ගර්භණී අවදියේදී සිත සැහැල්ලු කරගන්න භාවනා ක්‍රමයක් ඉගෙනගන්​න

ඇත්තටම ගැබ් ගැනීම කියන්නේ සුන්දර, ආකර්ෂණීය හා ඉන්ද්‍රජාලික අත්දැකීමක්. නමුත් සමහර අම්මලාට ඒක අදහන්න බැරි තරම් ආතතියක්. ගැබ් ගැනීම නිසා ඇති වෙන අධික ආතතිය ඔබේ මානසික සෞඛ්‍යයට වගේම ඔබේ ශාරීරික සෞඛ්‍යයටද හානි වෙන්න පුළුවන්. මානසික ආතතිය දුරු කරගෙන නැවත මනස ශක්තිමත් කර ගන්න වඩාත්ම ඵලදායී ක්‍රමයක් වෙන්නේ භාවනාවයි. දවසට මිනිත්තු කිහිපයක් නිශ්ශබ්දව සිටීම, ඔබේ හුස්ම ගැන අවධානය යොමු කිරීම, ඔබේ සියලුම සිතුවිලි අතහැර භාවනාවක් කිරීම මඟින් ඔබට ජීවිතයේ ප්‍රබෝධයක්, පුනර්ජීවනයක් සහ කිසිදා නිම නොවන මානසික සහනයක් ලැබෙන්න පටන් ගනියි.

 

ඔබ මීට කලින් දිනපතා භාවනා කරලා නැතුවත් ඇති. ඒත් ඒක ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වෙනුවෙන් අරුමපුදුම දේ කරන්න පුළුවන් වැදගත් ජීවන පුරුද්දක්. මෙම ප්‍රධාන කරුණු 7 අනුගමනය කිරීමෙන් ඔබට සාමකාමී, වඩාත් සැහැල්ලු සහ වඩාත් සුවපහසු ගැබ් ගැනීමක් උදා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වෙන කවරදාකටත් වඩා ඔබ මානසිකව ඔබේ දරුවා සමඟ සම්බන්ධ වෙමින් පවතින බවක් ඔබට දැනෙයි.

 

සුව පහසු ස්ථානයක් සොයා ගන්න

ඔබට භාවනා කරලා පළපුරුද්ද ඇතත් හෝ නැතත් මේ කාලයේදී ඔබේ වැඩෙන උද‍රයට සුවපහසුවක් ලබා ගන්න එක දුෂ්කර වෙන්න පුළුවන්. බොහෝ භාවනා කිරීම වඩාත් සුදුසු වන්නේ කෙළින් ඉඳගෙනයි. නමුත් ඒක හැම වෙලාවකම කරන්න බෑනේ. විශේෂයෙන් ඔබ තුන්වන ත්‍රෛමාසික කාලයේ ඉන්නකොට ඒක කොහොමත් අමාරුයි. වැදගත්ම දෙය තමයි ඔබට සුවපහසු ස්ථානයක් සොයා ගැනීම සහ ඔබට කිසිදු අපහසුතාවයක් හෝ වේදනාවක් නොදැනෙන ආකාරයක් සොයා ගන්න එකයි. වැතිරීලා භාවනා කරන එක ඒකට හොඳ විකල්පයක්. විශේෂයෙන් ඔබේ කකුල් අතරට කොට්ටයක් තබා ගැනීම තවත් පහසු වෙයි. 

 

ඔබේ බඩට අවධානය යොමු කරන්න

ඔබේ බඩ දිගින් දිගටම විශාල වෙනකොට ඔබ තුළ වැඩෙන දරුවා කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඔබේ භාවනාව සකස් කර ගන්න පුළුවන්. ගැඹුරු හුස්ම ගැනීමේ ක්‍රමයක් උත්සාහ කරන්න, එහිදී ඔබ ඔබේ දෑත් ඔබේ බඩේ ගැටිත්ත මත තබා ඔබේ දරුවා ස්පර්ෂ කරගන්න. ඔබේ බඩ තුළ සිදුවන්නේ මොකක්ද කියලා අවධානය දෙන්න. ඔබට යම් උණුසුමක් හෝ චලනයක් දැනෙනවා නම් ඒක සැලකිල්ලට ගන්න. සෙමින්, ඇතුළට සහ පිටතට හුස්ම ගන්න. ඔබේ බඩට ගැඹුරින් හුස්ම දෙන්න. ආර්ම්භයේදී මේ වැඩේ දිනකට මිනිත්තු පහකින් ආරම්භ කරන්න ඔබට පුළුවන්. සෑම සතියකම ඔබේ කාලය ටික ටික වැඩි කරගන්න.

 

ගැඹුරින් හුස්ම ගන්න

සමහර භාවනා ක්‍රම සඳහා වේගයෙන් හුස්ම ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට ගැඹුරින් හුස්ම ගැනීම ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ ඇස් වසාගෙන ඔබේ නාසය හරහා හුස්ම ගන්න. ඔබේ සාමාන්‍ය හුස්මගන්නා වේගය අඩු කර දිග සහ ගැඹුරු හුස්ම ගන්න. ඔබේ බඩ පිම්බී පසුව පපු කුහරය සහ පෙනහළු පිරෙන ලෙසට හුස්ම ගන්න. හුස්ම පහත හෙලද්දී ඔබේ පපුව සහ බඩ හිස් කරන්න (ඔබට ඔබේ නාසය හෝ මුඛය හරහා හුස්ම ගන්න පුළුවන්. වඩාත් සන්සුන් හා සුවපහසු යැයි හැඟෙන ඕනෑම ආකාරයක් තෝරගන්න). මාස කීපයකට පස්සේ ඔබ හුස්ම ගන්නකොට සහ හුස්ම පිටතට පිට කරනකොට ඔබේ උදරයේ චලනය අඩු වෙලා කියලා ඔබට පෙනෙයි. නමුත් අර විදිහට හුස්ම ගන්න ක්‍රමය දිගටම කරන්න.

 

කැමති භාවනා වර්ගයක් හෝ මන්ත්‍රයක් තෝර ගන්න

භාවනාවේදී ඔබ එකම වාක්‍ය ඛණ්ඩයක් නැවත නැවත කියනකොට, ඒක ඔබේ ස්වයං විඥානයට යන නිසා ඒ වචනවල ප්‍රබල අර්ථය ඇත්තටම ඔබේ මනසට අවශෝෂණය වෙනවා. ඒ නිසා ගර්භණී සමයේදී ඔබේ අවශ්‍යතාවය සඳහා සුදුසු භාවනා වර්ගයක් හෝ මන්ත්‍රයක් තෝරා ගන්න උත්සාහ කරන්න. ඔබේ කණස්සල්ලෙන් මිදීමට සහ මේ මොහොතේ ජීවත් වීමට ඔබට ඕනෑම භාවනා ක්‍රමයකින් උපකාර ගන්න පුළුවන්. ඒකෙන් ඔබට වර්තමානයේ ජීවත් වෙන්න ඉඩ ලැබෙන අතර අනාගත කරදර ද දුරු වෙයි.

 

මඟ පෙන්වීම් සහිත භාවනා ක්‍රම කිරීමට උත්සාහ කරන්න

භාවනාව කියන්නේ ඔබේ ශක්තිය හා ආතති මට්ටම යහපතකට පරිවර්තනය කරන්න පුළුවන් ප්‍රබල පුහුණුවක්. නමුත් සමහර වෙලාවට ඒක තනිවම කර ගන්න අපහසු වෙයි. විශේෂයෙන් ඔබ භාවනාවට අළුත් නම්, මිනිත්තු කිහිපයක් එක දිගට අවධානය යොමු කරගන්න එක හුරු නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට පුහුණු උපදේශකයෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට භාවනා කරන්න පිවිසෙන්න පුළුවන් යෝග ක්‍රමයක් හෝ භාවනා පන්තියක් සොයා ගන්න. භාවනා පන්තියකට සහභාගී වෙන්න හැකියාවක් නැත්නම් නම්, ඔබේ නිවසේම ඉඳන් භාවනා කරන්න උදව් කරගන්න පුළුවන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.

 

ඔබේ වෛද්‍යවරයා හමුවන්න

ඔබ අනුගමනය කරන භාවනා ක්‍රමය ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ද කියලා තහවුරු කර ගැනීමට ඔබේ වෛද්‍යවරයාව ඒ ගැන දැනුම්වත් කරලා තියන්න. ගර්භණී සමයේ ඒ වෙනුවෙන් ඔබට උදව් කිරීමට වෛද්‍යවරයා කැප වෙලා ඉන්න නිසා ඔබට භාවනාව සම්බන්ධයෙනුත් බුද්ධිමත් උපදෙස් ලබා ගන්නත් පුළුවන් වෙයි.

 

බොහෝ විට මෙනෙහි කරන්න

ඔබේ දෛනික කටයුතු අතරතුරට භාවනාව ඇතුළත් කරලා මනස නිදහස් කරගන්න. විවිධ ශිල්පීය ක්‍රම හා භාවිතයන් සමඟ ඔබේ භාවනාවට මිශ්‍ර කරන්න. සමහර ක්‍රම මඟින් ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතර අනෙක් ඒවා ඔබව සැහැල්ලුවෙන් හා මානසික ආතතියෙන් තොරව තියනවා. ඔබට විවිධ වර්ගයේ භාවනා ක්‍රම අත් හදා බලන්න අවශ්‍ය නම් සතියකට වරක් ඒ වගේ දෙයක් උත්සහ කරලා බලන්න. ඔබට ගැලපෙන කාලසටහනක් හදාගෙන ඒකට අනුව කටයුතු කරන්න. ඔබ වැඩි වැඩියෙන් භාවනාව මෙනෙහි කරන තරමට, ඔබට මානසික හා ශාරීරික සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගනියි.