පෙනුම ගැන වද වෙන දියණියකට ධනාත්මකව හිතන්න උගන්වමු

බොහෝ ගැහැණු දරුවන් වයසත් එක්ක වැඩෙනකොට ඔවුන්ගේ පෙනුම ගැන සෑහෙන්න අවධානයක් දෙනවා. ඒ නිසා දියණියන් ඇති දැඩි කිරීමේදී ධනාත්මක ශරීර ප්‍රතිරූපයක් වර්ධනය කිරීම ඉතා වැදගත්. ඔබටත් දියණියන් ඉන්නවා නම් ඔවුන් තුළ තමන්ගේ සිරුර ගැන ධනාත්මක ප්‍රතිරූපයක් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් කිහිපයක් අපි අද ඔබට කියන්නම්…

ගැහැණු දරුවන්ගේ දෙමව්පියන් නූතන ලෝකයේ ප්‍රධාන ගැටලුවකට මුහුණ දෙනවා. ඒ ධනාත්මක ශරීර ප්‍රතිරූපයක් සහිත දියණියක් ඇති දැඩි කිරීමේ අභියෝගයයි. මාධ්‍ය වලින් පෙන්වන ළඟා කරගත නොහැකි සිහින් සිරුරු කෙරෙහි ඇති වන ආකර්ෂණය, ආතතිය සහ “පරිපූර්ණ” ශාරීරික පෙනුමක් ලබා ගැනීමට ඇති අධික උනන්දුව නිසා බොහෝ ගැහැණු ළමයින් ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට පෙළඹිලා තියනවා.

මෑත කාලයේ කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙන්නේ වයස අවුරුදු 20 ට අඩු කාන්තා ජනගහනයෙන් භාගයක්ම ඔවුන්ගේ පෙනුම ගැන නොසතුටින් ඉන්න බවයි. සිහින් වීම පිළිබඳ උනන්දුව බාල හා මධ්‍යම වයසේ පාසල් දැරියන් අතර ද ව්‍යාප්ත වෙලා තිබෙනවා. එහෙනම් ඔබේ දියණිය සඳහා ධනාත්මක ශරීර ප්‍රතිරූපයක් වර්ධනය කරලා දෙන්න දෙමව්පියන් වශයෙන් ඔබ පියවරෙන් පියවර ක්‍රියාශීලීව උපකාර කිරීම අත්‍යවශ්‍ය යුතුකමක්.

 

පෙනුම වෙනුවට ගුණාංග කෙරෙහි අවධානය යොමු කරවන්න

ශරීර ප්‍රතිරූප ගැටළු ඇතිවීම වළක්වා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක් තමයි යහපත් ගති ගුණ වලට අවධානය යොමු කරවීම. ඔබේ දියණිය සමඟ කතා කරද්දී ඇයගේ පෙනුම ගැන හැම වෙලාවේම ප්‍රශංසා කරනවා වෙනුවට විවිධ අවස්ථා වලදී ඇය ක්‍රියා කරපු ආකාරය, හැසිරුණු ආකාරය හා මානුෂීය ගුණාංග පෙන්වූ ආකාරය ගැන ඇයට ප්‍රශංසා කරන්න. “ඔයා අද ඔයාගේ යාලුවාට ඇත්තටම උදව් කළා” හෝ “ඔයා ඇත්තටම ත්‍යාගශීලී දුවෙක්” වගේ දේවල් වලින් ඇයව වර්ණනා කරන්න. “ඔයා හරිම ලස්සනයි” කියලා කියනවට වඩා ඇත්තටම ඒවා ඵලදායී වෙනවා. අලංකාරය ගැන පමණක් අවධානය යොමු කරනවා වෙනුවට ඔබේ දියණිය තුළ සෞඛ්‍ය සම්පන්න පුරුදු, සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පිළිබඳ යහපත් පුරුදු ද දිරිමත් කරන්න.

ඒ වගේම ඔබේ දියණියගේ ඍණාත්මක තත්ත්වයන් සහ හැඟීම් ගැන පරිණත ආකාරයකින් කතා කරන්න. ඒ අතරම දියණියට ඇගේම චින්තනයක් ඇති කර ගන්න කියලා ඉල්ලන්න. නිදසුනක් වශයෙන්, “මම ඔයා එක්ක එකඟ නොවුනත් මම ඔයාගේ මතයට ගරු කරනවා, තේරුම් ගන්නවා” වගේ දේවල් පැවසීම හරහා ගැහැණු ළමයින්ට තමන්ගේම බුද්ධියක් ඇති බවට දැන ගන්නට සලස්වන සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් බවට ඒක පත් වෙනවා. බාහිර පෙනුමට වඩා සුන්දර ආත්මයක් තිබීම වැදගත් බව ඇයට සුදුසු වයසේදී උගන්වන්න. ඔබ ඔබේ දියණියට ඒ වගේ දේවල් උගන්වනකොට අම්මා විදිහට ඔබත් ඇයට හොඳ ආදර්ශයක් වෙන එක අත්‍යාවශ්‍යයි.

 

ජන මාධ්‍ය වල ව්‍යාජ බව පෙන්වා දෙන්න

විශේෂයෙන් කාන්තාවන්ගේ ශරීර සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ලෝකයට පෙන්වන ඕනෑම දෙයක් බොහෝ වෙලාවට සුන්දර සිහින් ශරීර සහිත කාන්තාවන්ගේ බොහෝ පින්තූර මාධ්‍ය වලින් පෙන්නන්නේ තාක්‍ෂණිකව වෙනස් කරලායි. බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්, නිරූපිකාවන් සහ ප්‍රසිද්ධ කාන්තා චරිත පවා ඔවුන්ගේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා රූපලාවණ්‍ය ශල්‍යකර්ම හරහා තමයි වෙනස්කම් වලට යොමු වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ඔබේ දියණිය මේ සියල්ල නොදන්නා නිසා එම ආකර්ෂණීය කාන්තා ලෝකය සුරංගනා කතාවක් ලෙස සලකනවා. ඒ නිසාම ඇය රූපය වෙනුවෙන් ඕනෑම වියදමකට සූදානම් වෙන්න පුළුවන්.

මාධ්‍ය ව්‍යාපාරවල අවසාන පරමාර්ථය මුදල් බවත්, ෆොටෝෂොප් වලින් කරන්න පුළුවන් දේවල් ගැනත් ඔබේ දියණිය සමඟ කතා කරන්න. ඔබේ දියණිය තේරුම් ගැනීමට තරම් වයසකට ආවට පස්සේ රූපලාවණ්‍ය සැත්කම් හා ඒවායේ ප්‍රතිවිපාක ගැන එයා එක්ක කතා කරන්න. ජනමාධ්‍ය විසින් පෙන්වන ව්‍යාජ ප්‍රතිරූපය අවබෝධ කරගත්තාට පස්සේ ඔවුන් ඒ බොරු වලට රැවටෙන එක අත් හරියි.

 

පෙනුම ගැන සැලකිලිමත් වීම අඩු කරන්න කියන්න

වැඩිහිටියන් වශයෙන් ඔබ ඔබේ දියණියගේ පෙනුමට වැඩි ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න උත්සාහ කරන්න. ඊට වඩා මනුස්සයෙක් විදිහට ඇය කරන දේවල් ගැන අවධානය යොමු කරන්න. ගැහැනු ළමයින්ට ඔවුන්ගේ ශරීරය ගැන සමබර පෙනුමක් සහිත දෘෂ්ටිකෝණයක් වර්ධනය කිරීම කුඩා කාලයේ ඉඳන්ම ආරම්භ කරන්න. ඔවුන් තමන්ගේ ශරීරයට ගරු කිරීමට ඉගෙන ගන්න ඕනේ. කුඩා කාලයේ ඉඳන්ම සෞඛ්‍ය සම්පන්න ශරීරයක් වර්ධනය කිරීමට හා පවත්වා ගැනීමට අවධානය යොමු කරවන්න.

 

අන්තර්ගතය පෙරන්න

දියණියන්ගේ අහිංසක තරුණ කාලයේදී අන්තර්ජාලය, සඟරාව, පුවත්පත්, රූපවාහිනී යනාදිය හරහා නිවෙස්වලට ඇතුළු වන ලිංගිකත්වයන් සහ ව්‍යාජ උත්කර්ෂයන් වලින් අධිකව ආරක්ෂා කරන්න ඕනේ. ඔබේ දියණිය කියවන හා නරඹන දේවල් පිළිබඳව විමසිල්ලෙන් සිටින්න. ඔබට අවශ්‍ය නම් ඔබේ ඇස ගැටෙන තැනක ඇගේ පරිගණකය ස්ථාපනය කරන්න.

දියණියගේ පෙනුම පිළිබඳව අධික අවධානයක් ලබා නොදී සෑම විටම එය තාර්කිකව පාලනය කරන්න. දුවෙක්ට පෙනුම ඇත්තෙන්ම වැදගත් තමයි. ඒත් ඇගේ පෙනුමට අධික අවධානයක් යොමු කිරීමෙන් ධනාත්මක ශරීර ප්‍රතිරූපයක් ගොඩනැගීමට බාධාවක් වෙන්න පුළුවන්.

ඔබ බුද්ධිමත් දෙමවුපියන් ලෙස ඒ විදිහට අරගන්න සුළු උත්සාහයකින් වුණත් ඔබට ධනාත්මක ශරීර ප්‍රතිරූපයක් සහිත බුද්ධිමත් දියණියන් ඇති දැඩි කරන්න පුළුවන්.