Search here...
TOP
පෝෂණ​ය මව සහ ගර්භනී සම​ය

ගර්භනී කාලයේ කෝපී පානය කිරීම සුදුසුද?

ලොව ජනප්‍රියම පානය කෝපී කියා ඔබ දන්නවනේ. ඒ වගේම ඔබගේත් ප්‍රියතම පානය කෝපි ද? ගර්භනී වීමත් සමග කෝපි පානය කිරීමට නැවතීමෙ තිත තැබීමට බොහෝ කාන්තාවන්ට සිදුවෙනවා. නමුත් ඇත්තටම ගර්භනී සමයේදී කෝපි පානය කිරීමට නුසුදුද?

ගර්භනී සමයේදි කැෆේන් සහිත කෝපි පානය වැඩිපුර කිරීම මව සහ දරුවා යන දෙදෙනාටම ගැටළු ඇතිවීමට හේතු වෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එමනිසා ඔබ ගර්භනී කාන්තාවක් නම් දිනකට කැෆේන් මිලිග්‍රැම් 200කට අඩු ප්‍රමාණයකට සීමා කල යුතුයි. කැෆේන් වැඩි පුර පානය කිරීම,

– අඩු බර දරු උපත් සඳහා අවධානම වැඩි කරයි
– ගබ්සා අවධානම වැඩිකරයි

ඒ වගේම ඔබ පානය කරනා කෝපි වර්ගය සහ වෙළඳ නාමය අනුවද කෝපිවල අඩංගු කැෆේන් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම ගර්භනී ඔබ කෝපි පානය කරන විට කොපමණ මිලිලීටර ප්‍රමාණයක් බොනවාදැයි සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

දිනකට ඔබ පරිභෝජනය කරනා කෝපිවලින් පමණක් නොව ඔබ ආහාරයට ගන්නා තේ, සෝඩා සහ චොකලට් හි අන්තර්ගත කැෆේන් ප්‍රමාණය පිළිබඳවද සැළකිලිමත් වෙන්න. විශේෂයෙන් එවැනි ආහාරපාන පරිභෝජනයට පෙර කැෆේන් එක්කර ඇත්දැයි බැලීමට හොඳින් ඇසුරුම කියවා බලන්න.

ගර්භනී සමයේ කෝපි පානය දරුවාට බලපෑමක් එල්ල කරනවාද?

මෙය මවුපදවිය අපේක්ශාවෙන් සිටින කාන්තාවන්ට ඇති ගැටළුවක්. ගර්භනී ඔබට දිනකට කෝපි කෝප්ප එකත් – එකහමාරත් අතර නැතිනම් මිලිලීටර 250ත් 350ත් අතර ප්‍රමාණයක් පානය කිරීමට පුළුවන්. නමුත් දිනකට කැෆේන් මිලිග්‍රෑම් 200ට වඩා අඩුවෙන් පරිභෝජනය කෙරෙහි අවධානයෙන් සිටිම වැදගත් වෙනවා.

ගර්භනී සමයේ කෝපි පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ

ගර්භනී සමයේ කෝපි පානය කිරීමෙන් විශේෂ ප්‍රතිලාභයක් නොලැබුනත් ඔබ එයට පුරුදු වී සිටිනවා නම් එමගින් ප්‍රාණවත් බවක් ලබාගැනීමට උදවු වෙනවා. සාමාන්‍යයෙන් ගර්භනී සමයේ සිරැරට වෙහෙසක් අප්‍රාණික බවක් දැනීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම සිරැරේ යකඩ අඩුවීමද එම තත්ත්වය වැඩිවීමට බලපානවා. එමනිසා ඔබ පුරුදූ වී සිටින කෝපි කෝප්පය ගර්භනී සමයේදි ද අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයාට දැණුම් දෙන්න.

ඒ වගේම ඔබ උදෑසන පානය කිරීමට හුරුව සිටින කෝපි කෝප්පය ගර්භනී වුවා කියා නැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රමාණය අඩු කොට කුඩා කෝපි කෝප්පයක් පානය කිරීමට ඔබට පුලුවන්.

ඔබට අනුගමනය කළහැකි ආරක්ශිත පියවර

කැෆේන් වැදෑමහ හරහා ගමන් කර ඔබගේ කුසතුළ සිටින දරුවාගේ රුධිර ප්‍රවාහයට ඇතුල් වෙනවා. කළලයේ ආහාර ජීර්න පද්ධතිය මගින් කැෆේන් කාර්යක්ෂමව පරිවෘත්තීය කිරීමට නොහැකි නිසා කැෆේන් අඩංගු පානයන් සීමා සහිතව පානය කල යුතු වෙනවා. කෝපි පානය නිසා ඔබට පහත දැක්වෙන අවධානම් තත්ත්ව ඇතිවීමට ඉඩ තිබෙනවා.

– නින්ද නොයෑම සම්බන්ධ ගැටළු : නින්දට ආසන්න වේලාවේ කෝපි පානය කිරීමෙන් වැළකීම සුව නින්දක් ලබාගැනීමට වැදගත් වෙනවා.

– Hypertension නැතිනම් අධි රුධිර පීඩන අවධානම : ඔබට රුධිර පීඩනය වැඩිවිම සම්බන්ධ රෝග ඉතිහාසයක් තිබේ නම් ගර්භනී සමයේ කෝපි පරිභෝජනය සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනී වඩාත් සුදුසු වෙනවා.

– අඩු උපත් බර සහිත දරුවන් බිහිවීම : දිනකට කැෆේන් මිලිග්‍රෑම් 200කට වඩා පරිභෝජනය කරන මවුවරුන් අඩු උපත් බරක් සහිත දරුවන් බිහි කරනවා. එම නිසා ඔබ ගර්භනී සමයේ ලබාගන්නා දෛනික කැෆේන් මට්ටම පිළිබඳව අවධානය යොමුකල යුතු වෙනවා.

– ගර්භනී ආතතිය වැඩිවිම

කැෆේන් වැඩිපුර පානය කිරීම සිරැරේ ආතති හෝමෝනය හෙවත් කෝටිසෝල් මට්ටම ඉහළ නැංවීමට හේතුවෙනවා. එය ගර්භනී ඔබට පමණක් නොව කුස තුළ සිටින දරුවාටද බලපාන බවයි නවතම පර්‍යේශණ මගින් සනාථව තිබෙන්නෙ.

– ගබ්සා වීම් හෝ මළදරු උපත්

අධිකව කැෆේන් සිරැරට ලැබීම catecholamine නමැති හෝමෝනය නිපදවීමට හේතුවෙන අතර එය ගබ්සා වීම් හෝ මළදරු උපත් ඇතිවීමට හේතු වෙනවා.

කෝපි පානය වෙනුවට ඔබට අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද

– කැෆේන් ඉතා අඩුකර ඇති Decaffeinated කෝපි වර්ග පානය කිරීම

– හරිත තේ හෝ කළු තේ පානය කිරීම : විශේෂයෙන් උණුසුම් හෝ ශීතකල තේ කෝප්පයක් ඔබට කෝපි වෙනුවට වඩා සාර්ථක විකල්පයක් ලෙස භාවිතා කල හැකියි. ග්‍රීන් ටී කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 30ක් පමණ ඇති අතර කළු තේ කෝප්පයක මිලිග්‍රෑම් 50ක් පමණ අඩංගු වෙනවා. එය ඔබ කැෆේන් සහිත පානයන් ට හුරුව සිටීනම් ඔබට අවශ්‍ය ප්‍රබෝධය ලබාගැනිමට ප්‍රමාණවත්.

ඔබ ගර්භනී වීමට පෙර සිටම කෝපි පානය කිරීමට හුරුව සිටියා නම් ගර්භනී සමයේ දී එය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එසේ කිරීම ඇතැම් විට ඔබට යම් මානසික ආතතියක් ඇතිකරන්නත් පුළුවන්. ගැබ් ගැනීමෙන් අනතුරුව දිනකට ඔබ පානය කරනා කෝපි ඇතුළු අනෙකුත් කැෆේන් අඩංගු ආහාර පාන පිළිබඳව සැළකිලිමත් වෙන ගමන්ම , ඔබගේ ප්‍රියතම කෝපි කෝප්පය වෙනුවට ප්‍රමාණයෙන් අඩු කෝපි කෝප්පයක් තෝරා ගැනීමටත් අවධානය යොමු කරන්න. එය කෝපි මගින් ඔබටත් දරුවාටත් එල්ලකරනා අතුරු ආබාධ වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමයක්.

«

»