ක එකට නටන්න. ඒ වගේ විනෝදජනක ක්‍රියාකාරකම් කිරීමෙන්, වැළඳගැනීමෙන් හෝ සිපගැනීමෙන් දරුවන් වෙත ලං වෙන්න. ළමා සෙල්ලම් නිර්මාණය කිරීමෙන් ඔබත් ටිකක් දරුවන් එක්ක සෙල්ලක්කාර වෙන්න.

 

දින චර්යාවේ කොටසක්

 

වැළඳ ගැනීම ඔබේ දෛනික චර්යාවේ කොටසක් බව තහවුරු කර ගැනීමට මතක් කිරීමක් සකසන්න. නැත්නම් ඔබේ දරුවන් පාසලට පිටත්ව යන්න කලින් පාසලෙන් නිවසට පැමිණෙනකොට සහ නින්දට පෙර වගේ නිශ්චිත වේලාවක ඔවුන්ව වැළඳ ගැනීමට වග බලා ගන්න.

 

ස්නේහවන්ත වෙන්න

 

තවත් සිත්ගන්නා අදහසක් තමයි ඔබේ දරුවා හික්මවන්න, විනයගරුක කරන්න ඔබේ සෙනෙහස භාවිතා කිරීම. ඔවුන් කළ වැරැද්ද ගැන ඔබ ඔවුන් සමඟ කතා කරනකොට ඔවුන්ගේ උරහිස මත අත තබා සංවාදයේ අවසානයේදී ඔවුන්ව බදාගන්න. ඔවුන්ගේ හැසිරීම ගැන ඔබ සතුටු නොවුනත්, ඔබ තවමත් ඔවුන්ට ආදරය කරන බව ඔවුන්ට සහතික කරන්න. 

 

ඔබේ තරහා පාලනය කරගන්න

 

අවසාන වශයෙන් ඔබට තරහක් ආවා කියලා ඔබේ දරුවන්ට හිරිහැර නොකිරීමට වගබලා ගන්න. ඔවුන්ගේ පෞද්ගලික නිදහසට ගරු කරන්න, ඔවුන් වයසින් වැඩෙද්දී ජීවිතයේ විවිධ අදියරයන් පසු කරනකොට නරක තත්ත්වයන් වෙනස් වන බව මතක තබා ගන්න.