දරුවා පාසල් යවන කාලය හරිද? එහෙනම් ඊට කලින් මේ දේවල් දැනන් ඉන්න

පාසල් යන්න පටන් ගන්නවා කියන්නේ දරුවෙක්ගේ ජීවිතයේ විශාල පියවරක්. මොකද මෙච්චර කල් ඔබත් එක්කම නිවසේ ජීවිතය ගෙවපු ඔබේ දරුවාට අලුත් ස්ථානයක් ගැන දැන ගැනීමටත්, නුහුරු මිතුරන් හා ගුරුවරුන් හමුවීමටත්, අලුත් නීති රීති ඉගෙන ගැනීමටත් සිද්ධ වෙනවා. ඉතින් දරුවාගේ පාසල් කාලය සාර්ථක කර ගන්න නම්, ඒකට මුහුණ දෙන්න අවශ්‍ය දේවල් සූදානම් කිරීම සඳහා ඔබ යම් කාලයක් ගන්න අවශ්‍යයි. ඒ මේ නිසායි…     

 

පාසලට යන්න කලින් දෙමවුපියන් කරන්න අවශ්‍යම දෙයක් තමයි ඔබේ දරුවාගේ ස්වාධීනත්වය පිළිබඳ හැඟීම ඔවුන් තුළ වර්ධනය කරන එක. මොකද ඒක ඔවුන්ට පාසැල් යාමට සූදානම් වීමේ වැදගත් කොටසක්. දරුවා තුළ ශක්තිමත් විදිහට පාසලට යන්න අවශ්‍ය සුදානම් වීමේ හැකියාව ඔබට ගොඩනඟන්න පුළුවන් මේ විදිහට :                 

දරුවාගේ ස්වාධීනත්වය වර්ධනය

  • අත් සේදීම ඇතුළුව දරුවාට තනියම වැසිකිළි ගිහින් නිවැරැදි සනීපාරක්ෂක පුරුදු අනුගමනය කරන්න උගන්වන්න.                            
  • බොත්තම් සහ ගාංචු තනියම දාගන්න ඇතුළුව ඔවුන්ගේ ඇඳුම් තනියම ඇඳගන්න ඔවුන්ට උගන්වන්න.                    
  • පවුලේ ගමනක් යද්දී දරුවාගේ දිවා ආහාර පෙට්ටිය හෝ සූට්කේස් එක ඇසුරුම් කිරීමට දරුවාව සම්බන්ධ කර ගන්න.                                                               
  • ගෙදර ඉන්න සුරතලාට කෑම දෙන්න දරුවාට පුරුදු කරන්න. නැත්නම් ගෙදර අය කෑම කන්න කලින් කෑම මේසය සැකසීම වගෙ ගෙදර කාර්යයන් සඳහා ඔවුන්ට වගකීම පවරන්න.                                   
  • උපකරණ භාවිතා කිරීම පිළිබඳව කියා දෙන්න.                            
  • පාසැලේදී කරන්න වෙන ක්‍රියාකාරකම් පුහුණු කිරීම සඳහා ගෙදරදී “පාසල් දිනයක්” යොදා ගන්න. විශේෂයෙන්ම ගෙදර ඉඳන් පාසැලට යන ආකාරය සහ පාසලේ ඉඳන් ගෙදරට එන්න ඕනේ ආකාරය ගැන දරුවාට පුහුණු වීමක් දෙන්න.                                                   
  • අනිවාර්යයෙන්ම උදේ ආහාරය සඳහා දරුවා තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කරවන්න. ඒ වගේම නිශ්චිත නිදා ගැනීමේ වෙලාවක් සහ අවදි වීමේ වෙලාවක් සැලසුම් කරලා ඒ ක්‍රමයට හුරු වෙන්න දරුවාට කියලා දෙන්න.                                                                       
  • පාසල් යද්දී අධික ලෙස කලබල නොවී, වෙහෙසට පත් නොවීමට නම් නැවුම් වාතය භුක්ති විඳිමින් දිනපතා ව්‍යායාම කිරීමට ද ඔවුන්ව දිරිමත් කරන්න. 

 

සමාජයට ගැලපුම

ඔබේ දරුවාට පාසල් යද්දී හමු වෙන්නේ අලුත්ම සමාජයක්. ඉතින් ඒ සමාජය ගැන දරුවා තුළ විශ්වාසය වර්ධනය කර ගැනීමට මේ දේවල් උදව් කරගන්න ඔබට පුළුවන් :

 

  • පාසලට පැමිණෙන අනෙකුත් යහළු යෙහෙළියන්ගේ දරුවන් හමුවීමට ඔබේ දරුවාව රැගෙන යන්න. මිත්‍රශීලී පරිසරයක් පෙර පටන් සැකසීමෙන් දරුවා තුළ ඇති වන චකිතය නැති කරගන්න පුළුවන්.                                         
  • අනෙක් ළමයින් සමඟ ක්‍රීඩාවන්ට සම්බන්ධ වෙන්න කියන්න. අනෙක් අය සමඟ ක්‍රීඩාවක් වගේම ඕනෙම දෙයක් කරද්දී තමන්ගේ වාරය එනකල් ඉවසීමෙන් බලා ඉඳීමේ වැදගත්කම ගැන දරුවාට කියලා දෙන්න.                                        
  • එකඟ නොවීම් සමඟ කටයුතු කරන ආකාරය සහ මිතුරන් විදිහට කටයුතු කරන්න ඕනේ ආකාරය ගැන කියා දීමට නම් ඔබේ දරුවාට ඔබ යහපත් ආදර්ශ සපයන්න ඕනේ.                                                       
  • ක්‍රමානුකූලව ඔබේ දරුවාට දෙයක් කරගෙන යාමට සහ එය අවසන් කිරීමට හැකියාව වර්ධනය කරන්න. ඒ වගේම දරුවාව අගය කරමින් ධනාත්මක ප්‍රතිචාරයක් ද ලබා දෙන්න.                                  
  • අභියෝගයන්ට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඔහු/ඇය තුළ තියෙනවා කියලා  දරුවාට කියලා දෙන්න. අවශ්‍ය නම් උපකාර ඉල්ලන්නට ඔබ සහ දරුවාගේ ගුරුවරයා ඉන්න බවත් ඔබේ දරුවාට සහතික කරන්න.                                          

 

පාසලට හුරු වීම

ඔබේ දරුවා පාසල් යෑම ආරම්භ කරන්න කලින් දරුවාගේ ගුරුවරයා සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සමඟ ශක්තිමත් සබඳතාවක් ඔබ විසින් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. මොකද ගැටළු ඇති වුණොත් ඊට කලින් ඔබ සහ ඔවුන් එකිනෙකාව දන්නවා සහ විශ්වාස කරන නිසා විසඳුමක් හොයාගන්න ඕනේ වුණාම දෙපාර්ශවයටම එකට වැඩ කරන්න පුළුවන්.                                           

පාසල් කාලය ආරම්භ කරනවා කියන්නේ කුඩා දරුවෙක්ට වෙහෙසකර වැඩක්. ඒ වගේම ඒක දරුවාට පේන්නේ  අති විශාල කාර්‍යක් වගෙයි.                           

ඔබේ දරුවා කඳුළු සලමින් අඬනවා නම් හෝ නැවත නැවත බඩ රිදීමක් හෝ හිසරදයක් හැදෙනවා නම් මොකක් හරි දෙයක් වුණාද කියලා දරුවාගෙන් මෘදුව  විමසන්න. ඒ ගැටලුව දිගටම පවතිනවා නම්, ඔබේ දරුවා නිවසේදී සහ පාසැලේදී ඉන්න ආකාරය ගැන ගුරුවරයා සමඟ සාකච්ඡා කරන්න. ඊට පස්සේ ගුරුවරයාගේ සහාය ඇතුව දරුවාව පාසලට එක්කන් යන්න සුදුසු අලුත් උපාය මාර්ගයක් සැලසුම් කරන්න. 

ඔබේ දරුවාට ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න අවශ්‍ය ප්‍රීතිමත් ආරම්භයක් පාසලේ තියෙනවා කියලා දරුවාට සහතික කරන්නට ඔබට සහ පාසල් කාර්ය මණ්ඩලයට හොඳ කණ්ඩායමක් වශයෙන් පුළුවන් වෙන්න ඕනේ.