ලස්සනට වගේම ගුණ විදියට හදන්න රේන්බෝ සැන්ඩ්විච් 

පොඩ්ඩොන්ගෙ බර්ත්ඩේ පාටි වලට වගේම ලන්ච් බොක්ස් එකටත් කියාපු කෑමක් තමයි අද අරන් ආවෙ. රේන්බෝ සැන්ඩ්විච්. පාට පාටින් තියෙන නිසා පොඩ්ඩො නම් හරිම කැමතිවෙයි මේකට. කලින් දවසෙ රෑට හදල ක්ලින්ග් රැප් වලින් ඔතල ෆ්‍රිජ් එකේ තියල කෝල්ඩ් සැන්ඩ්විච් එකක් විදියට උදේට කෑමට ගන්නත් පුළුවන්.

 

රේන්බෝ සැන්ඩ්විච් 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සැන්ඩ්විච් පාන් ගෙඩියක්
  2. කැරට් ග්‍රෑම් 200
  3. බීට් රූට් ග්‍රෑම් 200
  4. තම්බා පොඩිකරගත් අල ගෙඩි 3
  5. නිවිති කොළ ටිකක්
  6. සලාද කොළ ග්‍රෑම් 100
  7. අබ ක්‍රීම් මේස හැඳි 2
  8. බටර් ග්‍රෑම් 200
  9. ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව

 

  • කැරට්, බීට් වෙනවෙනම තම්බාගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කරලා වෙන වෙනම මිශ්‍ර කරගන්න. ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
  • නිවිති කොළ ටික මද වේලාවක් උණු වතුරේ තියල අරගෙන ලුණු ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. හදාගත්ත නිවිති පල්ප් එක අල එක්ක මිශ්‍ර කරගන්න. රස බලල ලුණු ගම්මිරිස් එක්කතු කරගන්න.
  • පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකක් ගාන්න. 
  • අනිත් පාන් පෙත්ත කැරට් ගාපු පාන් පෙත්ත උඩ තියල ඒ පෙත්ත උඩින් බීට් මිශ්‍රණයෙන් ලේයර් එකක් ගාන්න.
  • ඒක උඩින් තව පාන් පෙත්තක් තියල ඒ උඩට අල නිවිති මිශ්‍රණය ගාලා තව පාන් පෙත්තකින් වසන්න. 
  • වටේ වාටි ඉවත් කරගෙන ත්‍රිකෝණාකාරව හතරට කපාගන්න. ලේසියි පහසුයි. ඒ වගේම රසම රසයි.