අලුත් අවුරුද්ද සාර්ථකව ගත කරන්න දරුවන්ට සුදුසු ඉලක්ක ටිකක්

ජීවිතයට යථාර්ථවාදී ඉලක්ක සැකසීම පිළිබඳව ඔබේ දරුවන් සමඟ කතා කිරීමට සුදුසුම කාලය අලුත් අවුරුද්දයි. තිරසාර, ධනාත්මක වෙනස්කම් සඳහා වැඩ කිරීමට ඉගෙන ගැනීම කියන්නේ පෙර පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම ඉන්න අයට ප්‍රයෝජනවත් වන අත්‍යවශ්‍ය ජීවන කුසලතාවයක්.

ඒත් ඒ සැලසුම් කරන බොහෝ අලුත් අවුරුදු යෝජනා, ඉලක්ක අවාසනාවකට වගේ ජනවාරි මාසය අවසන් වීමට පෙරම ගොඩක් අය අතහැර දමනවා. එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ඔබේ පවුලේ සහයෝගයේ සහ වගකීමේ මූලික අඩිතාලම සකස් කරලා නොමැති නිසායි. සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් වසරක් ආරම්භ කිරීම සඳහා පවුලක් ලෙස දරුවන්ගේ වයසට ගැළපෙන යෝජනා සකස් කරන්න පුළුවන් ආකාරය මෙන්න.

 

බුද්ධිමත් ඉලක්ක සකසන්න. සාමාන්‍ය ඉලක්ක වෙනුවට, බුද්ධිමත් ඉලක්ක සැකසීමට උත්සාහ කරන්න, ඒවා නම්:

 

විශේෂිත ඉලක්ක 

ඔබට ළඟා කර ගැනීමට අවශ්‍ය දේ හරියටම ලැයිස්තුගත කරන්න. (“වේගයෙන් දිවීම” වෙනුවට “මිනිත්තු 30 කදී කිලෝමීටර 5ක් දුවන්න ඕනේ” කියලා සිතන්න).

මනින්න පුළුවන් වීම

ඔබ ඔබේ ඉලක්කය නිරීක්ෂණය කරන්නේ කොහොමද සහ ඔබ සාර්ථකද යන්න තීරණය කරන්නේ කොහොමද?

අත්පත් කරගන්න පුළුවන් වීම

ඔබේ අරමුණු පහසු විය යුතු නෑ. නමුත් ඒවා කළ හැකි විය යුතුයි. ඔබේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවද?

අදාලත්වය 

ඔබේ ඉලක්කය ඔබේ ජීවිතය වෙනුවෙන් වැඩි අවධානයක් හා අරමුණක් ඉටු කරලා දෙනවාද?

කාල සීමාව 

ඔබේ ඉලක්ක වලට අවසාන දිනයක් දෙන්න. නිශ්චිත දිනයට අනුව සන්ධිස්ථාන කරා ළඟා වෙන්න උත්සහ කරන්න.

 

පෙර පාසල් ළමුන්ට ඉලක්ක සකසා දීම සඳහා අදහස්

වයස අවුරුදු 3 සිට 5 දක්වා ළමයින්ට දිගු කාලීන අරමුණු කරා යාමට අපහසු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් සෑම දිනකම වැඩ කිරීමට කුඩා අරමුණු කිහිපයක් සකසලා දීම කියන්නේ මෙම වයස් කාණ්ඩයට හොඳ උපාය මාර්ගයක් වෙනවා. ඔබටත් මේ වයසේ දරුවෙක් ඉන්නවා නම් එයා අරමුණු සාර්ථක කරගන්න ආකාරය නිරීක්ෂණය කිරීමට උපකාර කිරීම සඳහා ශීතකරණය මත ස්ටිකර් සටහනක් සකසන්න. එයා එකින් එක අරමුණු සම්පූර්ණ කරද්දී සාර්ථක නම් ත්‍යාගයක් ලබා දීමට සැලසුම් කිරීම ගැන පවා ඔබට දරුවා එක්ක සාකච්ඡා කරන්න පුළුවන්.

 

පෙර පාසල් දරුවන්ගේ වයසට ගැළපෙන ඉලක්ක සඳහා උදාහරණ කිහිපයක් මෙන්න:

 

  • නින්දට පෙර දවස අවසානයේදී මම මගේ සෙල්ලම් බඩු පිරිසිදු කරනවා.
  • මම දිනකට දෙවරක් දත් මදිනවා, උදේ ආහාරයෙන් පසුව සහ නැවත නින්දට යාමට පෙර.
  • මම ආහාර ගැනීමට පෙර අත් සෝදා ගන්නවා.
  • මගේ කෑම පිඟානේ ඇති සියලුම ආහාර කන්න මම උත්සාහ කරනවා.
  • මම දිනකට අවම වශයෙන් විනාඩි පහක්වත් මගේ අකුරු සහ අංක එක්ක වැඩ කරනවා.

 

පාසල් වයසේ ළමයින් සඳහා ඉලක්ක

තමන්ගේ ජීවිතයට අලුත් යෝජනා ඉදිරිපත් කිරීම ඒ වයසේ ළමයින්ට (බාලාංශයේ සිට මධ්‍යම වයසේ පන්ති දක්වා) විනෝදජනක ක්‍රියාකාරකමක් වෙනවා.

 

ඔබේ දරුවාට ඉලක්ක සකසා දීම ආරම්භ කිරීමට උපකාරී වන අදහස් කිහිපයක් මෙන්න:

 

  • මම දිනපතා කිරි සහ ජලය හොඳින් පානය කරනවා, කෘත්‍රිම පාන වර්ග සහ පළතුරු බීම වර්ග බීම දිනකට එක් වරක් හෝ දින කීපයකට වරක් විදියට සීමා කරනවා.
  • අව්ව දවසක එළිමහනට යන්න කලින් මම සන්ස්ක්‍රීන් ක්‍රීම් එකක් ආලේප කරනවා. මම එය දොර ළඟ තබා ගන්නවා, එතකොට පිටතට යාමට පෙර ඒක ආලේප කරන්න මට මතකයි.
  • මට සතියකට අවම වශයෙන් තුන් වතාවක්වත් කරන්න පුළුවන් ක්‍රීඩාවක් (පැසිපන්දු, පාපන්දු වගේ) හෝ ක්‍රියාකාරකමක් (සාමූහික සෙල්ලම් කිරීම්, කඹයෙන් පැනීම, නැටීම හෝ මගේ බයිසිකලය පැදීම වගේ) සොයාගන්නවා.
  • මම කාර් එකකට නගින සෑම අවස්ථාවකම මම මගේ ආසන පටි බැඳ තබා ගන්නවා.
  • මම නිදා ගන්න සුදානම් වෙද්දී අවම වශයෙන් විනාඩි 30 කට කලින් ටැබ්ලට් එක, රූපවාහිනීය සහ වීඩියෝ ක්‍රීඩා වගේ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා විරහිත කරනවා.
  • මම මාසයකට අවම වශයෙන් එක් පොතක් වත් කියවනවා.

 

නව යෞවන දරුවන් සඳහා අලුත් අවුරුදු ඉලක්ක

සාමාන්‍යයෙන් නව යෞවන වයසේ පසු වෙන දරුවන්ට තමන්ගේම ඉලක්ක සකස් කර ගැනීමට තරම් වයසින් වැඩිලායි ඉන්නේ. කෙසේ වෙතත් ඔවුන්ට යථාර්ථවාදී ඉලක්ක ඇති කරගන්න පුළුවන් බවට සහතික කර ගැනීමට නම් යම් මග පෙන්වීමක් ඔබෙන් අවශ්‍ය වෙයි. ඔබේ නව යෞවනයාගේ අලුත් අවුරුදු යෝජනා ගැන කතා කරන්න. ඒකෙන් ඔබ දෙදෙනාට අලුතෙන් බැඳීමට සහ දරුවාට ඔබෙන් වැදගත් දේවල් ගැන ඉගෙන ගැනීමට ද අවස්ථාවක් ලැබෙනවා.

 

ඔබේ නව යෞවන දරුවාට ඉදිරිපත් කරන්න ඕනේ ඉලක්ක මෙන්න:

 

  • මම සෑම දිනකම අවම වශයෙන් එක් පළතුරක් හා එක් එළවළු වර්ගයක් කනවා.
  • මම දිනකට මිනිත්තු 30 ත් 60 ත් අතර කාලයක් ශාරීරිකව ක්‍රියාශීලීව ගත කරනවා.
  • මගේ වීඩියෝ ක්‍රීඩා හා රූපවාහිනිය බැලීම දිනකට පැය 1 සිට 2 දක්වා සීමා කරනවා.
  • මම මගේ වචන මාලාවෙන් ඍණාත්මක කතා (එනම්, “මට ඒක කරන්න බැරි වෙයි” හෝ “මම දුර්වලයි”) ඉවත් කරනවා.
  • රිය පැදවීමේදී මම මගේ දුරකථනය අතට ගන්නෙ නෑ සහ කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමට හෝ ඇමතුම් ගැනීමට මම පෙළඹෙන්නේ නෑ.
  • මම ඉතුරුම් ගිණුමක් ආරම්භ කරලා සෑම මාසයකම යම් මුදලක් ඒකේ තැන්පත් කරනවා.
  • මම රාත්‍රියට නින්දට යද්දී සමාජ මාධ්‍ය වල එන නොටිෆිකේශන්ස් පරීක්ෂා කිරීම නවත්වනවා.