බත් කන්න හොර පොඩිත්තොන්ට බත් වලින් කට්ලට් කවමුද?

චූටි බට්ටොන්ට බත් කවාගන්න අම්මල වෙන මහන්සිය අපි හොඳටම දන්නවනෙ. කුරුල්ලො ගේන හබුන් කටයි, ප්ලේන් එකේ එන හබුන් කටයි කිය කියා ගේ වටේ දුව දුව වත්ත වටේ ඇවිද ඇවිද සත්තු, මල් පෙන්න පෙන්න පැයක් දෙකක්වත් යනව පොඩි බණ්ඩිය පුරවන්න. ඉතින් පොඩ්ඩො එක්ක එහෙම ඔට්ටු වෙන අම්මලාට Baby and Me අපි හැම සතියෙම පොඩ්ඩොන්ට දෙන්න පුළුවන් රස කෑමක් අරන් එන්න හිතුව. මෙහෙම හදල දීලම බලන්නකො කන්නෙ නැද්ද කියල.

 

ෆිලින්ග් එක සඳහා

  • පිසගත් බත් කප් 1/2
  • තම්බා පොඩි කරගත් අල කප් 1/2
  • ග්‍රේට් කරගත් කැරට් අල 1/2
  • ග්‍රීන්පීස් ටිකක්
  • කෝන් ඇට කෝප්ප ටිකක්
  • කුඩු කරගත් කජු ටිකක්
  • ඉඟුරු, සුදුළූණු පේස්ට් එක තේ හැඳි 1/4
  • ලුණු,ගම්මිරිස් කුඩු රස අනුව
  • දෙහි යුෂ ටිකක්
  • පාන්කුඩු කෝප්ප 1/4

 බැටර් එක සඳහා 

  • පාන්පිටි කෝප්ප 1/2
  • කෝන්ෆ්ලා මේස හැඳි 3
  • ගම්මිරිස්කුඩු තේහැඳි 1/4
  • ලුණු පින්ච් එකක් 
  • කෝට් කරන්න පාන්කුඩු ටිකක්

සාදන ආකාර​ය

බත් ටික හොඳටම පොඩි කරගන්න. ඒකට ෆිලින්ග් එක සඳහා අවශ්‍ය ඉතිරි ද්‍රව්‍ය ඔක්කොම දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. 

පාන්පිටි වලට කෝන්ෆ්ලා, ගම්මිරිස්කුඩු, ලුණු දාලා, වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න. මිශ්‍රණයෙන් පොඩි බෝල හරි අතින් කැමති හැඩේකට හරි හදලා බැටර් එකේ දාලා පාන්කුඩු වල තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.