Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

මවක් වෙන්න ඉන්න ඔබ සිසේරියන් සැත්කම් පිළිබඳ මේ කාරණා දැන සිටිය යුතුයි

සිසේරියන් සැත්කම හෙවත් C-section හෝ cesarean section යනු දරුවකු ප්‍රසූත කිරීම සඳහා යොදාගනු ලබන ශල්‍යකර්මයක්.. එහිදී මවගේ උදරයේ සහ ගර්භාෂය තුළ කැපුමක් යොදා දරුවා පිටතට ගනු ලබනවා.. සාමාන්‍යයෙන් දරුවා ගර්භාශය තුළ සම්පුර්ණයෙන් වැඩෙන තෙක්  සති 39ක් සම්පූර්ණවන තෙක් සිසේරියන් සැත්කම් සිදුකිරීමෙන් වළකිනවා.. නමුත් හදිසි අවස්ථාවල සිසේරියන් සැත්කම් සිදුකර දරුවා ගනු ලබනවා.

 

සිසේරියන් සැත්කමක් සිදුකරන්නේ ඇයි?

ගර්භනී සමයේ ඇතිවන සංකූලතා නිසා මවකට යෝනි මාර්ගයෙන් දරු ප්‍රසූතිය සිදුකල නොහැකි අවස්ථාවලදී හෝ දරුවාට හෝ මවට ඇතිවන අවදානමක් වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් සිසේරියන් සැත්කම් තෝරාගනු ලබනවා. එමෙන්ම සිසේරියන් සැත්කමක් සිදුකිරීමට පහත හේතූන්ද බලපානු ලබනවා.

දරුවාගේ හිස උපත් මාර්ගයට වඩා විශාල නම්,

දරුවා උපත් අවස්ථාවේ දි කකුල් පහතට යොමුවන සේ සිටීම

මුල් ගර්භනී සමයේ සංකූලතා

මවට අධි රුධිර පීඩන හො හෘද ආබාධ තත්ත්ව තිබේ නම්

මවට ලිංගිකව සම්ප්රේශණය වන හර්පීස් වැනි රෝගයක් තිබේ නම් දරුවා ඉන් ආරක්ෂා කරගැනීම සඳහා

පෙර දරු ප්‍රසූති සඳහා සිසේරියන් සැත්කම් සිදුකිරීම

මවගේ වැදෑමහ ආශ්‍රිත ගැටළු

දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම

–  දරුවා උපත් මාර්ගය දිගේ පැමිණ හිරවීම (stalled labor)

දරුවාගේ උරහිස කොටස පළමුවෙන් පැමිණීම (transverse labor)

 

සිසේරියන් සැත්කමේ ඇති අවධානම් සාධක මොනවාද?

දරු ප්‍රසූතිය සඳහා ලොව පුරා සිසේරියන් සැත්කම් බහුලව භාවිතා කළත් එය දරුවාටත් මවටත් එකසේ අවධානමක් ගෙන එනු ලබන සැත්කමක් ලෙස හැඳින්වෙනවා. සංකූලතා අවම ප්‍රසූති ක්‍රමය ලෙස තවදුරටත් ප්‍රවීණයන් හඳුන්වන්නේ යෝනි මාර්ගයෙන් සිදුවන සාමාන්‍ය දරු ප්‍රසූතියයි.

 

සිසේරියන් සැත්කමක් මගින් සිදුවන අවාධානම් සාධක අතර පහත ලක්ෂණ ප්‍රධාන වෙනවා..

රුධිර වහනය

රුධිර කැටි පිටවීම

දරුවාට හුස්ම ගැනීමේ ගැටළු ඇතිවීමවිශේෂයෙන් සති 39 පෙර සිදුවන දරු උපත් තුළදි මෙය බහුලව දැකිය හැකිවෙනවා.

අනාගතයෙ සිදුවන ගැබ් ගැනීම් සඳහා අවධානමක් ඇතිකිරීම

ආසාදන ඇතිවීමේ අවධානම

ශල්‍යකර්මය අතර දරුවාට තුවාල ඇතිවීමේ අවධානම

සාමාන්‍ය දරු උපතකදී වඩා සිසේරියන් සැත්කම මගින් ඇතිවන තුවාල සුව වීමට කල්ගතවීම

අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවීමේ අවධානම

දරු ප්‍රසූතියට පෙර සාමාන්‍යයෙන් වෛද්‍යවරයා ඔබ සමග ප්‍රසූති ක්‍රමය පිළිබඳව සාකච්චා කරන අතර යම්හෙයකින් ඔබට සිසේරියන් සැත්කමක් සිදුකිරීමට තරම් සංකූලතා ඇත්නම් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට වෛද්‍යවරයා කටයුතු කරනවා.

 

සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කෙසේද?

ඔබගේ සෞඛ්‍යය තත්ත්වය සහ සංකූලතා ඇත්නම් පිළිබඳව සළකා බලා වෛද්‍යවරයා විසින් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් සිදුකරනව යන්න පිළිබඳව ඔබට දැණුම් දෙනවා.. ඉන් පසු රුධිර පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ සිදුකර පිළිබඳව ඇති හැකියාව පරීක්ෂා කරනු ලබනවා. එමෙන්ම හදිසි අවස්ථාවකදී ඔබට රුධිරය පාරවිලනය කිරීමට අවශ්‍ය වන්නේ නම් වෛද්‍යවරුන් ඔබගේ රුධිර ඝනයට අයත් රුධිර වර්ග පෙර සූදානම් කර ගන්නවා.

එමෙන්ම හදිසියේ ඇතිවන සංකූලතා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා සුදානම් වන මවකට වුවද සිසේරියන් සැත්කමක් සිදුකිරීමට ඉඩ තිබෙනවා.. එමනිසා පෙර සූදානම සහ දැනුවත් වීම වැදගත් වෙනවා.

සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වීමට යම් කාලසීමාවක් ගතවෙන බැවින් නිවසට පැමිණු පසු ඔබගේ සහයට කෙනෙකු සූදානම් කරගැනීමත් වැදගත් වෙනවා.

 

සිසේරියන් සැත්කමකින් පසු අනුගමනය කළ යුතු පියවර

සිසේරියන් සැත්කමින් ඔබගේ හා දරුවාගේ සෞඛ්‍යය තත්ත්වය අනුව දින 2 -3 ත් අතර කාලයක් රෝහලේ ගත කිරීමට ඔබට සිදුවෙනවා.. ශල්‍යකර්මයෙන් පසුව ඔබට සේලයින් ලබාදෙන අතර ඔබට ලබාදුන් නිර්වින්දන ඖෂධයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙත්ම දැනෙන වේදනාව අඩු කිරීම සඳහා වේදනානාශක ඖෂධ ලබාදෙනු ලබනවා.

සැත්කමින් පැය කිහිපයකට පසුව ඔබට ඇඳෙන් බැස ඇවිදිමට සහ දරුවාට මවුකිරි ලබාදීම සඳහා වෛද්‍යවරයා උපදෙස් ලබාදෙනවා. පසුව ඔබගේ සෞඛ්‍යය තත්ත්වය අනුව නිවෙසට යාම සඳහා අවසර ලබාදෙනු ඇත.. එහෙත් පහත පියවර අනුගමනය කිරීමට උත්සාහ කිරීම වඩාත් සුදුසු වෙනවා.

සැත්කමෙන් පළමු සති කිහිපය හොඳින් විවේක ගැනීම

උදරයට අපහසුවක් ඇති නොවන ඉරියව් භාවිතා කිරීම

හැකිතාක් දියර වර්ග පානය කිරීම

සති 4 – 6 ත් අතර කාලයක් ලිංගික ක්‍රියාවලින් වැළකීම

වෛද්‍ය උපදෙස් අනුව වේදනා නාශක ලබාගන්න

අධික වෙහෙස සහ මනෝ භාවයන්ගේ වෙනසක් දැනෙනවා නම් අමතා හෝ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න.

එමෙන්ම උණ සමග පියයුරුවල වේදනාව, යෝනි මාර්ගයෙන් දුර්ගන්ධය සහිත ශ්‍රාවයක් හෝ විශාල රුධිර කැටිති පිටවේ නම් හො මුත්‍රා පිටකිරීමේදි වේදනාව සහ කැපුම සිදුකල ස්ථානයේ අධික වේදනාව දැනෙනවා නම් වහාම වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීමට මතක තබාගන්න..

«

»