ඔබේ දරුවාගේ ඇඳේ තිබිය යුතු ආරක්ෂිත සහ කල් පවතින අයිතම 5 ක්

දරුවාගේ ඇඳ සුවපහසු, සනීපාරක්ෂක සහ ආරක්ෂිත වන විට දරුවාට සුවපත් නින්දක් නිරන්තරයෙන්ම ලැබෙනවා. අද baby and me අපි ඔයාට දරුවාගේ යහපත් සෞඛ්‍යට සුවපහසු සහ ආරක්ෂිත නින්දක් ලබා දීම සඳහා ළදරු ඇඳ ඇතිරිලි අයිතම කිහිපයක් ගැන කියලා දෙන්න හිතුවා.

දැනටමත් මෙම අයිතමයන් සමහරක් දරුවාගේ ඇඳේ තිබිය හැකි නමුත් ඒවා සුව නින්දකට ප්‍රමාණවත් දැයි පරීක්ෂා කිරීම හොඳ අදහසක්. ඉතින් දරුවාගේ ඇඳට එකතු කිරීම සඳහා ආරක්ෂිත සහ කල් පවතින අයිතම 5 ක් මෙන්න. 

 

මෙට්ටය

මදක් නිදා ගැනීමට අවශ්‍ය වූ විට සුව පහසු මෙට්ටය ගැන නොසිතුවේ කවුද? නිදාගැනීම ගැන සිතන විට අපගේ මතකයට එන පළමු දෙය එය බව නිසැකයි. ඔබේ දරුවා කැමති මෙට්ටයක් තෝරා ගැනීමට දරුවාට අවබෝධයක් තවම නැහැනෙ, ඒ නිසා දරුවාට සුවපහසුව දැනෙන මෙට්ටයක් ඔබ විසින් තෝරන්න. කොඳු ඇට පෙළට සහය සපයන මෙට්ටයක් තෝරගන්න. 

 

බෙඩ් ප්‍රොටෙක්ටර් 

දැන් මෙට්ටයක් තෝරා ගෙන අවසන් උනාට පස්සෙ, අවම වශයෙන් ඉදිරි වසර කිහිපය තුල මෙට්ටයට වන හානිය වැළැක්වීම සඳහා බෙඩ් ප්‍රොටෙක්ටර් එකක් අවශ්‍ය වෙනවා. මේක ආරක්ෂිත සහ වතුර කාන්දු නොවන ඇඳ ඇතිරිලි වලට යටින් මෙට්ටයට දැමිය හැකි කවරයක්. මෙට්ටය මත යමක් හැලුනොත් හෝ දරුවාගේ ඩයපර් කාන්දු වුවහොත් මෙට්ටයට බලපෑමක් සිදු වෙන්නේ නැහැ.  බෙඩ් ප්‍රොටෙක්ටර් එක පිරිසිදු කර හුළං වැදෙන්න තියල ආපහු පාවිච්චි කරන්න පුළුවන්. 

 

ඇඳ ඇතිරිලි 

දරුවාට නිදා ගැනීමට පහසු කිරීම සඳහා මෙට්ටය පමණක් ප්‍රමාණවත් නැහැ. සුදුසු රෙදි වලින් සකස් කළ ඇඳ ඇතිරිලි මගින් හුස්ම ගැනීම පහසු කිරීම, සුවපහසුව සහ ආරක්ෂාව සහතික කරයි. ඇඳ ඇතිරිලි එහාට මෙහාට නොයෑමට මෙට්ටයට හොඳින් යට කර තබන්න. නැති නම් දරුවා චලනය වන විට ඇශ ඇතිරිලි දරුවා සමග කැරකෙනවා නම් දරුවාගේ ගෙල හෝ හුස්ම හිර වී අනතුරු වෙන්න පුළුවන්. සැහැල්ලු පාට, ෆෙනල් කපු හෝ පිරිසිදු කපු ඇඳ ඇතිරිලි සැප පහසුව ඇති කරනවා.

 

බ්ලැන්කට්

බ්ලැන්කට් ඔබේ දරුවාට සුවදායක සහ උණුසුම් බවක් ලබාදෙනවා. හැබැයි බ්ලැන්කට් එකක් අවශ්‍ය වෙන්නෙ දරුවාට අවට පරිසරයේ සීතල දරාගන්න අපහසු තරම් වැඩි වුන වෙලාවට විතරයි. සැහැල්ලු බරක් ඇති, සිනිඳු වූල්, කපු හෝ කශ්මීර් වැනි රෙදි වලින් ළදරු බ්ලැන්කට් එකක් තෝරා ගන්න. 

 

මදුරු දැල

ඔබේ කුඩා දරුවාට හොඳින් නිදා ගැනීමට උපකාර කිරීම සඳහා මදුරුවන් ඈත් කර තැබිය යුතුමයි. කෘමීන්ගෙන් දරුවාව ආරක්ෂා කර තබා ගැනීමට මදුරු දැලක් භාවිතා කරන්න. දරුවා මදුරු දැලේ පැටලීම වැළැක්වීමට එය මෙට්ටයට හොඳින් යට කර තබන්න.