ප්‍රසූතියෙන් පසු ලිංගික ජීවිතය සහ උපත් පාලනය පිළිබඳ දැනුවත්ද?

ඔබේ දරු ප්‍රසූතියෙන් පසුව ඔබත් සැමියාත් නැවත ලිංගිකව එක්විය යුත්තේ කවදාද කියන කාරණය පිළිබඳව නිශ්චිත නීති රීතියක් නෑ. බොහෝවිට දරුවා ඉපදුණු විගසම බොහෝ කාන්තාවන්ට වේදනාවක් හා වෙහෙසක් දැනෙනවා. ඔබට අවශ්‍ය නැතිනම් ඒ සඳහා ඉක්මන් වෙන්න එපා. මොකද ඔබ දෙපළ ලිංගිකව එක් වීමේදී ඔබට වේදනාවක් දැනෙනවා නම්, ඒක සතුටුදායක අත්දැකීමක් වෙන්නේ නෑ. මෙම ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කරන්නේ ඒ ගැනයි…

පළමු එක්වීම

දරු ප්‍රසූතියෙන් පස්සේ ලිංගිකව එක් වෙද්දී ප්‍රථම වතාවට ඔබට ලිහිසි ජෙල් භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවා වර්තමානයේදී ෆාමසි සහ සුපිරි වෙළඳසැල් වලින් ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව හෝ‍මෝන වෙනස්වීම් නිසා ඔබේ යෝනි මාර්ගයේ වෙනදාට වඩා වියළි බවක් ඇති වෙලා තියෙන්න පුළුවන් නිසයි.

ඔබේ ශරීරයේ තත්ත්වය ගැන හෝ නැවත ගැබ් ගැනීමක් ගැන ඔබ කණස්සල්ලට පත් වෙන්න පුළුවන්. පිරිමි පාර්ශවයට ද මේ ගැටලුව ඇති වෙනවා. වෙහෙසට අමතරව, පිරිමියෙකුගේ ලිංගික හැඟීම් ඔහුගේ දරුවාගේ උපතට පෙර තිබූ තත්ත්වයට බොහෝ දුරට සමාන වෙනවා. නමුත් බොහෝ පිරිමින් තම බිරිඳට සුදුසු දේ මොකක්ද කියන කාරණය ගැන කරදර වෙනවා. කරන්න ඕනේ මොකක්ද කියලා ඔවුන්ට විශ්වාස නැති නිසා ඔවුන් කණස්සල්ලට හා කලකිරීමට පත් වෙන්න පුළුවන්.

ඔබ දෙපළට ලිංගිකව එක් වෙන්න කලින් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වෙනවා. එතකල් ඔබ දෙදෙනාම වෙනත් ආකාරවලින් ආදරය වර්ධනය කර ගැනීම හා සමීප වීම තුළින් සතුටු වෙන්න උත්සහ කරන්න.

 

ඔබට හෝ ඔබේ සහකරුට කණස්සල්ලක් තියනවා නම් ඒවා ගැන දෙදෙනාම එකට කතා කරන්න. ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

 

පහත යෝජනා ඒ සඳහා ඔබට උපකාරි වෙයි :

  • ලිංගිකව එක්වීම රිදෙනවා නම් ඒක කියන්න. මොකද වේදනාවක් ඇති වුණොත් ලිංගිකව හැසිරීම සතුටක්  වෙන්නේ නෑ. ඒක එහෙම නොවනකොට ඔබ සියල්ල හරි කියලා මවාපානවා නම්, ඔබ විසින් ලිංගිකත්වය සතුටකට වඩා කරදරයක් හෝ අප්‍රසන්න දෙයක් විදිහට දකින්න පටන් ගන්න පුළුවන්. ඒකෙන් ඔබ දෙදෙනාටම උදව්වක් වෙන්නේ නෑ. ලිංගිකව එක්වීමකින් තොරව ඔබ දෙදෙනාට සතුටක් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනව.
  • ඔබ ලිංගිකව හැසිරෙන පළමු වාර කිහිපය ගැන සැලකිලිමත් වන්න. එයින් හානියක් නොවන බව සහතික කර ගන්න නම් මුලින්ම ඔබේ ඇඟිලි වලින් ගවේෂණය කරන්න. ලිහිසි ජෙල් වගේ අමතර ලිහිසිකාරක භාවිතා කරන්න. දරු ප්‍රසූතියෙන් පස්සේ සිදුවන හෝමෝන වෙනස්කම් වලින් ඔබට ප්‍රසූතියට පෙරදී වගේ ස්වභාවික ලිහිසි බවක් ඇති නොවෙන්න පුළුවන්.
  • එකට විවේකීව ඉන්නත් කාලය වෙන් කර ගන්න. ඔබ දෙදෙනාගේ මනස් එකිනෙකා කෙරෙහි නැතුව වෙනත් දේවල් ගැන යොමු වෙලා තියනකොට ලිංගිකව හැසිරීම සතුටුදායක දෙයක් වෙන්නෙ නෑ.
  • ඔබේ කාලය ගන්න. උපතින් මාස දෙකකට පසුව හෝ ඔබට වේදනාවක් දැනෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සැලසුම් සායනය සමඟ කතා කරන්න. 

 

උපත් පාලනය

  • ඔබ මව්කිරි දෙනකොට ඔබේ ඔසප් චක්‍රය ආරම්භ වී නොතිබුණත් දරු උපතින් පස්සේ සති තුනකටත් අඩු කාලයකදී වුණත් නැවත ඔබ ගැබ් ගන්න පුළුවන්.
  • ඒ නිසා දරු ප්‍රසූතියෙන් පස්සේ ලිංගිකව හැසිරෙන සෑම අවස්ථාවකම (ඔබට නැවත ගැබ් ගැනීමට අවශ්‍ය නම් හැර) යම් ආකාරයක උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ඔබේ දරුවාගේ උපතින් පස්සේ රෝහලෙන් පිටත් වෙන්න කලින් සහ ප්‍රසූතියේදී අවශ්‍ය විකල්පයන් සාකච්ඡා කරන්න ඔබට සාමාන්‍යයෙන් අවස්ථාවක් තිබෙනවා. නමුත් ඔබට ඕනෑම වේලාවක ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීමට හෝ පවුල් සැලසුම් සායනයට යන්න පුළුවන්.
  • මොන උපත් පාලන ක්‍රමය ද ඔබට සුදුසු කියලා විශ්වාස නැත්නම් ඒ සඳහා විකල්ප ගවේෂණය කරන්න.

මව්කිරි දීම විසින් ඔබට ගැබ් ගැනීමට ඇති ඉඩකඩ අඩු කරවන බව ඇහිලා ඇති. නමුත් ඔබ දිවා රෑ පුරා මව්කිරි දුන්නත්, දරු ප්‍රසූතියෙන් පසුව තවමත් ඔසප් චක්‍රය ක්‍රියාත්මක නොවුණත් ඔබව ගැබ් නොගනියි කියලා සහතික කරන්න බෑ. ඒ නිසා ඔබ උපත් පාලනයක් භාවිතා නොකර ලිංගිකව හැසිරෙනවා නම් ඔබව ගැබ් ගැනීමේ සම්භාවිතාවය තවමත් තිබෙනවා.