මොකක්ද මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහ කිරි ආසාත්මිකතාවය? – 1 කොට​ස

සමහර ළදරුවන්ට සහ දරුවන්ට එළකිරි හෝ එළකිරි වලින් සාදන ලද කිරි ෆෝර්මියුලා පානය කරනකොට ශරීරය තුළ ඒකට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මේක කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ “ලැක්ටෝස් ඉන්ටොලරන්ස් (lactose intolerance)” හෝ “කිරි ආසාත්මිකතාවයක්” නිසා මේ ප්‍රතික්‍රියාවන් ඇති වෙනවා. ඔබේ දරුවාට මෙම තත්ත්වයන්ගෙන් එකක් හරි තිබෙනවා නම් දෙන කිරි ප්‍රමාණය අඩු කිරීම හෝ එය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ ආහාර වේල ද වෙනස් කරන්න වෙනවා.

 

ඔබේ දරුවාට පහත රෝග ලක්ෂණ ඇති වුණොත් වහාම වෛද්‍යවරයා හමු වෙන්න. නැත්නම් ගිලන් රථ සේවාවක් අමතන්න. මොකද කිරි හරහා දරුණු අසාත්මිකතා ඇති වෙන්න පුළුවන් අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර ද දරුවාට අවශ්‍ය වෙනවා.

 

  • හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා.
  • ඉදිමුණු දිව.
  • වමනය.
  • දරුවා සුදුමැලි, කඩාවැටෙන සුළු හෝ සිහිසුන් වෙලා නම්.

 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහ කිරි ආසාත්මිකතා කියන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් කුඩා දරුවන් 10 දෙනෙකුගෙන් එක් දරුවෙක්ට එළකිරි පානය කරන විට ප්‍රතික්‍රියා ඇති වෙනවා. මෙය ලැක්ටෝස් ඉන්ටොලරන්ස් හෝ කිරි ආසාත්මිකතාවයක් නිසා ඇති වෙන්න පුළුවන්. වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වයට වඩා කිරි ආසාත්මිකතා බහුලව දකින්න ලැබෙනවා.

 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන්නේ ආහාර ජීරණ පද්ධතියේ ගැටළුවක්. ඒකෙන් අදහස් කරන්නේ කිරිවල අන්තර්ගත සීනි හඳුන්වන්නේ ලැක්ටෝස් කියලා නිසා ඒවා ජීර්ණය කිරීමට අවශ්‍ය එන්සයිමය ඔබේ දරුවාට නොමැති බවයි.

 

කිරි ආසාත්මිකතා කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළුවක්. දරුවෙක් කිරි බිව්වම ශරීරය විසින් කිරිවල ඇති ප්‍රෝටීන වලට ප්‍රතික්‍රියා කරනවා. ආසාත්මිකතා සාමාන්‍යයෙන් ශරීරයේ අනෙකුත් කොටස් වලට මෙන්ම ආමාශයටද සම්බන්ධ වන අතර සමේ රෑශ් හෝ මුහුණේ ඉදිමීම වැනි රෝග ලක්ෂණ ඒ හරහා ඇති වෙන්න පුළුවන්.

 

අදාළ වෛද්‍ය පරීක්ෂණ සිද්ධ කිරීමෙන් ඔබේ දරුවාටත් ලැක්ටෝස් ඉන්ටොලරන්ස් හෝ කිරි ආසාත්මිකතාවයක් තිබෙනවා ද යන්න ඔබේ වෛද්‍යවරයාට තහවුරු කරන්න පුළුවන්. සොටු දියර ගැලීම හෝ කැස්ස කියන්නේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සඳහා හේතුවක් නෙමෙයි.

 

බොහෝ කුඩා දරුවන් තුළ විවිධ ඉන්ටොලරන්ස් තත්ත්ව හෝ අසාත්මිකතාවයන් වර්ධනය වෙනවා. නමුත් ඔබේ වෛද්‍යවරයා විසින් කිරි දීම ආරක්ෂිතයි කියලා ඔබට කියනකල් එළකිරි ලබා දීම ආරම්භ කරන්න එපා.

 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් 

 

හේතු

 

ලැක්ටෝස් කියන්නේ මිනිසුන් ඇතුළු සියලුම ක්ෂීරපායි සතුන් විසින් නිපදවන කිරි වල අන්තර්ගත සීනි වලටයි. සමහර විට මිනිසුන්ගේ ශරීර තුළ ලැක්ටෝස් බිඳ දැමීමට තරම් ලැක්ටේස් එන්සයිම නිපදවන්නේ නෑ.

 

ළදරුවන් අතළොස්සකට උපතින්ම ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ඇතුවයි උපදින්නේ. ඔවුන් එන්සයිම නොමැතිව උපත ලබන්නේ දුර්ලභ ජානමය තත්ත්වයක් නිසායි (මෙය ප්‍රාථමික ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ලෙස හැඳින්වෙනවා). කෙසේ වෙතත් බොහෝ දරුවන්ට වයස අවුරුදු 5 න් පසුවයි ඔවුන්ගේ ජීවිතයේ පසුකාලීනව ලැක්ටෝස් ඉන්ටොලරන්ස් වර්ධනය වෙන්නේ. 

 

ආමාශ ආන්ත්‍රයික රෝගයක් හෝ වෙනත් ආහාරයකට දක්වන ආසාත්මිකතාවයක් හෝ ඉන්ටොලරන්ස් රෝගයක් නිසා ළදරුවන්ට සහ කුඩා දරුවන්ගේ බඩවැල්වලට හානි සිදු වුණොත් කිරිආහාර නොඉවසන ගතියක් එන්න පුළුවන්. මෙය ද්විතියික ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ලෙස හැඳින්වෙන අතර බඩවැල් සුව වූ වහාම මේ තත්ත්වය පහව යනවා.

 

රෝග ලක්ෂණ සහ රෝග විනිශ්චය

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් පිළිබඳ රෝග ලක්ෂණ:

 

  • සමහර විට කොළ පැහැති දියරමය සිනිඳු මළපහ
  • බඩේ කැක්කුම
  • ඉදිමීම
  • වාතය පිට කිරීම
  • බර වැඩි නොවීම
  • නැපි රෑශ්

 

මෙම රෝග ලක්ෂණ සියල්ලම ළදරුවන් තුළ බහුලව දක්නට ලැබෙන නිසා ඒකෙන් කියන්න බෑ අනිවාර්‍යෙන්ම ඔබේ දරුවාටත් ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියනවා කියලා. නමුත් ඔබේ දරුවාට පාචනය වගේ තත්ත්වයක් ඇත්නම්, බර වැඩි වෙන්නේ නැත්නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍යවරයා නතර කරන්න කියනකල් දරුවාට මව්කිරි දීම නතර කරන්න එපා.

 

මේ සඳහා කරන පරීක්ශණ වලට හයිඩ්‍රජන් මැනීම සඳහා හුස්ම වල පරීක්ශණයක්ද දරුවාගේ රෝග ලක්ෂණ වල වෙනසක් ඇතිවේදැයි බැලීමට කිරි ආහාර දරුවාගේ ආහාර වේලෙන් ඉවත් කර බැලීමද සිදු කෙරෙනව. මෙය elimination diet ලෙස ද හැඳින්වෙනවා.

 

ප්‍රතිකාර

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වය බඩේ අමාරුවක් නිසා ඇති වුණොත් මව්කිරි දීම දිගටම කරගෙන යන්න. ඔබේ දරුවා කිරි ෆෝර්මියුලා එකකින් පෝෂණය කරනවා නම් අඩු ලැක්ටෝස් හෝ ලැක්ටෝස් රහිත කිරි ෆෝර්මියුලා එකකට මාරුවීමට පෙර ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් සමඟ කතා කරන්න.

 

මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වැඩිහිටි දරුවන්ගේ ආහාර වලින් කිරි සහිත ආහාර සම්පූර්ණයෙන් කපා ඉවත් කිරීම නොකර අඩු කිරීමක් කරන්න පුළුවන්. සුළු වශයෙන් චීස්, යෝගට්, කැල්සියම් වලින් ශක්තිමත් කළ සෝයා නිෂ්පාදන, ලැක්ටෝස් රහිත කිරි, බටර් සහ ක්‍රීම් ලබා දෙන්න පුළුවන්. ඔබේ දරුවාට දීමට සුදුසු හොඳම ආහාර වේල පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ ආහාරවේදියෙකුගෙන් ඔබට උපදෙස් ලබා ගන්න.